[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙණ පිඬුවක පාඩම

පෙණ පිඬුවක පාඩම

සසර කෙටිකර ගැනීම පිණිසම පැවිදි වූ එක්තරා භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ ඉතා වීර්යයෙන් මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස උත්සාහ කළහ. දිනක් මෙම භික්ෂුව විදසුන් වඩා රහත් ඵලයට පැමිණීමේ අපේක්ෂාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන මහ වනයට වැද භාවනා කරන්නට විය.

නිතර භාවනාවට ඇලී ගිය සිතින් යුතුව උකටලී නොවී භාවනාවෙහි යෙදුන ද රහත් ඵලය ලබා ගත නොහැකි විය. එබැවින් යළි පිරිසුදු ලෙසම භාවනා විධි ඉගෙනීම සඳහා දෙව්රම් වෙහෙරට යාමට පිටත් වුණි.

අතරමඟ දී මෙම භික්ෂුව දැඩි හිරු රැස් මැද ඈතින් පෙනෙන මිරිඟුව දුටුවේ ය. උන්වහන්සේ මෙසේ සිතූහ. මේ මිරිඟුව ඉතා උෂ්ණ කාලයට පෙනෙන්නේ ය. සාමාන්‍ය අයකුට සැලෙන වස්තුවක් සේ ද, ඇතැම් සතුනට දිය සේ ද එය දර්ශනය වේ.

මේ අත්බැව්හි ඉපදීම, නැසීම හා පැවතීම ද මිරිඟුවක් බඳු ය. මෙසේ සිතූ භික්ෂුව මිරිඟුව අරමුණක් සේ ගෙන භාවනාවෙහි නිරත වන්නට වූහ.

මෙසේ ගමනේ යමින් ම උන්වහන්සේ අචිරවතී නදිය අසලට පැමිණියහ. ගමන් විඩා හෙයින් රුක් සෙවණක හිඳ ගත්හ. ගංගාව දෙස බැලූ භික්ෂූන් වහන්සේ දියෙන් නැගී බිඳි බිඳී වැනසෙන පෙණපිඬු දුටුවහ.

උන්වහන්සේ යළි මෙසේ ද සිතන්නට වූහ. මිරිඟුව සේ ම, පෙණපිඬු සේ ම මෙම කය ද අස්ථිර ය. මේ රුව නිසරු ය. එහෙත් බොහෝ දෙන මෙම පෙනුමට රුචිවී මං මුළා වෙති. මෙසේ සිතත්ම භික්ෂුවගේ සිත එක්තැන් විය. උන්වහන්සේ සාර්ථක ලෙස භාවනායෝගී වූහ.

ගඳකිළියේ වැඩහුන් බුදුරජාණන් වහන්සේට මෙම භික්ෂුවගේ ක්‍රියාව මනාව දර්ශනය විය. උන්වහන්සේ ආලෝකයක් මවා එම ස්ථානයට වැඩම කොට භික්ෂුව අමතා මෙසේ වදාළ සේක. “ජීවිතය පෙණ පිඬක් වැනි ය. මිරිඟුවක් වැනි ය. ඒ බව නුවණින් වටහා ගන්නා තැනැත්තා කෙලෙස් මරුට නතුව පවත්නා පස්කම් බැඳුම්, ආර්ය මාර්ග ඥානය නමැති සියුම් අවියෙන් සිඳ දමන්නේ ය. මරුට විෂය නොවන නිවන් මඟට පිවිසෙන්නේ ය. බුදුරජාණන් වහන්සේගේ දේශනය ඇසූ එම භික්ෂූන් වහන්සේ රහත් ඵලයට පත් වූහ.

මේ සිරුර පෙණ පිඩකි. මිරිඟුවකි. මේ බව අවබෝධ කොට ගත් තැනැත්තා, මරුගේ පස්කම් බැමි කපා හැර, මරණින් මිඳී නිවන ලබන්නේ ය.

බක් අමාවක

අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ.
අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]