[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුණි සිරිපා කරුණාවයි - සුමන සමන් දෙවි පිහිටයි

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

මැටරඹ හේමරතන නාහිමියෝ ශ්‍රී සන්නස්පත්‍ර ලබති

මල්වතු මහාවිහාරයේ මංගලඋපෝෂථාගාරයේ උපාධ්‍යාය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පුද ලද ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මගුල් මහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති, හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, සද්ධර්ම භාරතීශ්වරාචාර්ය ශාස්ත්‍රපති මැරටඹ හේමරතන නාහිමියන් වෙත පෞරාණික චාරිත්‍ර ප්‍රකාරව ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීමේ පුණ්‍යොත්සවය ඉකුත් 22 වන දින මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගලඋපෝෂථාගාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රීමත් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිතුල්පව්ව මගුල් මහාවිහාර දායක සභාවේ අනුශාසක, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි. අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත උපහාර පිරිනැමීමේ අභිනන්දන උළෙල පෙබරවාරි 29වන දින ගාල්ල යටගල රාජමහ විහාරයේදී නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලාසනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ සිතුල්පව්ව මගුල් මහාවිහාර දායක සභාවේ සභාපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා ඇතුළු ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ පාරමිතා පෙරහර මැදින් පෝදා

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන ‘දසපාරමිතා පෙරහර’ 29 වෙනි වරටත් අඛණ්ඩ ව පැවැත්වේ. එය මැදින් පෝදා රාත්‍රී 07 ට පමණ ආරම්භ වේ. 1991 වර්ෂයේ මල් පෙරහරක් වශයෙන් ආරම්භ වූ එම පාරමිතා පෙරහර කොළඹ පුරවරයේ දර්ශනීය අත්‍යලංකාර පෙරහරක් බවට පත්වී ඇත. පාරමිතා පෙරහරේ නියමුවා කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ‘අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානය, බොරැල්ල චන්ද්‍රලේඛා මාවතේ භික්ෂු ගිලානෝපස්ථානයේ ද ආධිපත්‍යය හොබවනු ලබන අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායයේ අනුනායක බොරැල්ලේ අතුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. අතුල නාහිමි විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමකි. දහම් සිසිලෙන් ජනතාව සනසන උන්වහන්සේ වැඩම නොකළ ගම්මානයක් නැති තරම් ය. අතුල නාහිමියන්ට මෙවන් දර්ශනීය අත්‍යලංකාර පාරමිතා පෙරහරක් පැවැත්වීමට දායකකාරකාදීන්ගෙන් මෙන්ම වෙනත් ප්‍රභූන්ගෙන් ලැබෙන සහයෝගය, ශක්තිය ඉතා වැදගත් ය. අලි ඇතුන් සහිත උඩරට , පහතරට, සබරගමු ආදි නර්තනයන්ගෙන් හා පෞරාණික සංස්කෘතිකාංගයන්ගෙන් පාරමිතා පෙරහර අලංකාරවත් වේ.

 

ධර්ම දේශනාව:

දුකසේ ලැබිය යුතු පිහිට

අත්තාහි අත්ත නො නාථො - කෝ හි නාථෝ පරෝසියා අත්තනාව සුදන්තේන - නාථං ලභති දුල්ලභං, ඉහත ගාථා ධර්මයට අනුව පුද්ගලයා වෙත පැවරෙන වගකීම කවර තරමක වගකීමක්දැයි නුවණින් මෙනෙහි කර බලන්න. තම වගකීම තමා වෙත ම පැවරේ. වෙනත් පිහිටක්, සරණක් අපේක්ෂාවෙන් යම් කෙනෙකු විවිධ දේ සිදුකළත්, තමන්ගේ වගකීම අන්‍යයන් වෙත නොව තමා වෙතම සම්බුදුදහම මගින් පවරා ඇත. මව්පියවරු, දූ දරුවන්, නෑදෑ හිතමිතුරන්, භව භෝග ධන සම්පත්, කෙතෙක් පැවතිය ද අවසානයේ දී ඒ සියල්ලට වඩා තමාට පිහිට පිණිස පවතිනුයේ තමා ම ය. "තමනට පිහිට වන්නේ නම් තෙමේ ම ය. අන් කවරෙක් තමනට පිහිට වන්නේ ද? චක්ෂුරාදී ඉඳුරන් දමනය කිරීම් වශයෙන් මනාසේ තමා දමනය කළ පුද්ගල තෙම දුක සේ ලැබිය යුතු අර්හත්ඵල නමැති පිහිට ලබන්නේ ය." සම්මා සම්බුදුපියාණන් වහන්සේ දෙව්රම් මහා විහාරයේ දී කුමාරකාශ්‍යප තෙරුන් වහන්සේගේ දයාබර මෑණියන් උදෙසා ඉහත ගාථාව දේශනා කර වදාළහ. යම් තැනැත්තෙකු වෙත දිව්‍ය මනුෂ්‍යාදී සුගති භව සැපත හා මාර්ගඵල නිවන් සැපතත් සාදාදීම හෝ ළඟා කර දීම වෙනත් කිසිවෙකුට කළ හැකි දෙයක් නොවේ. ඒ සියලු සැප සම්පත් සැලසෙනුයේ තමා පිළිවෙත් සරුව කුසල් දහම් පිරීමෙන් ය. තමනට පිහිට තෙමේම යැයි වදාළේ එබැවිනි.

 

මැදින් මහේ මුනි සිරිපා කරුණා

ඇප වී, කැපවී ,පේවී ශ්‍රද්ධා ගෞරවය පෙරටු කර ගනිමින් වන්දනා කරන පූජනීය ස්ථාන අතර ශ්‍රී පාදස්ථානයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. ගෞතම සම්බුදුපියාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ මොහොතෙහි දී සුමන සමන් දෙවියන්ගේ ඇරැයුමෙන් පන්සියයක් මහ රහතන් වහන්සේද සමඟ සමන්තකූට මස්තකයට වැඩම කර ඉන්ද්‍රනීල මාණික්‍ය මත සම්බුදු සිරිපා සටහන පිහිටුවා වදාළ සේක. ශ්‍රීපාද පත්මය වන්දනාවට හෝරා කිහිපයක් පුරා අතිදුෂ්කර ගමනක යෙදී පැමිණීමම මහත් අසිරියකි. ශ්‍රී පාදස්ථානය මහත් අනුහසින් යුක්ත සදා වන්දනීය, පූජනීය පින් කෙතකි. සමස්ත ලෝකවාසින්ගේ ගෞරවයට , වන්දනාවට මෙන්ම දිව්‍ය රාජ සමූහයාගේ පවා වන්දනාවට පාත්‍රවන අසිරිමත් ඓතිහාසික පින්බිමකි. කිසිවකුගේ ඉල්ලීමක් මෙහෙයවීමක් නොමැතිව නිදහසේ වැඳුම් පිදුම් කරන ශ්‍රීපාද ස්ථානයෙහි සංකේත දෙකක් දක්නට ලැබේ. ඉන් එකක් නම් වන්දනාවට පැමිණි වාර ගණන සටහන් කෙරෙන ඝණ්ඨාරය නාද කිරීම ය. අනෙක නම් මොහඳුර දුරු කරන දොළොස් මහේ පහන ය, අතීතයේ සිට එම දොළොස් මහේ පහනෙහි තෙල් බොහෝ ලෙඩ දුක් සුව කරන ඖෂධයක් වැනි යැයි ජනමනසෙහි තැන්පත්ව පවතින අදහසක් ද වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]