UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

ඉල් අව අටවක 2017.11.10

පරාර්ථය ම වටින්නේ ය

කුරා කුහුඹුවන්ගේ සිට ඇසට පෙනෙන නොපෙනෙන සියලු සතුන්ට මේ මහ පොළොවේ ජීවත්වීමට ඇති අයිතිය කිසිදු මනුෂ්‍යයෙකුට උදුරා ගත නො හැකි ය. අපගේ ශාස්තෘන් වහන්සේ සියලු සතුන්ට මෛත්‍රිය කළ යුතු බව දේශනා කොට වදාළේ ඒ පැවැත්ම තහවුරු කරනු පිණිස ය. තමන්ගේ ජීවිතයට, තමන්ගේ ම අයගේ ජීවිතයට කොතරම් පි‍්‍රය වන්නේ ද අන් අය ද එසේ පි‍්‍රය වන්නෝ ම ය. තමන් හිංසාවට, පීඩාවට, මරණයට බිය වන්නා සේ අන් සතුන්ද හිංසාවට, පීඩාවට, මරණයට බිය වේ. තමන් උපමා කොට අන් සතුන්ට හිංසා නොකළ යුතු බව ද, මෙ මහ පොළොව සියලු සතුන්ටම අයිති බව ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. බුදු හිමි දෙසු ඒ දහම් මඟ යන කවර කෙනකු වෙතින් හෝ කිසිම සත්ත්වයෙකුට හිංසාවක් පීඩාවක් වරදක් සිදු නොවිය යුතු ය.

එහෙත් අප නොසිතා, නො විමසා කරන ඇතැම් ක්‍රියාකාරකම් නිසා, ඇතැම්විට අපගේ නොසැලකිල්ල නිසා අවට පරිසරයේ ජීවත්වන අප්‍රමාණ ජීවින් ජීවිතය හැර යන අයුරු. අනේක පීඩාවන්ට ගෙදුරුවන අයුරු මදක් විමසිලිමත් වූයේ නම් සියැසින්ම දැක ගැනීමට අපහසු නොවන්නේ ය. ඒ විනාශය ඍජුව හෝ වක්‍රව සිදුවිය හැකි ය.

විනෝදචාරිකාවට, වන්දනාගමනට ලෙහෙසියටත්, පහසුවටත් රැගෙන යන ආහාර දවටන තවමත් වැඩි ප්‍රමාණයක් පොලිතීන් බව පෙනෙන්නේ අදාළ ස්ථානයන්හි ගොඩ ගැසෙන කසළ කඳු ඇස ගැටෙන තරමේ ප්‍රමාණයට ය. ඒ පොලිතින් භාවිතය තහනම් කර තිබියදීත් ය. මේ කසළ කඳු අසල ආහාර සොයාගෙන එන මහා සද්ධන්තයන් ඇතුළු වන සතුන් ආහාර සමගින් ඒ දවටන ද ගිල දමා විවිධ රෝගාබාධයන්ට ගොදුරුව පීඩාවට පත්වීම වැළැක්විය හැකි වන්නේ ද එහි වරදකරුවන් වන මිනිසුන් වන අපට ම ය. මේ එක් සුලබ උදාහරණයක් පමණි.

පරිසරයට අපද්‍රව්‍ය මුදා හරිනවා නම්, ජීවත්වන වටපිටාව පිරිසුදු කර නොගන්නේ නම්, ඉවක් බවක් නැතිව ගහ කොළ කපා විනාශ කරන්නේ නම්, පැළයක් සිටුවන්නේ නැති නම්, සතා සිවුපාවුන් ආරක්ෂාකර නොගන්නේ නම් පරිසරය දූෂණය වීම වැළැක්විය නොහැකි ය. පරිසරය දූෂණය වන තරමට මනුෂ්‍ය ප්‍රජාවට මෙන් ම සත්ත්ව ප්‍රජාවට ද විඳින්නට වන අතුරුඵල දුක්ඛදායක ය. ගන්නා හුස්ම පොදේ සිට බිමට ගන්නා ජල බිඳුව පවා අපවිත්‍ර ය. ප්‍රතිඵලය දරුණු ලෙඩ රෝග ය.

පසුගිය වැසි සමයේ ඩෙංගු රෝගීන් බොහෝ දෙනෙක් මිය ගියහ. ඒ අපගේ ම වරදින් නොවන්නේ ද? මදුරුවන් බෝ නොවන ලෙස පරිසරය පිරිසුදුව තබා ගන්නට අපට නො හැකි ඇයි? අනුන් ගැන නොසිතන නිසා ය. බෞද්ධයන් ලෙස අප උදේ සවස තෙරුවන් වැඳ සියලු ලෝ වාසීන්ට මෛත්‍රය කරමු. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වායි සියලු සතුන්ට මෙත් වඩනවා නම් සෑම හැසිරීමක් ම ක්‍රියාකාරකමක් ම තමන්ට ද අනුන්ටද අනර්ථයක් නොවනසේ විය යුතු ය. ක්‍රියාවෙන් අනෙකක් කොට සිතින් වචනයෙන් මෙත් වැඩීම ව්‍යාජයකි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තණ්හාව නිසා දුක හට ගන්නා බව ය. මිනිසා පරිසරයට වින කරන්නේ ද තණ්හාධික බව නිසාම ය. ස්වාභාවික සම්පත් ආත්මාර්ථකාමී ලෙස පරිහරණය කිරීම ද, සුවිශේෂී ය. රූස්සගස් කපා බිම හෙළීමේ සිට, තෙත් බිම් ගොඩ කිරීමේ සිට ගොවිතැනේ දී පවා අධික තණ්හාව ම ඉස්මතු වන්නේ ය. වැඩි අස්වනු ලබන්නට, එළවළු, පලතුරු කල්තබා ගන්නට, පළිබෝධනාශනයට පරිසර හිතකාමී දේ වෙනුවට විස රසායන ද්‍රව්‍ය භාවිතය අධික වී තිබේ.තමන්ගේ ආහාරයට ගන්නා එළවළු, පලතුරු තෙල් පොහොර භාවිතයෙන් තොරව ද, පොළට යවන ඒවාට අසීමාන්තිකව විස රසායන භාවිත කිරීම ද තුළ ඇත්තේ ආත්මාර්ථකාමී බවම ය. මේවා පරිභෝජනය කරන අයට අත්වන ඉරණම කෙතරම් ඛේදනීය විය හැකි ද? ගහට කොළට, සතා සිවුපාවුනට හිතකාමී, මනුෂ්‍ය ප්‍රජාවට හිතකාමී වු අපගේ පැරැන්නෝ ගොවිතැන් බත් කළෝ මැඩියෙකුට, බත්කූරෙකුට, කටුස්සෙකුට පවා හානියක් නොවන ලෙස ය. ඔවුන් රටට දුන් බත විස වූයේ නැත. ඔවුන්ගේ ජීවන පැවතුම් ද ඉතා සරල විය. අවශ්‍යතා සීමිත විය. පහසුවෙන් පෝෂණය කළ හැකි විය. සාධාරණව උපයාගත් දෙයින් සතුටට පත්විය. ඒ ජීවන රටාව ඔවුන්ට හුරු පුරුදු වූයේ බුදු දහමෙන් ලද ශික්ෂණයෙනි.

මුදල් පසුපස ම හඹා යන තරගකාරි ආර්ථික රටාවෙන් වහාම මිදෙන්නට දැන් අපට කාලය පැමිණ තිබේ. කරණීය මෙත්ත සූත්‍රයේ දී පැහැදිලි කරන ලෙස සැහැල්ලු දිවි පෙවෙතකට වහාම හුරුවීමට කාලය පැමිණ තිබේ. එවිට අප ජීවත්වන වටපිටාවේ ගහකොළ සේ ම සමස්ත සත්ත්ව ප්‍රජාවගේ ම පැවැත්ම සුරක්ෂිතවේ.

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 10 වනදා සිකුරාදා අපරභාග 2.50 ට ලබයි. 11 වනදා සෙනසුරාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 10 සිකුරාදාය


මීළඟ පෝය නොවැම්බර් 17 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]