[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආගමික සහජීවනය උදෙසා කාලය ශ්‍රමය ධනය කැපකරන හින්දු බැතිමතා

ආගමික සහජීවනය උදෙසා කාලය ශ්‍රමය ධනය කැපකරන හින්දු බැතිමතා

අපේ රටේ වසර 30 ක් තිස්සේ තිබුණු යුද්ධයට ප්‍රධාන හේතුව ලෙස සමාජ විද්‍යාඥයන් පවසා තිබෙන්නේ අපේ රටේ ජාතීන් අතර හා ආගම් අතර තිබිය යුතු අන්‍යොන්‍ය ජාතික හා ආගමික සහයෝගය අහිමි වීමයි. 1948 දී මෙරට නිදහස ලබා ගැනීමේ දී ඒ ජාතික ආගමික සහයෝගිතාව හා ඒකාබද්ධතාව තිබුණත් ඊට පසු එය අඩපණ විය.


එස්. ධනබාලා මහතා

එවන් තත්ත්වයක් යටතේ වූව ද අදටත් මෙරට ජාතික හා ආගමික සහයෝගිතාවේ හා ඒකාබද්ධතාවේ අගය පෙන්වන හා ඊට හොඳ අත්වැලක් සපයන සුවිශේෂී පුද්ගලයකු අපට හමු විය.

උපතින් ද්‍රවිඩ පුද්ගලයකු හා හින්දු භක්තිකයකු වූ නමුත් දැනට මෙරට පන්සල් විහාරාරාම බෞද්ධ මධ්‍යස්ථාන පනහක විවිධ ඉදිකිරීම් හා වෙනත් කටයුතුවලට උදව් උපකාර කර ඇති ඔහු පසුගියදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශාසන ශෝභන ලංකා පුත්‍ර සම්මානය ලැබූ සමාජ සේවක එස්. ධනබාලා මහතා යි.

පිටකොටුව බෝධීන් වහන්සේ දිවි හිමියෙන් රැකගත් එක්සත් බෝධිරාජ සමිතියේ නිර්මාතෘ එස්. ටී. සින්නදොරේගේ පුත්‍රයකු ලෙස ඒ මහතා ගිය අඩි පාරේ යන ධනබාලා දැනට පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතියේ අනුශාසක මෙන් ම සමස්ත ලංකා හින්දු සභාවේ උප සභාපති හා කොම්පඤ්ඤවීදිය කතරගම දේවස්ථාන රාජ කොපුර් තිරුප්පති කෝවිල් දායක සභාවේ සභාපති ලෙස ද කටයුතු කරයි.

බෞද්ධ හා හින්දු ආගමික ස්ථාන රැසක් දියුණු කිරීමට උදව් කරන ධනබාලා මහතා 1951 වසරේ උපත ලබා ඇත.

මහර පළමුගෙදර මංගලාරාම විහාර සංවර්ධන සමිතියේ අනුශාසක , වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ දායක සභාවේ ප්‍රධාන අනුශාසක වන එස්. ධනබාලා කොම්පඤ්ඤවීදිය කතරගම දේවස්ථාන රාජ් කොපුර් තිරුප්පති කෝවිල ඇතුළු හින්දු දේවස්ථාන රැසක පාලක සභාවල තනතුරු හොබවයි.

ලේක්හවුස් ආයතනයේ “බුදුසරණ“ පුවත්පත් 500ක් සෑම මසකම සිය මුදලින් මිල දී ගෙන වසර 5ක් තිස්සේ සිරකරුවන්ට හා පන්සල්වලට නොමිලේ ලබාදුන් ඒ මහතා බෞද්ධ සන්නිවේදන කටයුතුවල දී නිතරම උදවු ලබා දෙයි. රටපුරා විවිධ ආරාම උදෙසා සම්බුද්ධ මන්දිර , ජල පහසුකම්, මල් ආසන, දේවාල ආදිය ඉදිකරවා විදුලිය ලබා දී ඒවායේ විදුලි බිල ද ගෙවන ධනපාල මහතා විශේෂයෙන් ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන්ට “බුදුසරණ“ පුවත්පත ලබාදීම වසර 5ක් සිදු කෙළේ ය.

ඒ බන්ධනාගාර රැඳවුවන්ගේ “අඳ නෙත්“ පවෙන් මුදවාගෙන ධර්ම මාර්ගය වෙත ළං කරවීම පිණිස ය.

සිංහල ජාතික ළදරු පාසල් රැසකට උදව් කළ ඔහු දහම් පාසල් රැසක සිසු දරු දැරියන්ට නොමිලේ දිවා ආහාරය ලබාදෙන අතර, කතරගම වන්දනාකරුවන්ට ද නොමිලේ ඉඳුම් හිටුම් ලබාදීම සිදු කරයි.

වැඩි ප්‍රසිද්ධියක් නැතිව තම ජාතික, ආගමික, සාමාජික කටයුතුවල වසර 50ක් තිස්සේ යෙදෙන ධනබාලාගේ ප්‍රතිපත්තිය රටේ සියලු ආගම්වලට තමන් උපයන ධනයෙන් හැකි අයුරින් උදවු කිරීම යි.

මෑතක දී පිටකොටුවේ බෝධීන් වහන්සේ අසල බෝධිරාජ විහාරයට දේවාල දෙකක් පිළිම සහිතව ඉදිකර දීමට ද ධනබාලා කටයුතු කෙළේ ය. සිංහරාජ අඩවිය අසල පිහිටි දෙණියාය සමන්ගල ජනවිජය විහාරස්ථානය ඇතුළු විහාර රැසක සංවර්ධන කටයුතුවලට ද උපකාර කර ඇත.

මෙලෙස ජාති ආගම් බේදවලින් තොරව රටේ ආගමික සංහිඳියාවට ජාතික සංහිඳියාවට නිශ්ශබ්දව උදව් කරන මෙවැනි පුද්ගලයින් අගය කිරීම ජාතික සහයෝගිතාව අගය කරන හැමගේ යුතුකමකි.

ඉල් පුර අටවක පෝය

නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]