[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 53 කොටස: දුටුගැමුණු රජතුමාගෙන් තිස්සට අනතුරු ඇඟවීමක්

දුටුගැමුණු මහ රජතුමා - 53 කොටස:

දුටුගැමුණු රජතුමාගෙන් තිස්සට අනතුරු ඇඟවීමක්

අවංක, අව්‍යාජ හැඟීමෙන්, පරාර්ථ චර්යාවෙන් රට, ජාතිය, ආගම පිළිබඳ උදාර හැඟීමෙන් කරන කිසිම කාර්යයක් අසාර්ථක වෙන්නේ නැහැ.

"විහාරමහා දේවිය කැමැත්තෙන්ම මෙහි එන්නට බැරි කමක් නැහැ. නො ඒමේ හේතුවක් තිබෙන්නට ඕනෑ. එය බුද්ධිමත් තීරණයක ප්‍රතිඵලයක් බවයි මට සිතෙන්නේ. "

"තමන්ට හිටි කඩොල් ඇතුත්, තමන්ගේ ආරක්ෂාව යටතේ සිටිය යුතු මව් බිසොවුන් වහන්සේත් කැඳවාගෙන එන්නට යන ගමනක් ලෙස දුටුගැමුණු මහ රජතුමා හෙට හිරු උදාවත් සමග දිගාමඩුල්ල බලා පිටත් වෙනවා. මේ ගමන සඳහා මහනුග්ගල චෛත්‍ය උත්සවයේ දී ප්‍රතිඥා දුන් කිසිවකු සහභාගී විය යුතු නැහැ. තිස්ස කුමාරයා ප්‍රතිඥා බිඳ දැමුවත් අපේ මහා සෙනෙවිවරුන් දුන් ප්‍රතිඥා බිඳ දැමීමට අවශ්‍ය නැහැ. ඒ වගේම තවත් එක් විශේෂ දෙයක් පැවසිය යුතුයි. තුන් සිංහලය ම එක් සේසත් කිරීමේ සටන සඳහා ගමන් ආරම්භ කිරීමට යොදාගෙන ඇති දින වකවානු මේ අරගලය නිසා වෙනස් කරන්නේ නැත්තම් හොඳයි."

සියලු දෙනා තුළ මහත් උද්යෝගයක් ඇති කරමින් මහ තෙරුන් වහන්සේ නැඟී සිටියහ. දුටුගැමුණු රජතුමා ඇතුළු පිරිස වැඳ නමස්කාර කිරීමෙන් පසුව උන්වහන්සේ ආපසු වැඩියහ.

ඉන් අනතුරුව දුටුගැමුණු රජතුමා කතා කළේ ය. මහතෙරුන් වහන්සේගේ අදහස් සියල්ල අනුමත කළේ ය. ඉවසීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේ ය.

"මෙය අප කෙසේවත් අපේක්ෂා නොකළ අර්බුදයක්. මෙයට මුහුණ දීම නොවෙයි, මෙයින් පොදු ජනතාව තුළ ඇතිවන කළකිරීම පිළිබඳවයි මගේ බය. "

ඒ නිසා යුද්ධයකට යන ආකාරයට නොව නෑ ගමනක් යන ලෙස මේ ගමන පිටත්වීමටයි මා සැලසුම් කර තිබෙන්නේ. හිස් අතින් එන්නට සිදු වුණත් එය පරාජයක් ලෙස සැලකිය යුතු නැහැ."

"අපේ සතුරන් මොන තරම් සියුම් ලෙසත් බලවත් ලෙසත් ක්‍රියාත්මක වෙනවා ද යන්නට මෙය හොඳම නිදසුනක්. මහා සෙනෙවිගේ සිට සෙබළා දක්වා සියලු දෙනාම බුද්ධිමත් ව කටයුතු කරන්නට ඕනෑ."

"මේ තීරණාත්මක අවස්ථාවේ යුද්ධයකට එළඹීමේ අදහසක් මට නැහැ. නමුත් මගේ උරුමය ලබා නො ගැනීම මට මදිකමක්. අපේ යුද්ධ මෙහෙයුමේ දී උපදෙස් ලබා ගන්නේ මව් බිසොවුන් වහන්සේගෙන්. මගේ වාහනය වන්නේ කණ්ඩුල හස්ති රාජයා. හෙට උදෑසනින්ම මා දිගාමඩුල්ල බලා ගමන් අරඹනවා."

"හොඳමයි මහ රජතුමනි, අවංක අව්‍යාජ හැඟීමෙන් පරාර්ථ චර්යාවෙන් රට ජාතිය, ආගම පිළිබඳ උදාර හැඟීමෙන් කරන කිසිම කාර්යයක් අසාර්ථක වෙන්නේ නැහැ."

"වේළුසුමන දැනට සංවිධානය කර ඇති පරිදි පන්සියයක අශ්ව සේනාවක්, දස දහසක සේනාංකයක් හිරු උදාවත් සමග පිටත් වී ගුත්තාහල දී කඳවුරු බැඳගන්න".

"යුද්ධය සඳහා ප්‍රභල සුදානමක් අපට නැහැ. අපේ ගමනට අවහිරයක් වුවහොත් මඟහරවා ගැනීමට පමණයි සේනාංකයක් ගෙන යන්නේ. සතුරු සේනාව බලවත් වුණොත් පහර නොකා පලා යන්නට සැලසුම් කරගැනීම සෙනෙවිවරුන්ගේ කටයුත්තක්. ගුත්තාහල කඳවුරෙන් ඉදිරියට යන්නේ අශ්ව සේනාංකයක් පමණයි. "

"මහා රජතුමනි, දිගාමඩුල්ලෙන් හදිසි හී පතක් දැන් ලැබී තිබෙනවා "

මහනෙල විසින් ඉදිරිපත් කරනු ලැබූ හී පතෙහි සම්කඩ ඉවත් කොට ගත් තල්පත රජතුමා විසින් කියවනු ලැබීය. කවුරුත් බලා සිටියේ මහත් කුතුහලයෙනි.

"මගේ නිගමනය හරි. තිස්ස හෙට උදෙන්ම පනස් දහසකට ආසන්න බල හමුදාවක් රැගෙන මාගම බලා පිටත් වෙනවා. මේ තල්පත ඊයේ දිගාමඩුල්ලට යැවූ දූතයන් හතර දෙනාගෙන්."

"මම ඊයේ හතරවැනි වරටත් දූතයන් හතරදෙනෙක් අත හසුන්පත් යැව්වා."

"මෑණියන් වහන්සේත්, කඩොල් ඇතාත් නොපමාව එවන්න. තොප මේ වරත් මගේ ඉල්ලීම නොසලකා හැරියොත් මම ම පැමිණ ඔවුන් කැඳවාගෙන එමි. මගේ ඉවසීම හෙට දින තෙක් පමණයි. "

"මා යැවූ හසුන්පතට තිස්සගේ පිළිතුර මගේ දිගාමඩුල්ල ගමන නැවත්වීමට බල පිරිස සමග ඉදිරියට ඒමයි."

"නමුත් මහරජතුමනි, හතළිස් දහසක බල සේනාංකයකට දස දහසක සේනාංකයක් මුහුණ දී ජය ගන්නේ කෙසේද ?"

"ජය පරාජය නොවෙයි පුස්සදේව, මෙහිදී මට වුවමනා කරන්නේ . තිස්සගේ සැබෑ ආකල්ප හොඳීන් තේරුම් ගැනීමයි. මගේ දුර්ගම යුද භටයන් පිරිසක් දැන් චුලංගනියට ගොස් තිබෙනවා. හෙට උදෑසන ඔවුන් තවත් ඉදිරියට යාවි. ඔවුන් තිස්සගේ සේනාංක අතර කලබල ඇති කරාවි."

"අපේ හමුදාවේ කිසිවකුට අනතුරක් නොවන ලෙස පෙර සලකුණු ගෙන ඒම ඔවුන් කෙරෙන් පලායාම හෝ සටන් කිරීම ඒ අනුවයි."

"මහ රජතුමනි, මෙම අරගලයේ දී උතුරෙන් ආධාර ලබා ගෙන තිස්ස කුමාරයා සටන් ආරම්භ කළහොත් එම සටනට මුහුණ දීම සඳහා පනස් දහසක බල ඇණියක් අප සූදානම් කර තිබෙනවා." නන්දිමිත්‍ර මහා සෙන්පති කීවේ ය.

"අප පලා යන්නට තීරණය කළහොත් මම තිස්ස ඇමැතිත් සමග කප්කඳුරු පෙදෙසට ගමන් ගන්නවා. තොප සියලු දෙනා ගුත්තාහල ගොස් එහි සිටින බල සේනාවත් සමග මාගමට යා යුතුයි."

"මහරජතුමනි, ඔබ වහන්සේ හැර දමා වෙනත් මඟකින් යෑමට අප කැමති නැහැ. ගමනෙහි අවසානය දක්වා ඔබතුමා සමග රැඳී සිටින්නට අපට අවසර දෙනු මැනවි".

"නැහැ මහසෙනෙවි, අප මෙතැන දී කරන්නේ තිස්සගේ සේනාව මුළා කිරීමක් පමණයි. මගේ ආරක්ෂාවට දුර්ගම සංග්‍රාමිකයන් මා අවටින් සිටීවි. "

ජය ලබා සතුටට පත්වීමේත්, එයින් උද්දාමයට පත් වී ජයඝෝෂා නැගීමටත් අවස්ථාවක් ඔවුන්ට දෙන්නයි මා කැමති, එමගින් සේරු, සෝම රාජ්‍යවලත් රජරටත් ඇතිවන ප්‍රතිචාර ලබා ගැනීමට අපි චර පුරුෂයන් යොදා තිබෙනවා.

දුටුගැමුණු මහ රජතුමාගේ අරමුණු අවබෝධයට ගත් සෙනෙවිවරු කෙසේ වුව ද සටන් අවස්ථාවක් යෙදුණහොත් එයට මුහුණ දෙන අධිෂ්ඨානයෙන් සැවොම විසිර ගියහ.

"තිස්ස කටයුතු කරන ආකාරයෙන් ප්‍රකාශ වෙන්නේ සතුරුකම මිස සහෝදරකම නොවෙයි. මොහු මේ තරම් ද්‍රෝහියකු වුණේ කොහොමද ? එළාර පාර්ශවයේ සතුරුකම දිඝාභයගෙන් බෝවන්නට පුළුවන්. ඒ විතරක් නොවෙයි. මොහු මට සතුරු ව බලවත් වීමට සේරු, සෝම නුවරින් අනුබලය ලබා ගන්නට ඇති. ඒ නිසා අපට ජය ගන්නට සිදු වී ඇත්තේ එළාර රජු පමණක් නොවෙයි ."

"මෙය වුවමනාවෙන් ම ලබා ගත් පරාජයක්. ඇත්තවශයෙන් ම මගේ පරාජයක්. සතුරාගේ තරම නොදැන සටනට බැසීමේ පරාජයක්. "

"උතුරේ සටන සඳහා පියාණන් වහන්සේ සංවිධානය කොට ඇති කිසිම සේනාංකයක සහාය නොලබා මට තිස්සගේ සේනාව සමුල ඝාතනය කරන්නට පුළුවන්. නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ එම බල හමුදාවෙන් විශාල කොටසක් පක්ෂපාත කර ගැනීමයි."

දියවැල්ලා තොටට පැමිණ වෙහෙස නිවා තිස්ස ඇමති විසින් පිළිගන්වන ලද දවල් ආහාරය නිමවා මදක් විවේකීව සිටි දුටුගැමුණු රජතුමා කතරගමට පැමිණියේ ය. අෂ්ඨඵල බෝධීන් වහන්සේ වැඳ පැදකුණු කොට සිතුල් පවු විහාරය බලා පිටත් විය. එහි දී විහාරාධිපතීන් වහන්සේ දැක වැඳ මාගම බලා වේගයෙන් අසු මෙහෙය විය.

ඉල් පුර අටවක පෝය

නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]