[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිසුදු ශ්‍රී සද්ධර්මය අතුරුදන් වන්නේ මෙලෙසයි

පිරිසුදු ශ්‍රී සද්ධර්මය අතුරුදන් වන්නේ මෙලෙසයි

එක් සමයක අප භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක. එකල දිනක් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ පැමිණ වැඳ නමස්කාර කොට මෙසේ පැවසූහ.

භාග්‍යවතුන් වහන්ස, පෙර කාලයේ ශික්ෂාපද පනවා තිබුණේ ඉතා අඩුවෙනි. එහෙත් බොහෝ භික්ෂූන් වහන්සේ රහත් බව ලැබූහ. එයට හේතුව කුමක්ද? දැන් බොහෝ ශික්ෂා පද පනවා ඇත්තේ ය. එහෙත් රහත් බව ලබන භික්ෂු පිරිස ඉතා අඩු ය. එයට හේතුව කුමක්ද?

එවිට භාග්‍යවතුන් වහන්සේ

“කාශ්‍යපය, මෙය මෙසේ ම සිදුවන්නේ ය. සත්වයන් පිරිහෙමින් දහම නැතිවන කාලයට මෙසේ සිදුවේ. ශික්ෂා පදයන් ද වැඩිවේ. එහෙත් රහත් බව ලබන්නේ ඉතා සුළු භික්ෂූන් පිරිසකි.ලෝකයේ සද්ධර්ම ප්‍රතිරූපකයන් (දහම හා සමාන ලෙස පෙනෙන වෙනත් මත) පහළ වන්නේ ද, එකල නියම දහම යට යන්නේ ය. එලෙස සද්ධර්ම ප්‍රතිරූපක පහළ නොවේ නම් නියම සත්‍ය වූ දහම යට නොගොස් හොඳීන් පවතී.

රත්‍රං ලොව පවතින්නේ එයට සමාන වෙනත් දෙයක් ලොව පහළ වන තෙක් ය. එයට ප්‍රතිරූපයක් නිර්මාණය වූ විට රන්වල වටිනාකම පහළ යයි. අප්‍රකට වේ. දහම ද එසේ ම ය. එයට මතුපිටින් සමාන අදහස් දහම් හෙවත් අනුරූපයක් ඇති වූ විට සත්‍ය වූ දහම් යට යන්නේ ය.

කාශ්‍යපය, පඨවි, ආපෝ ,තේජෝ, වායෝ ආදී ධාතූන් මේ දහම විනාශ නොකරන්නේ ය. මේ දහම් විනාශ කරන්නේ මේ සසුන තුළ ම බිහිවන හිස් මිනිසුන් විසින් ම ය. නැවකට වැඩි වැඩියෙන් බර පැටවූ විට නැව ගිලෙන්නා වූ පරිදි ශාසනය නැති වී යයි. මෙසේ ශාසනයේ පිරිහීම ඇති කරන කරුණු පහක් ඇත්තේ ය. ඒ කරුණු පස මෙසේ ය.

“කාශ්‍යපය, මේ සාසනයේ යම් භික්ෂුවක් ,භික්ෂුණියක්, උපාසකයකු හෝ උපාසිකාවක් භාග්‍යවතුන් වහන්සේට ගෞරව නොකරන්නේ ද, යටහත් පැවතුම් නැත්තේ ද, ධර්මයට ගෞරව නොකරන්නේ ද, යටහත් පැවතුම් නැත්තේ ද, සංඝයාට ගෞරව නොකරන්නේ ද, යටහත් පැවතුම් නැත්තේ ද, ශික්ෂා පද හා සමාධියට ගෞරවය නොකරන්නේ ද, යටහත් පැවතුම් නැත්තේ ද, එලෙස මේ පස් කාරණාවන් ඇති වූ කල ශාසනය පිරිහී යන්නේ ය. යම් භික්ෂුවක්, භික්ෂුණියක් ,උපාසකයකු හෝ උපාසිකාවක් ද තථාගතයන් වහන්සේට, ධර්මයට, සංඝයාට ,ශික්ෂාපදයන්ට, සමාධියට ගෞරව කරයි ද, ඇවතුම් පැවතුම් යටහත් බව දක්වයි ද එය ශාසනයේ දියුණුව, යහපත සඳහා ම හේතු වන්නේ ය.

ඒ අනුව යම් දිනෙක ලොව රත්රන් වැනි වූ එනමුත් රත්රන් නොවූ, මිල අඩු යම් යම් ප්‍රතිරූපක බිහි වේ ද, එකල්හි මිනිස්සු රත්රන් පරිභෝගය අඩු කර අඩු මිලට ගත හැකි ප්‍රතිරූප භාවිතය අරඹති. එසේ ක්‍රම ක්‍රමයෙන් ලෝකයේ රත්රන් අතුරුදහන් වේ. එසේම තථාගතයන් වහන්සේගේ සුභාෂිත සද්ධර්මය හා බැලූ බැල්මට සමාන සද්ධර්ම ප්‍රතිරූපක බිහිවීමෙන් මිනිස්සු ගැඹුරු, නිරවද්‍ය සද්ධර්මය අතහැර පහසුවෙන් නිවන් දැකිය හැකි ප්‍රතිරූපක සද්ධර්ම කෙරෙහි යොමු වෙති. එහි ප්‍රතිඵලයක් ලෙස කල්යත්ම ලෝකයේ නිර්මල තථාගත ශී‍්‍ර සද්ධර්මය ක්‍රම ක්‍රමයෙන් අතුරුදහන් වෙයි.

මෙම විපර්යාසය ඇතිවීමට බොහෝ කලක් ගත නොවනු ඇත. පළමුව අභිධර්ම පිටකය අතුරුදහන් වේ.

ඉක්බිති පිළිවෙළින් යමක, කථාවත්ථු, පුග්ගලපඤ්ඤත්ති, ධාතුකථා, විභංග, ධම්මසංගනී යන ප්‍රකරණ අතුරුදහන් වේ. අනතුරුව සූත්‍රපිටකය අතුරුදහන් වේ.

ඉන්පසු සංයුක්ත නිකාය පිළිවෙළින් මහාවග්ගය, සළායතන වග්ගය, ඛන්ධක වග්ගය, නිදාන වග්ගය, සගාථ වග්ගය ලෙස පිරිහේ.

ඉක්බිති මජ්ක්‍ධිම නිකාය පිළිවෙළින් උපරිපණ්ණාසකය, මජ්ක්‍ධිමපණ්ණාසකය, මූලපණ්ණාසකය ලෙස පිරිහේ.

අවසන දීඝනිකාය ද පාඨිකවග්ගය, මහාවග්ගය, සීලක්ඛන්ධ වග්ගය යන පිළිවෙළින් පිරිහේ.

ඉක්බිති විනය පිටකය සමඟ ජාතක පමණක් දරන කාලයකි. එකල ලජ්ජී භික්ෂූන් විනය පිටකය දරන අතර, ලාභ කැමති භික්ෂූහු ජාතක දරත්.

කල් ගතවත්ම ජාතක ද පිරිහේ.

ඉන්පසු විනය පිටකය පිරිහේ.

උපෝසථක්ඛන්ධය පමණක් දරන කාලයක් වෙයි. එහෙත් තවම සද්ධර්ම පර්යාප්තිය අතුරුදහන් වූයේ නොවේ.

යම් කලෙක සතර පද ගාථාවක් හෝ නොමැති වේ ද, එකල පර්යාප්ති සද්ධර්මය අතුරුදහන් වූවා නම් වේ.

යම් කලෙක සැදැහැති රජෙක් ඇතකු සරසවා. ඒ මත දහසින් බැඳී පියල්ලක් තබා ‘බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සතර පද ගාථාවක් දන්නා මිනිසෙක් මේ දහසික් බැඳී පියල්ල ගනීවා’ යැයි නගරයෙහි තුන්වරක් බෙර හසුරුවා ද ගන්නා කෙනකු නොලැබ රාජ පුරුෂයන් යළි රජ ගෙදරටම පිවිසේ ද එකල පර්යාප්ති සද්ධර්මය අතුරුදහන් වූවා නම් වේ.

මෙසේ අතුරුදහන්වීම හෙවත් පිරිහීම යනු කාලයාගේ අවෑමෙන් භික්ෂූන් මේ ධර්මය අර්ථ වශයෙන් දරා ගැනීමට අපොහොසත්ව පෙළ වශයෙන් පමණක් දරාගෙන සිටිත්. එයින් ද කල් ගතවත්ම පෙළ ද දරා ගැනීමට අසමත්ව කියූ පිළිවෙළින් ධර්මය අතුරුදහන් වේ.

ඉහත සඳහන් වන සම්බුද්ධ ශාසනයේ පරිහානියට හේතුවන කාරණා හොඳීන් අවබෝධ කරගෙන එම පරිහානිකර තත්ත්වයන් දුරු කිරීමට භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන අපි සෑම සියලු දෙනාම උත්සාහ කරමු.

බක් අමාවක

අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ.
අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]