[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුවින් උතුම් රුව ඇති මගෙ යසෝදරා සොඳීන් බුදුව එන්නෙමි මම එ ලොව් තුරා

රුවින් උතුම් රුව ඇති මගෙ යසෝදරා සොඳීන් බුදුව එන්නෙමි මම එ ලොව් තුරා

අනේක දුක් කම්කටොළු විඳ දරා ගනිමින්, අපමණ කැපකිරීම් කරමින් සෙනෙහබර සුවච කීකරු බිරිඳ සමඟ අලුත උපන් රහල් කුමරු ද අතහැර දමා යන්නේ කෙළවරක් නො පෙනෙන සසර කතරේ අතරමං වෙමින් අපමණ දුක් විඳීන ලෝක සත්ත්වයා එම දුකින් මුදවා ගැනීමේ උදාර චේතනාවෙනි. එය කාමභෝගී ලෞකික ජීවිතයෙන් මිදී ලෝකෝත්තරය කරා පියමං කිරීමකි.

තුන් ලෝකාග්‍ර වූ අමාමෑණී සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ ලෝක සත්ත්වයා වෙත පතළ මහා කරුණාවෙන් තුන් ලොවක් සනහාලන ලොව්තුරා බුදුබව ලබන්නට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරමින් සාමාන්‍ය මනුෂ්‍යයකුට කළ නොහැකි අසහාය කැපකිරීම් සිදුකරමින් බුදුවන ආත්මභාවයේ දී ද යසෝදරා දේවිය හා සිඟිති රාහුල පුතු හැර දමා ගිහිගෙන් නික්මුණු අවස්ථාව ලෞකිකත්වයෙන් ලෝකෝත්තරය කරා පියමන් කිරීමක් ලෙස යසෝදරාවත කවියා එම අවස්ථාව දුටු අයුරු ගෞරවනීයත්වය ආරක්ෂා වන පරිදි සංවේගයෙන් රමණීය ලෙස පාඨකයා වෙත ඉදිරිපත් කර ඇත.

අතිපාරිශුද්ධ රාජ වංශයක් වන ශාක්‍ය වංශයට අයත්ව උප්පත්තිය ලැබූ සිද්ධාර්ථ කුමරා විශ්ව මිත්‍ර නම් වූ ආචාර්යවරයාගෙන් ශිල්ප ශාස්ත්‍ර හදාරමින් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි කල්හි සොළොස් වැනි වියට පත් කුමරුට සුදුසු දූ කුමරියක් සරණපාවාදීමට සුද්ධෝදන මහරජතුමා කටයුතු සූදානම් කළහ.ඒ පුවත සැළ වූ බොහෝ ශාක්‍ය රජවරු තමාගේ දූ කුමරියන් සිදුහත් කුමරුට සරණපාවාදීමට කැමැත්ත පළ කළහ. සුද්ධෝදන පිය මහරජතුමා ද සිදුහත් කුමරුගේ සුඛෝපභෝගී ජීවිතයට ඇවැසි වන පරිද්දෙන් සෘතු වලට ගැලපෙන ආකාරයෙන් තුන් පහයක් ඉදිකරවීය. බොහෝ රජවරු තම දියණිවරු සිදුහත් කුමරුට සරණපාවාදීමට බලාපොරොත්තු දල්වාගෙන සිටිය ද සංසාරගත පුරාකෘත පුණ්‍ය මහිමය අනුව දීපංකර පාද මූලයෙහි නියත විවරණ ලබමින් ප්‍රාර්ථනා කළ පරිදි යසෝදරාවෝ සිදුහත් කුමරුගේ අගමෙහෙසිය වූ කතා පුවත යසෝදරාවත කවියා සංක්ෂිප්ත ව විචිත්‍රවත් ව චිත්‍රණය කර ඇත්තේ මෙලෙසිනි.

දුනු ශිල්පය සැදුනේ අප බෝසතු ට
යසෝදරා අගමෙහෙසුන් පළමු සිට
එකුත් තිසක් අවුරුදු ගිහි ව වැඩ සිට
උතුන් සිරි සැපත හැර බිසව යහතුට

දිගු සසරෙහි තමන් අත් නොහරිමින් සෑම ආත්මභාවයක ම සෙවණැල්ල සේ සිදුහත් කුමරා හා පැමිණි බව කවියා අඟවන්නේ

යසෝදරා අගමෙහෙසුන් පළමු සිට

යන එක පදයක් භාවිත කරමිනි.

ආත්ම ගණන් පුරා පාද පරිචාරිකාව ලෙසින් ළඟින් සිටිමින් අනේක දුක් කම්කටොළු විඳ දරා ගනිමින් අපමණ කැපකිරීම් කරමින් සෙනෙහබර සුවච කීකරු බිරිඳ සමඟ අලුත උපන් රහල් කුමරු ද අතහැර දමා යන්නේ කෙළවරක් නො පෙනෙන සසර කතරේ අතරමං වෙමින් අපමණ දුක් විඳීන ලෝක සත්ත්වයා එම දුකින් මුදවා ගැනීමේ උදාර චේතනාවෙනි. එය කාමභෝගී ලෞකික ජීවිතයෙන් මිදී ලෝකෝත්තරය කරා පියමං කිරීමකි. කෙසේ වුව ද, යසෝදරාවන්ගේ යෞවනත්වයේ සුන්දරත්වය තවමත් ගිලිහී ගොස් නැත. සක් බඹයක් දිග නිල්වන් කේශ කලාපය ලිහිල් වී අක්ඹමරුව කැරකී ඇත. ඇයගේ රන් දෙතනේ කිරි උරා බොන කිරි සුවඳ හමන සිඟිති කුමරු ළඟ සිදුහත් කුමරුගේ දෙනෙත මොහොතකට නතර වූ අවස්ථාව කවියා ධර්මානුකූල ව විග්‍රහ කරන්නේ බිසව හා සිඟිති රහල් පුතු තවදුරටත් සසරෙහි බැඳීමක් වන නිසා නතර වීම සුදුසු නොවන බවටයි.

රන් යහනේ සැතපෙන මගෙ බිසවුන්ට
ළංකර කුමරු බැලුවෝතින් යහන් පිට
රන් ලිය වැලකි සිරි හස්තය කුමරු පිට
පින් කඳ බිසව සැතපෙන සැටි දුටු නෙතට

මැණික් කරඩු කටලා කිරි බොන කුමරු
අනික් දෙයක් දුටුවම මොකටද නිසරු
වෙනස් කමක් සිතුවේ නැත මට අයුරු
සිතක් දරාගෙන නෙත් දෙක කදුළු පිරූ

රන් යහනේ සැතපෙන බිසව ඇගේ රන්ලිය වැනි අතින් කුමරු තුරුළු කරගෙන නිදාසිටී. මෙතෙක් කලක් අප්‍රමාණ සෙනෙහසින් යුග දිවිය ගෙවූ දේවිය හා කිරි සුවඳ හමන සිඟිති රාහුල කුමරු ද අතහැර අද මම පැවිදි වන්නේ අප්‍රමාණ සත්ත්වයා සසර දුකින් මුදවාලීමට බව කවියා විස්තර කරන්නේ

නිම නැති සතුන් සසරින් ගොඩ නැගීම ය

යනුවෙනි. මම ගහිගෙන් නික්මී ගොස් උතුම් ලෝකෝත්තර වූ සම්මා සම්බුද්ධත්වය ලබා ඔබ ද සසර කතරින් එතෙර කරවීමට එන තෙක් ඉවසා සිටින ලෙස කුමරු යසෝදරාවට සමුදුන් අයුරු දක්වන ආකාරයෙන්

පැතුම් බලෙන් දෙන්නා ආවේ පේවී
කතුන් සැමට නායක බිම්බා දේවී
ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී
ගොසින් බුදුව එනකල් සිටපන් දේවී

සිද්ධාර්ථ කුමරාගේ අධිෂ්ඨානය ද කවියා සඳහන් කර ඇත.

සඳුන් සුවඳ මල් අතුරපු යහන පුරා
යොදුන් ගණන් පැතිරෙයි සුවඳ මනහරා
රුවින් උතුම් රුව ඇති මගෙ යසෝදරා
සොඳීන් බුදුව එන්නෙමි මම එ ලොව් තුරා

යසෝදරාවන් හැර දමා යන්නේ පරම පූජනීය වූ උත්කෘෂ්ට බලාපොරොත්තුව වන ලොව්තුරා බුද්ධත්වය අපේක්ෂාවෙනි. කවියා සිදුහත් කුමරු ලවාම ප්‍රකාශ කරවනු ලබන්නේ සෙනෙහෙබර සැමියකු තමා කෙරෙහි අපමණ වූ බැඳීිමකින් සිටි අප්‍රමාණ වූ රූප සෝභාවෙන් කිසිදු අඩුවක් නොවූ යශෝදරාව හා ගෙවූ යුග දිවියේ අසීමිත ප්‍රියජනකත්වයේ කිසිදු බිඳීමක් නොදුටු, ඇය කෙරෙහි කිසිදු අහිතක් නොමැති ව, ඇගේ අප්‍රමාණ කැපකිරීම් අගය කරන, කිරි සුවඳ හමන සුරතල් පුතු දකින විට ඔහු සුරතල් කරන්නට තබා අතට ගෙන බලන්නටවත් අවසර නොලබන සංවේග වන මානුෂික ගුණාංගයන්ගෙන් පිරිපුන් සෙනෙහෙබර ස්වාමිපුරුෂයකු, ආදරණීය පියකු ලෙසිනි.

තම උත්තරීතර අධිෂ්ඨානය පෙරමුණේ තබා ගනිමින් ඡන්න සමඟ කන්ථක අසු මෙහෙයවා පිටවූ ආකාරය කවියා පාඨක මනසේ චිත්‍රණය කරන්නේ

පුන්සඳ ලෙසට බෝසත් වැඩියා ය පිට
රන්කඳ කුමරු හැරයමි ඉතින් කෙලෙසට
රන්කඳ ලෙසින් වැඩියේ ගංඟා තෙරට
පින් ඇති මගේ අඹුදරු දකිමි ආවිට

ලෙසිනි.

රන්කඳ කුමරු හැරයමි ඉතින් කෙලෙසට

කවියාගේ සිතෙහි හටගත් සංවේගය ඉදිරිපත් කරන්නේ බෝසතුන් තවමත් රාජ කුමාරයකු, උත්තරීතර පියකු හා සෙනෙහෙබර ස්වාමිපුරුෂයකු බව සිහිපත් කරමිනි.

සිදුහත් බෝසතුන් ගිහි කල ගතකළ අතිශය කාමභෝගී සුඛෝපභෝගී ජීවිතය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ තික නිපාතයේ දේවදූත වර්ගයේ නව වැනි සූත්‍රයේ සඳහන්ව ඇත.

ඉල් පුර අටවක පෝය

නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]