[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිවියාගහ යසස්සි නාහිමියෝ ආචාර්ය උපාධියකින් පිදුම් ලබති

දිවියාගහ යසස්සි නාහිමියෝ ආචාර්ය උපාධියකින් පිදුම් ලබති

ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ඇමරිකාවේ ලින්කන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ මැලේසියාවේ ලින්කන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගින් ආචාර්ය උපාධිය පිරිනමා ඇත.

විශ්ව විද්‍යාල දර්ශකයේ ඉහළ අගයක් ඇති ලින්කන් විශ්ව විද්‍යාලය 9001 - 2015 තත්ත්ව සහතිකය ද පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකත්වය ද ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මණ්ඩලයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ඇතුළු තවත් පිළිගත් සංවිධාන කිහිපයක සාමාජිකත්වය ද ලබා ඇති එම විශ්ව විද්‍යාලය ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද පිළිගැනීමට ලක්ව ඇත. පසුගිය 24 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මැලේසියාවේ ලින්කන් විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අමියා භෞමික් මැතිතුමා අතින් මෙම ගෞරව උපාධිය පිරිනැමුණ අතර එම අවස්ථාවට ලින්කන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය විශාල පිරිසක් සහභාගි වූ හ.

දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශිය හා ජාත්‍යන්තර වශයෙන් සිදුකරන ජාතික, ආගමික, සාමාජික හා අධ්‍යාපනික සේවාව අගය කරමින් එම ගෞරව උපාධිය උන්වහන්සේ වෙත පිරිනමා ඇත. මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙණෙන් අධ්‍යාපනය හදාරා විද්‍යොදය විශ්ව විද්‍යාලයෙන් හා කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධි හිමිකර ගෙන ගුරු සේවය පිවිස තිස් වසරකට ආසන්න කලක් ගුරු සේවයෙහි නිරත වෙමින් සුවහසක් දරුවන්ගේ නැණස පෑදීමට කටයුතු කළ උන්වහන්සේ එයින් විසි එක් වසරක් කොළඹ ආනන්ද විද්‍යාලයේ විෂය මෙන්ම විෂය බාහිර විශාල වැඩ කොටසක් සිදු කරමින් එහි සහකාර විදුහල්පති ධුරයෙහි කලක් කටයුතු කර විශ්‍රාම ලැබූහ.

ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධුරය හා ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උපසභාපති ධුරය දරමින් ශාසනික වශයෙන් හා පුළුල් ජාතික, සාමාජික සේවාවක නිරතව සිටින උන්වහන්සේ ජාත්‍යන්තර වශයෙන් ද මහත් සේවාවක් සිදුකරමින් පසුවෙති. ජාතික ගැටලුවල දී නිවැරැදි ව හා එඩිතර ව ක්‍රියා කරමින් රජයන්ට පවා අවශ්‍ය අනුශාසකත්වයන් ලබා දෙන උන්වහන්සේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරය ද බුද්ධ ශාසන අමාත්‍යංශයේ උපදේශ කමිටුවේ සාමාජික ධුරය ද, දරමින් සෑහෙන සේවයක් සිදු කළ හ. දැනට ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ජනාධිපති මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරය හා බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සභාපති ධුරය ඇතුළු වැදගත් තනතුරු රැසක් උන්වහන්සේ දරති. ගල්කිස්ස බෞද්ධායතන දායක සභාව මුල් කරගෙන දුර බැහැර නොදියුණු ගම් දියුණු කිරීම සඳහාත් ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක් වූ ප්‍රදේශයන්හි සහ නොදියුණු ප්‍රදේශයන්හි විහාරස්ථානවල අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහාත්, ආර්ථික අපහසුතා ඇති විවිධ ප්‍රදේශවල පාසල් දරුවන්ට දීර්ඝ කාලීන ව ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහාත් සමාජ සුබසාධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන උන්වහන්සේ සිදුකරන මෙවැනි සේවාවන් ලින්කන් විශ්ව විද්‍යාලයේ විශේෂ ඇගයීමට ලක්ව ඇත.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]