[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවංක සිතින් මව්පියන්ට උපස්ථාන කරනවා නම් ආයු වර්ණ සැප බල ලැබෙනවා

අවංක සිතින් මව්පියන්ට උපස්ථාන කරනවා නම් ආයු වර්ණ සැප බල ලැබෙනවා

මවට පියාට උපස්ථාන කිරීම උතුම් ම පින්කමකි. හැදූ වැඩූ මව්පිය දෙපළ අපට ලොව ඇති උතුම් ම වස්තුවයි. අප බුදු පියාණන් වහන්සේ අප්‍රමාණ ලෙස මව්පිය උපස්ථානය වර්ණනා කොට ඇත.

වැඩි දෙනෙක් මේ පිළිබඳ දැනුවත් වුව ද ක්‍රියාත්මක වීම අතින් ඇත්තේ අඩුලුහුඩුකමකි. අදට වඩා පැරැන්නන් මව්පියන්ට සැලකීම ඉතා ඉහළින් සිදු කොට ඇත. මව්පිය සබඳතාව පිළිබඳ දරුවන්ට අනන්තවත් අත්දැකීම ඇත. ඔවුන්ගේ ජීවිතය පුරාම දරුවන් කළ කී දේ පිළිබඳ නොමැකෙන චිත්‍රයක් ඇඳී තිබේ. ගසේ පැවැත්මට පොත්ත සේ ඔවුනොවුන්ගේ බැඳීම නොවෙනස් ව පවතී. නිසි පරිදි මව්පිය ගුණ හඳුනාගෙන ඇත්නම් කිසිදාක මව්පියන් අතහැර නොයනු ඇත.

මව්පියන්ගේ ඒකායන ප්‍රාර්ථනය දරුවන් මව්පියන්ටත් වඩා ඉහළින් සිටිය යුතු බවයි. වර්තමාන සමාජ ක්‍රමය අනුව ඉක්මනින් දරුවන් නොමඟට යන්න ඇති ඉඩකඩ වැඩි ය. ඒ නිසා ඔවුන් පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු ය. “පුත්තා වත්ථු මනුස්සානං ” යන බුදු වදනට අනුව තමන්ට ඇති එකම වස්තුව දරුවන් ය. කරණීයමෙත්ත සූත්‍රයේ දී, “මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ”

මව සිය එකම පුතු පණ මෙන් රකින සේ යන කියමන අනුව දරුවන්ගේ වටිනාකම ප්‍රකාශ කර ඇත. ඒ නිසාම තමයි නිතර දරුවන් කෙරෙහි අවධානය යොමු කර, නොමඟට යන මං අවුරා තමන් බලාපොරොත්තු වන දිසාවට යොමු කිරීම මව්පියන් සතු යුතුකමක් ලෙස සලකන්නේ.

අප අතර පවත්නා ඉතා බරපතළ වැරැද්දක් වේ. දරුවන් රැක බලා ගැනීම සහ යුතුකම් ඉටු කිරීම දෙස ඇතැම් අය එක්තරා වැරැදි කෝණයකින් බලයි. දරුවන් ලැබෙන්නේ මව්පියන්ගේ අවශ්‍යතාවක් පිරිමසා ගැනීමට යාම නිසා ය. එම නිසා ඉන් බිහිවන දරුවා අනිවාර්යයෙන් ම රැක බලා ගත යුතු බවයි. එය ඉතාම වැරැදි මතයකි. මිනිසෙක් තම සමාජ කාර්ය ඉටු කළ යුතු අතර, එහි දී තම ජීවිතය තුළ දරුවන් ලැබිය යුතු බවත්, එසේ වීම ඉතා විශිෂ්ට මානුෂවාදී සේවාවක් බවත් පෙන්වා දිය හැකි ය. මේ, පටු ආකල්පයකින් නොව ඉතා පුළුල් මනසකින් බැලිය යුතු සත්‍යතාවකි.

මවකට හෝ පියකුට කරන සැලකිල්ල අන් අයට කරන සැලකිල්ලට වඩා ඉහළ එකක් විය යුතු ය. මව්පියන් අගය කිරීම නිරන්තරයෙන් ම සිදු විය යුත්තකි.

මව්පියන්ට ඇති එකම වස්තුව දරුවන් මෙන්ම, දරුවන්ට ඇති එකම වස්තුව ද මව්පියන් විය යුතු ය. මේ දෙගොල්ලන්ම තම අගය, තම වටිනාකම තක්සේරු කරගෙන සිටිය යුතු ය.

දරුවන් හැදෙන වැඩෙන කාලයේ දී දරුවන්ට දිය යුතු අවවාද මෙන්ම ඔවුන්ට ලබා දිය යුතු ආදර්ශ ද නොදීමේ හේතුවෙන් මව්පියන් දුර්වල වු අවස්ථාවල ක්‍රියා කරන ආකාරය වෙනස් වීමට ඉඩ ඇත. දරුවන්ට කුඩා කාලයේදී ම වැඩිහිටියකු වූ විට කළ යුතු දේ පිළිබඳ මව්පියන් විසින් නොඅඩුව කියා දිය යුතු ය, දැනුවත් කළ යුතු ය. එසේම ඒ පිළිබඳ අත්දැකීම් ද ලබා දිය යුතු ය. එසේ නොවු විට කවදා හෝ එහි නරක ප්‍රතිඵලවලට ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වේ.

මානුෂීය ගුණ ධර්ම කලින් කලට වෙනස් විය යුතු නොවේ. ඒවා සදාකාලිකව ස්ථාවරව තිබිය යුතු වේ. සමාජ ආර්ථීක වෙනස් වීම නිතර සිදු වුවත් සමාජ හර පද්ධතිය වෙනස් විය යුතු නොවේ.

වැඩිහිටියන්ට සැලකීම පෙර දවස ද සිදු විය. දැනුදු එසේ සිදු විය යුතු ම ය. ”අභිවාදන සීලිස්ස - නිච්චං වුද්ධාපචායිනො” වඳීන සුලු, වැඩිහිටියන්ට සලකන සුලු මිනිසුන්ගේ ගුණ ධර්ම සතරක් වැඩෙන බව ධර්මයේ සඳහන් වනවා.

ආයුෂ, වර්ණය, සැප, බලය යන ගුණ ධර්ම සතර, වැඳීම සහ වැඩිහිටි සැලකීම මත වර්ධනය වන බව මෙයින් කියැ වේ.

අප මෛත්‍රි වඩන විට මුලින් ම සඳහන් වන්නේ මව්පියන්ට කරන මෛත්‍රියයි. ඉන් පසුවයි අන් අය කෙරෙහි මෛත්‍රිය පතුරුවනු ලබන්නේ. ඒ මූලිකත්වය අපට කිසිදින වෙනස් කළ හැක්කක් නොවේ.

අප නිතරම අපේ දරුවන්ට සැහැල්ලුකමේ වටිනාකම පෙන්වාදිය යුතු ය. සැහැල්ලු වීම දරුවන් පෝෂණයට පහසු වේ. කරණීයමෙත්ත සූත්‍රයේ දී ”සුභරෝ” යන්නෙන් සඳහන් කළේ වැඩිහිටි බාල කවුරුත් පෝෂණය කරන්නට පහසු නම් තම ජීවිතයත් ඉතා පහසු බවයි.

ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස සහ තමා පරිහරණය කරන දෑ කොපමණ ලැබුවත් ඉන් සෑහීමකට පත් නොවී ඊටත් වඩා හොඳ දේ ලබා ගැනීමට උත්සාහවත් වීම මිනිස් ස්වාභාව යයි. දකින දකින දේට ඇලුම් කිරීම, ඒවා ලබා ගැනීමට උත්සාහ කිරීම තුළින් තමන්ගේ ගමන අඩාල වීමට හේතු විය හැක.

අප හැමෝටම එක විධියේ ගමනක් නැත. විවිධ අපේක්ෂා ඇතත් අපට ඇති ප්‍රමාණය අනුව යම් යම් දේ ලබා ගන්නවා මිසක් අධික තණ්හාවෙන් ගොඩක් දේ රැස් කර ගැනීමට උත්සාහ කිරීම තමන්ගේ විනාශයට හේතු වෙයි. මෙයට කියන්නේ “ මහේච්ඡතා “ යනුවෙනි.

සතුට පරම ධනය කොට ගෙන වාසය කළ යුතු ය. අපගේ ප්‍රධාන අපේක්ෂාවන්ට හානි නොවන, ලැබෙන දේ සතුටින් බාරගෙන ක්‍රියා කිරීම ඉතා උතුම් මනුෂ්‍ය ගතියකි. දෙමාපිය රක්ෂණයේ දී මේ ගුණාංග වඩාත් ගැලපෙයි. ඇතැමුන්ට මව්පියන් අතහැර යන්නට සිදු වන්නේ අල්පේච්ඡතා ගුණය වර්ධනය කර නොගත් බැවිනි. තමන්ට යැපෙන්නට හැකි තත්වයෙන් ජීවිතය ගොඩනඟා ගන්නවා විනා රටේ ලෝකයේ සිදුවන ආකාරයට කටයුතු කරන්නට යාමේ දී අවශ්‍යම දේ ඉටු කරන්නට අවස්ථාව නොලැබී යාමට ඉඩ ඇත.

සැහැල්ලු ජීවිතයක් ගත කරන දරුවන්ට දෙමාපියන් අමුතු බරක් නොවේ. දරුවන් ආශ්‍රිතව මව්පියන් ජීවත් වේ නම්, එය ඔවුන්ට විශාල ශක්තියක් සහ ආශිර්වාදයක් වන්නේ ය.

ඇතැම් මව්පියන් දරුවන් යටතේ සිට පින්දහම් කර ගනිමින් ඉතා තෘප්තිමත් ජීවිතයක් ගත කරනු දක්නට ලැබේ.

මව්පියන් වෘද්ධ අවස්ථාවට පැමිණි විට ඔවුන්ගේ වයස් පරතරය අනුව යම් යම් ගැටලු ඇති වේ. බාල වැඩිහිටි පරපුර දෙකෙහි ආකල්ප සහ සිතුම් පැතුම් වෙනස් ය. ඒ නිසා මේ දෙගොල්ල අතර නොගැලපීමක් තිබිය හැක. ඒ නිසා ඊට පිළියමක් ලෙස මේ දෙපිරිස ම මධ්‍යස්ථව සිතීම වඩාත් වැදගත් වේ.

මව්පියන්ට උපස්ථාන කිරීමේ උතුම් ගුණ ධර්මය පිරිය හැක්කේ මිනිස් ගුණ දහම් හඳුනන අයට පමණි.

බක් අමාවක

අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ.
අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]