UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික සමගිය වෙනුවෙන් කැපවූ අග්‍රගණ්‍ය ධර්ම දේශකයාණෝ

ජාතික සමගිය වෙනුවෙන් කැපවූ අග්‍රගණ්‍ය ධර්ම දේශකයාණෝ

" විවිධ ජාතීන් සහ ආගමිකයන් අතර සාමය, සහජීවනය ගොඩනැංවීමට ක්‍රියාශීලිව නායකත්වය ගෙන කටයුතු කළ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරය මගින් ඉමහත් කැපවීමෙන් කළ මෙහෙවර සදානුස්මරණීයහ."

මෑත යුගයේ මෙරට වැඩ සිටි චතුර ධර්ම කථිකයන් වහන්සේලා අතර අග්‍රගණ්‍ය ධර්ම කථිකයන් වහන්සේ නමකි,කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති ව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටම ආවේණික වූ සුමධුර එඩිතර වාග් විලාශයකින් ශ්‍රාවක සිත් පහන් කරන්නට තරම් අපූර්ව වූ වාසනා ගුණයකින් යුක්ත වූහ.

හෝමාගම පාදුක්කට ආසන්න මාදුළුාවාව ග්‍රාමයේදී පතිරගේ දොන් පීරිස් අප්පුහාමි මහතා සහ කුරුවිට ආරච්චිගේ කර්ලිනාහාමි දම්පතීන්ගේ දරුවන් තිදෙනා අතර දෙවන දරුවා ලෙස 1942 මැයි මස 29 වනදා උපත ලද පින්වත් කුමරු රත්නසේකර නමින් හැඳින්විණි. මූලික අධ්‍යාපනය මාදුළුවාවේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් ලැබූ අතර කුඩා කල සිට පැවිදි දිවිය කෙරෙහි මහත් ඇල්මක් දැක්වී ය.

1955 මැයි මස 09 වනදා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ දී පැවිදි බිමට පත්විය. කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් සහ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලද මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ 1962 ජුනි 15 වනදා කෝට්ටේ රජ මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලැබූහ.

1963 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලද උන්වහන්සේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලැබූහ. අනතුරුව, උඩුවේ නාලන්දාරාම පිරිවෙන, ඇතුල්කෝට්ටේ පැරකුම්බා පිරිවෙන සහ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙන යන විද්‍යාස්ථානයන්හි කීර්තිමත් ගුරුවරයෙකු ලෙස සේවය කළහ. පොදුජන මෙහෙවරට මුල්තැන දුන් අතර 1995 දී පමණ ගුරු දිවියෙන් සමුගත් මාදුළුවාවේ සෝභිත හාමුදුරවෝ අනතුරුව පොදු ජනතාවගේ අභිවෘද්ධිය මුල් කර ගත් සමාජ මෙහෙවරයන්හි නිරත වූහ. සමස්ත ලංකා අමද්‍යප තරුණ සංගමය, සිංහල බල මණ්ඩලය, ජාතික සංඝ සභාව යනාදී සංවිධාන රාශියක කටයුතු මෙහෙයවීය.

සෝභිත හාමුදුරුවෝ දීප ව්‍යාප්ත ශාසනික හා ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක නිරත වූහ.ජාතික ,ආගමික කවර ප්‍රශ්නයක් හමුවේ වුව ද නොසැලී ක්‍රියා කළ ආකාරය ආදර්ශවත් ය. කිව යුතු දේ අදීනව අභීතව ප්‍රකාශ කිරීමට උන්වහන්සේ කිසිවිටෙක මැලිකමක් දැක්වූයේ නැත.

උන්වහන්සේගේ නම කී පමණින් අපේ රටේ ලොකු කුඩා සියලු දෙනා උන්වහන්සේ දන්නා හඳුනන තරමට මහත් ගෞරවයට පාත්‍රව වැඩ සිටියහ. පොදු ජන යහපතට කැපවීමෙන් අසත්‍ය, අයුක්තිය, හමුවේ ස්වකීය හඬ අවදි කරමින් උරුම කරගත් ගෞරවයත්, කීර්තියත් නිසා උන්වහන්සේ පොදු ජන සෙත සදන සංඝ පීතෘවරයෙකු බවට පත්ව වැඩ සිටියහ.

උන්වහන්සේ අන්‍ය ආගමික නායකයන් සමඟ මිත්‍රත්වයෙන් හා සුහදත්වයෙන් කටයුතු කළහ. කිසිම ආගමක් අවප්‍රමාණ වන අන්දමට කිසිම ආගමික ව්‍යාපාරයකට උන්වහන්සේ සම්බන්ධ නොවීය. අන්‍ය ආගමික උත්සවවලට ලද ආරාධනා පිළිගෙන ඊට වැඩමවා කාලය කැප කරමින් ආගමික සහජීවනය සම්බන්ධ ස්වකීය දැක්ම විදහා පෑහ. සෝභිත හාමුදුරුවෝ හැම විට පෙනී සිටියේ පටු භේදයෙන් තොරව මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙනි. අපේ රට තුළ සාමකාමීව සියලු පුරවැසියන්ට ජීවත්වීමට හැකි වාතාවරණයක් ඇති කිරීමත්, නැවත යුද්ධයක් ඇති නොවන අයුරෙන් ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමේ වැදගත්කමත් මහත් වුවමනාවෙන් උන්වහන්සේ පැහැදිලි කර සිටියහ.

ජාතීන් සහ ආගමිකයන් අතර සාමය සහජීවනය ගොඩනැංවීමට ක්‍රියාශීලිව නායකත්වය ගෙන කටයුතු කළ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරය මගින් ඉමහත් කැපවීමෙන් කළ මෙහෙවර සදානුස්මරණීයහ. සත්‍යය, යුක්තිය, සාධාරණත්වය, උදෙසා උන්වහන්සේ දිවි පරදුවට තබා ක්‍රියා කළහ.

මත් උවදුරින් රට ගලවා ගැනීමට ප්‍රමුඛ අවධානයක් යොමු කළ උන්වහන්සේ මතින් විපතට පත්වූවන්ට එහි ආදීනව කියාදෙමින් ඔවුන් නිසිමග යැවීමට ගත් උත්සාහය පැසසිය යුතු ය.

දුකට පත්වූවන් වෙත වැඩමවා ඔවුනට සරණක් ,පිහිටක් වීමට උන්වහන්සේ දෙවරක් නොසිතූහ. සුනාමි විපත පැමිණි අවස්ථාවේ උන්වහන්සේ කඩිනමින් ඉදිරිපත් වී දිවා රෑ නොතකා යෙදුණු සමාජ මෙහෙවර අගනේ ය. තමන් වහන්සේ කළ යහපත ගැන නිරාමිෂව සිතා සතුටු වූවා මිස එමගින් ලාභ ප්‍රයෝජන ගැනීම උන්වහන්සේගේ සිරිත නොවීය. පාලකයන්ට , නායකයන්ට, බලවතුන්ට ඍජුව අනුශාසනා කළ අතර වරප්‍රසාද අපේක්ෂාවෙන් පොදු කාර්යයන්හි නිරතවීම උන්වහන්සේගේ සිරිත නොවීය. ජනතා ශුභ සාධනයත්, සාධාරණ සමාජයක් ඇතිකිරීමත් උන්වහන්සේගේ පැතුම විය.

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ පරමාදර්ශී භික්ෂූන් වහන්සේ නමක් වූහ. සිය කැමැත්තෙන් පැවිදි බිමට පත්ව නිසි ගුරු ඇසුරෙන් භික්ෂුවකට නිරන්තරයෙන් අවශ්‍ය අධ්‍යාපනය ලැබූහ. ධර්මය මැනවින් හදාරා ධර්ම ධරව අර්ථ සම්පන්න අයුරින් කළ දෙසුම හරවත් විය. ගිහි පැවිදි උභය පාර්ශ්වයන්හි ම ගෞරවයට බඳුන් වෙමින් දෙස් විදෙස් සුපතල වූහ. උන්වහන්සේ ලද දෙයින් සතුටුව ඉතා සරල දිවියකට නැඹුරුවී සිටියහ.

ජාති, ආගම් ආදී භේද කිසිවිට නොසලකා හැමට සාධාරණත්වය ලබාදිය යුතු බව තරයේ විශ්වාස කළ උන්වහන්සේ ස්වකීය මතය වෙනුවෙන් ඉදිරියටම කටයුතු කළහ. උන්වහන්සේ වෙත කවරෙකු කරන ලද ඇරයුමක් වුවද තරාතිරම නොසලකා භාරගත් ඇරයුම නිසි අයුරින් ඉටු කිරීමටද අමතක නොකළහ. ළඟපාත , දුරබැහැර, දුෂ්කර ආදි පහසු අපහසුතා නොසලකා රටපුරා ආරාධනා ඉටු කිරීමට වැඩම කළහ. ඒ සියලු ජාතික, ආගමික , ශාසනික, සාමාජික සේවා ඉටු කරන අතරතුර විහාරස්ථ දායක දායිකාවන්ගේ ආගමික කටයුතු නොපිරිහෙලා ඉටු කළහ. මහ මැදුරට මෙන් ම අතු පැළදටද වැඩම කළ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ තෛ‍්‍රනිකායික මහ සඟරුවනෙහි ගෞරවයට පාත්‍රව වැඩ සිටියහ.

ජාතික ආගමික ශාසනික චිරජීවනය පතා හැමවිටම ක්‍රිය කළ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සසුනඹරෙහි පෑයු සුපුන් සඳක් වැනි ය.

උන්වහන්සේ අපවත්වී දෙවර්ෂ පූර්ණ ගුණ සමරුව නිමිත්තෙන් කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ දී ඉකුත්දා පින්කම් මාලාවක් පැවැත්විණි.බත්තරමුල්ලේ ඉදිකෙරෙන මාදුළුවාවේ සෝභිත නාහිමි පිළිරුවට මුල්ගල තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබිණි.

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 10 වනදා සිකුරාදා අපරභාග 2.50 ට ලබයි. 11 වනදා සෙනසුරාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 10 සිකුරාදාය


මීළඟ පෝය නොවැම්බර් 17 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]