[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර පසළොස්වක 2020.02.08

වැපිරූ දෙයට අනුව ලැබෙන අස්වැන්න

යා දිසං වපතෙ බීජං
තා දිසං වපතෙ ඵලං

වපුරන දෙයට අනුව අස්වනු ලැබෙන බව සම්බුද්ධ දේශනාව ය. මිනිසාගේ ජීවන ක්‍රියාකාරකම් හා ගළපමින් ගෙනහැර දක්වා ඇති මේ ධර්මතාවය ජීවිතයේ සාර්ථකත්වය ද, අසාර්ථකත්වය ද තීරණය කරන සුවිශේෂී ම සාධකයකි. ඒ අනුව යහපත් දේ, නිවැරැදි දේ සිදු කළේ නම් ලැබෙන ප්‍රතිඵලය ද යහපත් ය. නිවැරැදි ය. එමෙන් ම අවැඩදායක දේ, වැරැදි දේ කළේ නම්, ප්‍රතිඵලය ද අවැඩදායක ය. වැරැදි ය. එය යම් විමසීමක් ඇති කුඩා දරුවකුට වුව තේරුම් ගැන්ම අපහසු නො වන්නේ ය.

එසේ වුවද සමහර කෙනෙක් තමන්ගේ යහපත බලාපොරොත්තු වන්නේ අයහපතින් ම ය. එක් පැත්තකින් තමන්ගේ, තම අඹු දරුවන්ගේ ශුභ සිද්ධිය ඇති වී අනුන්ට කුමක් වුවද කම් නැතැයි ඔවුන් සිතනවා විය හැකි ය. එහෙත් තමන් කළ ක්‍රියාවෙහි දුක්ඛදායක ඵලය නිසැකව ම තමන් වෙත එන බව නම් අමතක නො කළ යුතු ය. කර්මය හා කර්මඵලය විශ්වාස කරන බෞද්ධයන් ලෙස අප අතරින් ඇතැමෙක් දහම දැන දැනත් දුකට වැටෙන්නේ කුමක් නිසා ද? දහම් දැනුමට පමණක් සීමා කිරීම නිසා ය. ධර්මය ජීවිතයට ප්‍රායෝගික කරගත යුතු ය. එවිටයි එහි සැබෑ ඵලය භුක්ති විඳින්නට හැකි වන්නේ.

සාමාන්‍යයෙන් අප ජීවිතයේ සෑම සියලු කාර්යයකින් ම බලාපොරොත්තු වන්නේ සතුට ය. මිල මුදල්, ධන ධාන්‍ය සම්පතින් මොනතරම් ආඪ්‍ය වුව ද සිතට සතුටක් නොවේ. “සංතුට්ඨි පරමං ධනං” ජීවිතයේ පරම ධනය සතුට ලෙස දක්වන්නේ ඒ නිසා ය. එහෙත් සතුට සොයා යන ගමනේ දුක උරුම වේ නම් එහි කුමක් හෝ වරදක් සිදු වී ඇත.

බුදුරජාණන් වහන්සේ ගිහියන් වෙත පංචසීීල ප්‍රතිපදාව හඳුන්වා දුන්නේ ඔවුන් ධර්මානුකූල පැවැත්මෙන් යුතු කරවීම සඳහා ය. පංචසීලය තුළින් සිදුවන්නේ අප කරන ක්‍රියාකාරකම් මනා ලෙස හසුරුවා ගැනීම ය.

අප කවර හෝ සත්ත්වයෙකුගේ ප්‍රාණය උදුරා නො ගන්නතාක් ඒ සතාට අප නිසා මරණය බිය නූපදී. තමන් වෙතින් කිසිවෙකුට හිංසා පීඩාවක් නොවනවා කියන සතුට, මානසික සංහිඳියාව එහිදී තමන්ට ද හිමි ය. අනුන්ගේ දේ සොර සිතින් ගත්තේ නම්, ඒ මොහොතේ සිට තමන්ගේ සිත බියෙන් දැවේ. පසුතැවීමක් ඇතිවේ. සතුට නැතිවේ. තමන්ට අවංක ජීවිතයක් ගත කළ නොහැකි නම්, වැරැදි චර්යාවන්ට හුරු පුරුදු වූයේ නම් නිරන්තරයෙන් මානසික තැවීම් මැද ජීවත් වන්නට සිදුවේ. බොරු කියා අනුන් රවටන්නේ යම් මොහොතක ද ඉන් රැවටීමට ලක්වන්නේ තමන්ම ය. ආදීනව විඳින්නට වන්නේ තමන්ටම ය. මත්කුඩු, මත් පැන් ආදී මත් ද්‍රව්‍යයන්ට අද පාසල් දරුවන් පවා යොමු කර ගැනීමේ උත්සාහයන් පෙනේ. මත් ද්‍රව්‍යයන්ට ගොදුරු වූයේ නම් කායික මානසික පිරිහීම ඇතිවී දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වේ. එවිට අනාගතයම අඳුරු වේ. හීන පෞරුෂයක් ඇති රෝගී පුද්ගලයන් සමාජයට ඉතිරි වේ. එය පවුලට මෙන් ම රටට ද බරකි.

ගිහි ජීවිතයේ සතුට රඳා පවත්වා ගැනීමට පංච සීලයම මොන තරම් පිටුබලයක් වෙනවා ද? මව්පියන් දරුවන්ට ආදර්ශයක් ලෙස මේ දහම් මග ජීවිතයට ප්‍රායෝගික කරගන්නවා නම් ඔවුන්ට අනාගතයේ තම දරුවන් වෙතින් සරු අස්වැන්නක් ලැබෙනු ඇත.

අපගේ ක්‍රියාකාරකම් නිවැරැදි වන්නේ සිතිවිලි නිවැරැදි වූයේ නම් ය. ක්‍රියාකාරකම් පිරිසුදු වන්නේ සිතිවිලි පිරිසුදු වූයේනම් ය. සමස්ත සත්ත්ව ප්‍රජාවට ම මෛත්‍රිය, කරුණාව, අනුකම්පාව, දයාව පතුරුවන්නට හැකිනම් තමන්ටත් පෙරළා එවැනිම ප්‍රතිඵල ලැබේ. යම් හෙයකින් තවත් කෙනෙකුට වෛරය, තරහව, කෝපය මුදා හරිනවා නම් අපහාස උපහාස කරනවා නම්, අනුන්ගේ දියුණුවට අකුල් හෙළනවා නම්, අනුන්ගේ චරිත ඝාතනය කරනවා නම් තමන්ට ද එළඹෙන මොහොතක එවැනිම ආදීනවයන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇත. එවිට සතුට ද පළා යනු ඇත. ඒ වැපිරූ දෙයට අනුව ලැබෙන අස්වැන්න ය. ඒ දැන නිවැරැදි මග, දහම් මග යමු.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]