[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භව කතරයි දුක් සයුරයි - 07: භවය දුකට හෙළන අවිද්‍යාව

භවය දුකට හෙළන අවිද්‍යාව

ඉපදීම, ලෙඩවීම, දිරාගෙන යෑම, මරණය, අප්‍රියයන් හා එක්ව විසීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, යමක් කැමැති නම්, ඒ දේ නොලැබීම. කෙටියෙන් පවසන්නේ නම් ස්කන්ධ පංචකය ම දුකක් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.

දුක්ඛ ස්වභාවය අවබෝධ කරගත යුතු වන්නේ, සාංසාරික වශයෙන් ම භවය දුකට හෙළන්නට හේතුවන අවිද්‍යාව හා සමඟ ගළපා බැලීමෙනුයි. අවිද්‍යාව නිසා සත්වයන් තෘෂ්ණාවෙන් බැඳී දුක සකස් කර ගන්නා බවත්, අවිද්‍යාවෙන් බැහැර වී විද්‍යාවට පත්වීමෙන් සත්වයා විසින් ම භවය නිමා කොට දුකෙන් ද, නිදහස් වන බවත් අවබෝධ කොට ගත යුතුම යි. අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයාගේ සිත අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ පරමාර්ථ ධර්මයට යටත් කොට අවබෝධයක් ලැබීමට අසමත්වීම නිසා ඔවුන් රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ, සිතිවිලි නම් වූ සියලු ආරම්මණයන් හි සප්ත පුද්ගල සංඥාව ඇතුළත් කොට “මම ය”, “මාගේ ය” යන දැක්මෙන් තෘෂ්ණාවෙන් බැඳෙනවා. මේ නිසා ඔවුන් විසින් දුක හදා ගන්නවා. එහෙත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතිවිලි නම් වූ සියලු ආරම්මණ හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස්වන සංඛත, සංඛාර බව අවබෝධ කර ගැනීමෙන් ඒ හේතූන්ගේ විසිර යෑමෙන් මේ සංඛත සංස්කාරයන්ගේ ද විසිර යෑම, නැසී යෑම සිදුවන බව අවබෝධ කරගත යුතු වෙනවා. එවිට වෙනස්වන යමක් වෙනුවෙන් “මම”, “මගේ” යන අයිතියක් සිතින් ගැනීමක් හෝ මෙය දිගින් දිගට ම පවත්වමින් මට ඕනෑ ආකාරයට සකසා ගන්නට පුළුවනි යන සක්ඛාය දිට්ඨි අදහස බැහැර වී යනවා. එහි දී සිදුවන්නේ සංස්කාර ධර්මයන් හි සංසිඳීමයි. එනම් කර්ම සකසා ගැනීම, රැස්කර ගැනීම බැහැරවීමයි. මෙය දුක්ඛ මූලයන් මුලින් ම ගලවා බැහැර කර ගැනීමයි. මෙය චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි ලෙසත්, ආලෝකෝ උදපාදි ලෙසත්, දැක්විය හැකියි. මෙය දුකින් නිදහස් වීමයි.

මේ අනුව අශ්‍රැතවත් පෘතග්ජන ලෝකයා දුක ගැන කතා කරන්නේ, හෝ හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ මේ ලෞකික ලෝකයේ පවත්නා වූ දුක් ස්වල්පයක් මතු කර ගැනීමෙනුයි. කරුණු එසේ නම් භාග්‍යවතුන් වහන්සේ පළමු ධර්ම දේශනාවේ දී එම දුක් පිළිබඳ ව සරල ලෙස දේශනා කළේ ඇයි දැයි ප්‍රශ්නයක් මතුවෙනු ඇත. එනම් උපත හා සමඟින් දිරාගෙන යෑම, ලෙඩදුක්, මරණය වැනි දුක් වගේ ම ‘විභංග සූත්‍ර’ දේශනාවට අනුව කලු කෙස් සුදු පැහැ ගැනීම, සම රැලි වැටීම, දත් ගිලිහී යෑම ආදී වශයෙන් සඳහන් කළේත් ඇයි ද යන ප්‍රශ්නය මතුවිය හැකියි. මේවා පමණක් දෙස බලා නිවන් අවබෝධය ලැබිය නොහැකි යැයි යම් කෙනෙක් තර්ක කරනු ඇත. එහෙත් මේවා මතුකොට දැක්වූයේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයන් ඇලී බැඳී “මම”ය ‘මාගේ”ය යන දැක්මෙන්, තෘෂ්ණාවෙන් කර්ම සකස් කරන ජීවිත ස්වභාවයන් පළමු කොට මතු කර ගැනීමට ය. එහෙත් ලෙඩ වෙනවා, මහලු වයසට පත්වෙනවා කියමින් හෝ මරණයට පත්වෙනවා; කියමින් පමණක් ම සම්‍යග් ප්‍රඥාව ඇතිකර ගත නොහැකි බව ඉතා පැහැදිලියි.

මේ නිසා සංස්කාර දුක්ඛයන්ගේ පටන් එනම් රාග, ද්වේෂ, මෝහා දී කෙලෙස් ඇසුරු කරගත් චිත්තචෛතසිකයන්ගේ පටන් ම සමුදය හා නිරෝධය පිළිබඳ ව එනම් හට ගැනීම හා නැතිව යෑම පිළිබඳ ව අවබෝධයක් ඇතිකර ගැනීම අවශ්‍යයයි. එය මනා වූ සතිය, සිහිය පවත්වාගෙන කළ යුතු අවස්ථාවක් ලෙස තේරුම් ගත යුතු වෙනවා. කල්‍යාණ මිත්‍රයන්, සත්පුරුෂයන් හැටියට අප විසින් කළ යුත්තේ කුමක් ද? සාමාන්‍ය ජනයාට ඔවුනොවුන් ගේ එදිනෙදා ජීවන පැවැත්ම හා සමගින් පොරබඳිමින් සිටින විට සංස්කාර දුක්ඛයන් පිළිබඳ ව තේරුම් ගැනීම තරමක් අපහසු වනු ඇත. එනමුත් ඔවුන්ට දුක්ඛ දුක්ඛ හෝ විපරිණාම දුක්ඛයන්ගෙන් පවසන තමාගේ කයෙහි, මනසෙහි ඇතිවන දුක් හා තම ජීවිත හා බැඳුණු පණ ඇති හෝ පණ නැති වස්තූන්ගේ වෙනස්වීම් විපරිණාමය පිළිබඳ ව ඇතිවන සංසිද්ධීන් ගලපා පෙන්වා දිය හැකියි.

එනම් අප්‍රිය සම්ප්‍රයෝගයෙන් ඇතිවන දුක් ද, ප්‍රියයන්ගේ විප්‍රයෝගයෙන් ඇතිවන දුක් ද, යමක් කැමැති නම් ඒ දෑ නොලැබීම නම් වූ ඉච්ඡාභංගත්වය ද, බලාපොරොත්තු කඩවීම ද, මනසින් අසරණවීම ද, වික්ෂෝපය ද, ආතතිය ද, දොම්නස ද, ආදී වශයෙන් පවත්වන මනෝභාවයන් පිළිබඳ ව පහසුවෙන් විස්තරකොට දිය හැකියි. අවබෝධයට මාර්ගය සකසා දිය හැකියි. ජීවිතවල වඩාත් ම හදවතට දැනෙනා ආකාරයෙන් ශෝකයට සංතාපයට පත්වන ප්‍රිය විප්‍රයෝගය හා කැමැති අරමුණු ඉටු කර ගැනීමට නොහැකිවීම නම් වූ ඉච්ඡාභංගත්වය පිළිබඳ ව ශාසන ඉතිහාසය වගේ ම මිනිස් ඉතිහාසය පුරාම දීර්ඝ කරුණු සොයාගත හැකියි.

ශාසනික ඉතිහාසයේ සඳහන් බොහෝ චරිත කතා අතර පටාචාරා, කිසාගෝතමී, රජ්ජුමාලා ආදී කතාවන් බෙහෙවින් ම සාකච්ඡාවට ගනු ලබනවා. සිදුහත්, යශෝධරාවන් පිළිබඳ ව ප්‍රවෘත්තිය ද, බෝධිසත්ව චරිත දෙස බලන ඇසකින් බැලූ විට සිත් සනසවාගත්තත්, මන්ත්‍රීදේවියගේ දරු දුකින් ඇති වූ විලාපය මෙන් ම යශෝධරාවගේ බුදුරජාණන් වහන්සේ පළමුවරට හමුවීමේ දී දැක් වූ ප්‍රතිචාරාත්මක සංසිද්ධිය ද අශ්‍රැතවත් පෘතග්ජන ලෝකයක හදවත්වල ඇති ශෝකයේ බලවත් වූ ම ගැටීම තේරුම් ගැනීමට හැකිවනු ඇත. යශෝධරාවන්ට බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ම කිඹුල්වත් පුරයට වැඩම වීමෙන් පසුව මුණ ගැසුණු මොහොතෙහි පාලනය කරගත නොහැකි වූ සිතෙහි ස්වභාවය, හැඟීම්වල ස්වභාවය හා කායික ස්වභාවය එනම් දෙපතුල අල්ලා වන්දනා කිරීම ආදී වශයෙනි. පි‍්‍රය විප්‍රයෝගයෙහි බලවත් වූ ම ප්‍රතිචාරය තේරුම්ගත හැකිවනු ඇත.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]