[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුවන්වැලි සෑ මළුවේ අසිරිමත් පින්කමක්

රුවන්වැලි සෑ මළුවේ අසිරිමත් පින්කමක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථා සම්ප්‍රදාය ආරම්භ කර අවුරුදු හැත්තෑවක් සපිරීම නිමිත්තෙන් පෙබරවාරි මස 15 වන දින අනුරාධපුර රුවන්මැලි මහා සෑ මළුවේ දී අසිරිමත් පින්කමක් සවස හතරට පමණ සිදු කෙරේ.

දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදි කරන ලද, අනූ හය කෝටියක් මහ රහතන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මුල් ගල් තබා, ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කරන ලද මහා සෑ රදුන් වහන්සේට යි මේ මහා අසිරිමත් පූජාව සිදු කරනු ලබන්නේ.

රුවන්මැලි මහා සෑයට කරන පූජාව ලොවුතුරා බුදුරජාණන් වහන්සේට කරන පූජාවක්. ලොවුතුරා බුදු කෙනෙකුට කරන පූජාවෙන් අපා දුකෙන් නිදහස් ව සසර වසන තුරු සුගතියක වාසය කළ හැකි යි. කරන පින්කම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන් , චිත්තප්‍රසාදයෙන් කළ යුතු යි. එවිට ඕනෑම සම්පතක් ලැබෙනවා.

මනු ලොව මිනිස් සම්පත් ද ,දෙව්ලොව දිව්‍ය සම්පත් ද ලබන්න අවශ්‍ය වන්නේ පින යි. එසේනම්, මෙවන් පින්කමකට සහභාගි වුණොත් කවර කතා ද? මෙවැනි පින්කම් සැමදා කරන්නට බැහැ. ඉඳ හිට හෝ මෙබඳු පින්කමකට සම්බන්ධ වී වන්දනාමාන කර, පින් ලබා ගැනීම තමන්ගේ යුතුකමක්. මේ සඳහා සියලුම දිව්‍ය රාජ මණ්ඩලයටත් ආරාධනා කරන අතර සමස්ත ලංකාවාසී සැමටත් පින්කමට පැමිණෙන්නැ’යි ආරාධනා කරනවා.

උදෑසන කිරි ආහාර පාත්‍ර සීයයක් පූජා කර, ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා. මේ ගැන සිතා කල්පනාවෙන්, කවුරුත් මෙවැනි පින් දහම් කරගන්නට, නැඹුරු විය යුතු යි. දාන පාරමිතා ආදී දස පාරමිතා සපිරුණොත්, සංසාර ගමන සැපවත් වෙයි. ගේ දොර, ඉඩකඩම් මිල මුදල් ගැන නොසිතා , දරුවන් මත්තේ ම නොසිට තමන්ගේ මෙලොව ජීවිතය සකසා ගැනීමට පින් දහම් කර සිත හදා ගත යුතු යි. මරණයේ දී යහපත් අරමුණක් ලබා ගැනීමට සිත පුරුදු පුහුණු කර ගන්න. මරණින් මතු සුගතියක වාසය කළ යුතු යි.

එසේනම්, සෑම කෙනෙකු ම පිනට දහමට යොමු විය යුතු යි. එවිට ජීවිත වාසනාවන්ත ව, අඩු පාඩුවක් නොවී යහපත් තැනක වාසයෙන් දුකෙන් නිදහස් විය හැකි යි. සම්මා සම්බුද්ධ ශාසනය රැකගෙන දියුණු කරගන්නටත්, බෞද්ධ ජනතාව ඇප කැප වී කටයුතු කළ යුතු යි. එවිට තම ජීවිතයට කුමන දෙයකින්වත් අඩු පාඩුවක් නැහැ. සිල් ගුණ හොඳින් දියුණුවෙන් ගත සිත නිවා ගත හැකියි. මෙලෙස බුද්ධ ශාසනය රැක ගෙන සීලාදී ප්‍රතිපත්ති පුරාගෙන ඉදිරියට යා හැකි යි.

බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රයට වැඳුම්, පිදුම් කරද්දී එහි ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා. ඒ පිනෙන් මෙලොව ජීවිතය සැකසෙන අතර අපල , මාරක බාධක, නවග්‍රහ දෝෂ තුරන් ව යනවා. සංසාර ගමන යහපත් තැනකම වාසය කර පාරමී ගමන සපුරා ගෙන සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. සසර බොහොම බියකරු යි. දෙව්ලොව, බඹලොව ආදී කවර ලොවක උපත ලැබුවත් මිය යනවා. සතර අපායේ සතුන් විඳින දුක සීමාවක් නැහැ. අවුරුදු ගණන්, කල්ප ගණන් දුක් විඳිනවා. මේ ගැන කල්පනාවෙන් සතුන් මැරීමෙන්, සොරකමෙන්, කාම මිථ්‍යාචාරයෙන්, බොරුවෙන් , මත්ද්‍රව්‍යයෙන් වළකින්න. ඒ ජීවිතය අලංකාර වෙයි. සුඛිත මුදිත වෙයි.

පින්වන්තකම, ගුණවන්තකම හොඳින් සිතට ගෙන මෙවැනි පූජා සත්කාරයන්ට සම්බන්ධ වන්න. කප්රුක් පූජාව බොහොම වැදගත්. සසර වසන තුරු සියලුම සම්පත් ලබාදෙන පූජාවක්. එවැනි පූජාවක් කිරීමට අපහසු අය මෙම පින්කමේ දී කප්රුකකට අතගැසීමෙන් හෝ දායක වන්න. එය එතරම් ම වටිනවා.

අද ලෝක ජනතාවට කාර්ය බහුල යි. පින් දහම් කරන්න, ඒ ගැන සිතන්න වේලාවක්වත් නැහැ. අද සිටින පුද්ගලයා හෙට මිය ගිහින්, එවිට ගෙන ගිය දෙයක් නැහැ. නරකාදියට වැටී , ප්‍රේත ලොවට වැටී දුක් විඳිනවා. ඒ නිසා මේ ගැන සිතා කල්පනාවෙන් හොඳින් කටයුතු කරන්න. සිල් ගන්න, භාවනා කරන්න. මා කාටවත් කරදරයක් නැතිව හොඳින් සිටිනවා යනුවෙන් සමහරු කියනවා. එලෙස නොසිතා පන්සිල් , අටසිල් , ගන්නා ගමන් පින්කම්වලට ද සහභාගි වන්න.

එසේනම්, පෙබරවාරි 15වන දින රුවන්මැලි මහා සෑයේ දී අති මහත් දැවැන්ත පින්කමක් සිදු කෙරෙනවා. පින්කමට සහභාගිවන ඔබට හැකිනම් පමණක් අටපිරිකරක් රැගෙන කල්වේලා ඇතිව සෑ මළුවට පැමිණෙන්න. රැය පහන්වන තුරුම ධර්ම දේශනා මාලාවක් පවතින අතර පින්කමට සහභාගිවන සැමට ම දන්සල් ආදිය ද පැවැත්වෙනවා.

මෙම පින්කම සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමියන් ඇතුළු, පහළවිටියල ජනානන්ද ස්වාමීන් වහන්සේ සහ මීතලාවේ විනීත ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේ ද වැඩම කිරීමට නියමිත යි. පින්වත් ඔබ සැමත් පෙබරවාරි 15වනදා රැවන්මැලි මහා සෑ මළුවේ පැවැත්වෙන මෙම පින්කමට සහභාගි වී ගත සිත පහදා ගෙන අමා මහා නිවන් මඟ විවර කර ගනිත්වා!

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]