[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැප ලබනවා ද? දුක් විඳිනවා ද? තීරණය කරන්නට ඕනෑ තමන් ම යි

සැප ලබනවා ද? දුක් විඳිනවා ද? තීරණය කරන්නට ඕනෑ තමන් ම යි

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස...
සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං
යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා
නිරයං පාපකම්මන්තා පුඤ්ඤකම්මා ච සුග්ගතිං
තස්මා කරෙය්‍ය කල්‍යාණං නිචයං සම්පරායිකං
පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති

පින්වතුනි,

අප ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඉහත ගථා ධර්මය ඇතුළත් වන්නේ සංයුත්ත නිකායට අයත් කෝසල සංයුත්තයෙහි අය්‍යකා සූත්‍රයට යි. මෙහි සරල අර්ථය මෙසේ යි.

සියලු සත්වයෝ මරණයට පත්වෙති. ජීවිතය මරණය කෙළවර කොට ඇත. එසේ හෙයින් පින් පව්වලට අනුව පව් කළ අය නිරයට යති. පින් කළ අය සුගතියට යති.

මෙම සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ පසේනදී කොසොල් රජතුමා මුල් කරගෙනයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටි එක්තරා දිනක දිවා කාලයෙහි පසේනදී කොසොල් රජු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ වැඳ එකත්පසෙක සිටියා. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රජුගෙන් ‘මේ දවල් කාලයෙහි කොහි සිට එන්නේ දැයි’ විමසුවා.

‘බුදුරජාණන් වහන්ස’ මට බොහෝ ලෙස ප්‍රිය වූ, මනාප වූ මාගේ අවුදරුදු එකසිය විසි එකක් ජීවත් වූ මිත්තණිය අද කලුරිය කළා. මට බොහෝ සෙයින් සෙනෙහස දැක් වූ ඇයගේ ජීවිතය මාගේ හස්ති සමූහය දී බේරා ගන්නට හැකියාව තිබුණි නම්, මම මාගේ හස්ති රත්නය දී හෝ ඇය බේරා ගන්නවා. ජීවත් කරවනවා.

මාගේ අශ්ව සම්පත දී හෝ ඇයගේ ජීවිතය බේරාගත හැකි ව තිබුණි නම්, මම මාගේ අශ්ව රත්නය දී ඇය බේරා ගන්නවා.

ගම්වරයක් දී ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබුණා නම්, එසේ කරනවා.

එ පමණක් නොව ජනපදයක් ප්‍රදානය කොට හෝ ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබුණි නම් මම ජනපදයක් ප්‍රදානය කොට ඇගේ ජීවිතය බේරාගන්නට පසුබට වෙන්නේ නැහැ. නමුත් මාගේ මිත්තණිය" කලුරිය කළා.’ යනුවෙන් රජු පැවසුවා.

"රජතුමනි, සියලු සත්වයෝ මරණය ස්වභාවය කොට සිටිනවා. මරණය කෙළවර කොට සිටිනවා. එසේම මරණය නොඉක්මවනවායි,

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එම දේශනාව අසා රජුගේ හිතෙහි හටගෙන තිබුණු මිත්තණිය අහිමි වීමේ වේදනාව තුනී වී ගියා

අපි හැම කෙනෙක් ම මව් කුස පිළිසිඳ ගත් දිනයේ සිට මේ මොහොත දක්වා ක්‍රමයෙන් වයසට යනවා, ලෙඩ වෙනවා. අප වටා තිබෙන්නා වූ පරිසරයේ සිට අප අපගේ යැයි කියා ගන්නා ශරීරයත් අනිත්‍ය ස්වභාවයට පත් වී තිබෙන බව අපට ම පැහැදිලි යි. මෙසේ වෙනස් වීමට පත් වූ සහ පත් වෙන්නා වූ අපගේ ජීවිතය මරණයෙන් කෙළවර වෙනවා.

ඒ මරණ ධර්මතාවය ජාති, කුල, ආගම් භේදයකින් තොරව සියලු දෙනාට ම මුහුණ පෑමට සිදුවෙන්නක්. ඉපදුණ හැම කෙනෙක් ම මරණයට පත් වෙනවා. ඒක සියල්ලන්ට ම පොදු දහමක්.

මෙම පොදු මරණ ධර්මතාවයට පත් වන්නා වූ අප සියලු දෙනා ම ලෝභය, ද්වේෂය හා මෝහය යන අකුසල ධර්මයන් ප්‍රධාන කොට ඇති සියලු ක්ලේෂයන් දුරුකරන තුරු නැවත නැවත උප්පත්තිය ලබනවා. කොහෙද උප්පත්තිය ලබන්නේ..? ජාති, ජරා, ව්‍යාධින් හා මරණ යන සතර මහා ඕඝයන්ගෙන් පිරුණු සංසාරයේ යි. මේ දුක් සහිත සංසාරයෙහි අප නැවත නැවත උප්පත්තිය ලැබීම අප විසින් ම සසර කරන ලද කර්ම විපාකයන් අනුවයි සිදු වන්නේ.

අප සසර දී බහුල ව සිදුකොට තිබෙන්නේ පාප කර්මයන්, අකුසල කර්මයන් නම් නිරාගත ව දුක් විඳීමට සිදු වනවා. දුක් සහිත ජීවිත උරුම ව උප්පත්තිය ලැබීමත් සිදුවෙනවා. හැබැයි ඒ වාගේ ම තමයි අප සසර වැඩි වශයෙන් ම සිද්ධ කරගෙන තියෙන්නේ පුණ්‍ය කර්මයන්, කුසල කර්මයන් නම් සුගතිගාමී ව දිව්‍ය ලෝකාදියෙහි දිව්‍ය සැප උදාකර ගැනීමටත්, සැප සහිත ජීවිත උරුම ව උප්පත්තිය ලැබීමත් සිදුවෙනවා.

ඉපදුණු අප කවුරුත් කැමති නැහැ දුක් විඳින්න. අපි කවුරුත් කැමති සැප ඇතිව ජීවත් වෙන්න. පින්වතුනි අපි සැප කැමති වුණාට සැප නිකම්ම ලැබෙන්නේ නැහැ. මෙලොව දී හෝ පරලොව දී සැප ලබන්නට නම් අපි පින් කරගෙන තියෙන්න අවශ්‍යයි. එහෙම පින් කරගෙන තියෙනවා නම්, මරණයෙන් කෙළවර වෙන ජීවිත ගැන අපිට බියක් ඇති වන්න දෙයක් නැහැ.

පින් කරපු කෙනා මෙලොවත් සතුටට පත් වෙනවා. පරලොවත් සතුට ට පත්වෙනවා. එසේ ම දෙලොවදී ම සතුටට පත් වෙලා සැපවත් වාසනාවන්ත ජීවිත ගත කරනවා.

පව් කරපු කෙනා මෙලොවත් සෝකයට පත්වෙනවා. පරලොවත් සෝකයට පත්වෙනවා. ඒ විතරක් නොවේ දෙලොව දී ම සෝකයට පත්වෙනවා.

අප කවුරුත් ජීවත් වෙලා ඉන්න කෙටි කාලයේදීවත්, සසර දී වත් දුක් විඳින්න, කරදර වද වේදනා විඳින්න කැමති අය නෙමේ. ඒ නිසා අප කවුරුත් ‘සබ්බ පාපස්ස අකරණං’ යැයි දේශනාවේ සඳහන් වෙන ආකාරයට සියලු පාපයන්ගෙන්, අකුසලයන්ගෙන් දුරුවෙලා කුසල් දහම් පුරුදු පුහුණු කරමින් ජීවත් විය යුතුයි.

වසර දෙදහස් පන්සිය ගණනක් ගත වුවත් අදටත් අනේපිඬු සිටුතුමා, ධම්මික උපාසකතුමා වැනි පුණ්‍යවන්තයින් මහා පුරුෂයින් ලෙසත්, විශාකා සිටු දියණිය හා බන්ධුල මල්ලිකා ආදි දේවීවරුන් ශ්‍රේෂඨ කාන්තාවන් ලෙසත් ගෞරවයට පාත්‍ර වෙනවා. මේ උදවියගේ ජීවිතත් මේ ලෝකයේ කෙළවර වුණේ මරණයෙන්. එහෙත් තවමත් ඒ ජීවන චරිත අමරණීය ව පවතිනවා. මොනවා නිසාද ? ඒ අය ගතකරපු ශ්‍රේෂ්ඨ උදාර ජීවිත නිසා.

පින්වතුනි,

මේ කාරණා හොඳට තේරුම් අරගෙන, අවබෝධ කරගෙන අප ජීවත් විය යුතුයි. අප හැමෝම මේ ලෝකයේ ඉපදුණා. දැන් ජීවත් වෙනවා. මේ ගතකරන ජීවිත මරණයෙන් අවසන් වෙනවා. ඒ බව අමතක නොකර සත්පුරුෂයන් ලෙස ජීවත් වෙමු. පින් දහම් සිදු කරගමු. කුසල කර්ම දියුණු කරගමු.

තෙරුවන් සරණයි

ගලහිටියාව වේළුවනාරාමාධිකාරී, නාත්තන්ඩිය වීරහේන විද්‍යාරත්න පිරුවනේ වැඩබලන කෘත්‍යාධිකාරී,

ඉල් පුර අටවක පෝය

නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]