UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 පූජාච පූජනියනං

පොල්වත්තේ බුද්ධදත්ත මහ නා හිමි

වර්ෂ 1887 ජූලි 23 දින පොල්වත්තේ ඕ. ලුවිස් සිල්වා හා ටී.ජී. සාඤ්චිනාහාමි දම්පතීන් ලත් පුත් කුමරු 1899 නොවැම්බර් 02 දින පෝරඹ ධම්මාධාර රාජගුරු නා හිමියන් වෙතින් පැවිදි විය.

ඉගෙනුමෙහි සමත් බුද්ධදත්ත සාමණේරයෝ පසළොස් වියේ දී බුරුමයට වැඩ බුරුම බස හදාරා එහි පැවති අභිධර්ම විභාගයෙන් ප්‍රමුඛ ස්ථානය ලබමින් සමත් විය. 1907 දී යළි බුරුමයට වැඩි උන්වහන්සේ බුරුමයේ කොන්නන් විහාර සීමා මාලකයේ දී උපසම්පදාව ලබා 1911 දී මෙරටට වැඩියහ.

1908 දී බුරුම බසින් ග්‍රන්ථ ගණනාවක් ලියූ උන්වහන්සේගේ මුල්ම සිංහල පොත 1911 පළවූ අභිධර්ම මූර්තෘත ස්වරූපයයි. සිංහල, පාලි සංස්කෘත, බුරුම, ඉංගී‍්‍රසි ආදී විවිධ භාෂා ඥානයෙන් පරිණත බුද්ධ දත්ත හිමියෝ භාෂා රැසකින් පොත් රැසක් ලියූහ. සංස්කරණය කළහ. සමය සමයාන්තර ඥානය, ග්‍රන්ථ විශාරදත්වය, බහුශ්‍රැත භාවය, පාණ්ඩිත්‍යය, බුද්ධි ප්‍රභාව හා අටුවා කථා වත්ථු, වැනි ග්‍රන්ථ තුළින් පෙනී යයි. පාලි බසට කළ මෙහෙය සුවිශාලය. පාලි භාෂාවතරණය, පාලි පාඨාවලි, පඨම පාඨාවලි, පාලි, සිංහල අකාරාදිය, පාලි වාක්‍ය රචනා ආදි පොත් රැසක් දායාද කළහ. එංගලන්ත පාලි පොත් සමාගම විසින් උන්වහන්සේ අභිධර්මාවතාරය, රූපාරූප විභාගය, විනය, විනිශ්චය ආදී පොත් රාශියක් පළ කළහ.

විවිධ පුවත්පත් සඟරාවනට ලියූ ලිපි ලේඛන දහස් ගණනකි. 1926 දී දඹදිව ධර්ම ප්‍රචාරයේ යෙදුණු බුද්ධදත්ත හිමියෝ එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, ආදී නොයෙක් මහත් වූ ධර්මදූත මෙහෙවරක් සිදු කළහ.

ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් පණ්ඩිත උපාධිය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්තී (ඩී.ලිට්) උපාධිය, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍ර ශූරී (පී.එච්.ඩී) උපාධිය ආදී විවිධ ගෞරවයට පාත්‍ර වූ උන්වහන්සේ ලංකා බෞද්ධ මණ්ඩලය, බෞද්ධ විශ්වකෝෂය, සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලය ආදිය මඟින් විශාල සේවාවක් කළහ.

බුරුමයේ හයවන ධර්ම සංගායනාවේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන කටයුතු කළ බුද්ධදත්ත මාහිමියන්ට බුරුමයේ උසස්තම සම්මානයක් වන අග්ග මහා පණ්ඩිත උපාධිය පිරිනැමුණි.

1953 දී අමරපුර ශ්‍රී කල්‍යාණ වංශ මහා නිකායේ අනුනායක ධුරයට පත් උන්වහන්සේ 1957 දී මහා නායක ධුරයට පත්වූහ. සිය නිකායභිවෘද්ධියට මහත් සේවාවක් කළ උන්වහන්සේ නිකාය පිළිබඳ වැදගත් ග්‍රන්ථ කීපයක් පළ කළහ. 1957 දී මහානායක ධුරයට බුද්ධදත්ත හිමියෝ පත් වූහ.

ත්‍රිපිටක ධර්මයට, සම්බුද්ධශාසනයට අත්‍යුදාර සේවාවක් කළ දෙස් විදෙස් පතළ කීර්තිධර මේ මහා අග්‍රගණ්‍ය පඩිරුවන 1962 නොවැම්බර් 09 දින අපවත් වී වදාළහ. අපවත්වීමෙන් පනස් පස්වස සපිරෙන මෙම අවස්ථාවේ පොල්වත්ත අග්ගාරාමාධිපති ශාස්ත්‍රවේදී නින්දානේ වජිරඤාණ අනුනාහිමිගේ අනුශාසකත්වයෙන් බුද්ධදත්ත මහා නා හිමි පිළිබඳ ගුණානුස්මරණ පුණ්‍යෙීත්සවය සිදු කෙරේ.

බුද්ධදත්ත මාහිමියන් වහන්සේට නිවන් සුව පතමු.


වරාපිටියේ පාලිත නා හිමි

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවත පත්තුවේ, වරාපිටිය ග්‍රාමයේ 1967 නොවැම්බර් මස 15 වන දින හේනක රාළලාගේ මොහොට්ටි අප්පුහාමි පියාණන්ටත්, මහආරච්චි ගෙදර ඩිංගිරි මැණිකා මෑණියන්ටත් දාව මෙලොව එළිය දුටු හේනක රාළලාගේ ගුණරත්න දරුවා සහෝදර සහෝදරියන් දස දෙනෙකුගෙන් යුත් පවුලේ නව වැනියා ය.

අරණායක එරබදුපිටිය ප්‍රාථමික විද්‍යාලයෙන් හා කෑ / බොස්සැල්ල මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය.

හේනක රාළලාගේ ගුණරත්න දරුවා බකුල්වල අත්තනදෙණියේ සිරි මුනින්දානන්ද සහ කූරගල ගුණානන්ද යන නාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් 1982 ජනවාරි 06 වන දින කූරගල ගල්ලෙන් රාජමහා විහාරයේ දී ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූයේ ‘වරාපිටියේ පාලිත’ යන නමිනි.

සිය ගුරුදේවයන් වහන්සේලා වෙතින් මූලික පැවිදි අධ්‍යාපනය ලබා ගත් පාලිත හාමුදුරුවෝ හෙම්මාතගම සිරි සමග්ගෝද පිරිවෙන මහ පිරිවෙනෙන් ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය දක්වා අධ්‍යාපනය ලබා ගත්තේ ය.

1989 ජූලි 01 වන දින ගාල්ල අම්බලන්ගොඩ බටපොල ‘ශ්‍රී සුභද්‍රාරාමස්ථ ශ්‍රී සුමංගලප්පසාදිනී” නම් බද්ධ සීමා මාලකයේ දී උපසම්පදා භූමියට ඇතුළත් වූයේ ඒ වන විට අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක පදවිය හෙබවූ භදන්ත ශ්‍රී බටපොල අනෝමදස්සී මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි.

පාලිත ස්වාමීන් වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මහරගම සිරි වජිරඤාණ ධර්මායතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට ඇතුළත්ව ප්‍රාචීන අවසානය සමත් වී පණ්ඩිත උපාධිය ලබාගත්හ. මේ අතර කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනස්ථ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාවෙන් පවත්වන විභාගයන් සමත් වී විනයාචාර්ය උපාධිය ද ලබා ගත්හ.

තමන් වහන්සේ ඉගෙනුම ලැබූ මහරගම සිරි වජිරඤාණ ධර්මායතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ දෙවසරක් අධ්‍යාපන සේවය සිදුකොට ඉන් පසු මූලික අධ්‍යාපනය ලද හෙම්මාතගම සිරි සමග්ගෝදය පිරිවෙනේ ආචාර්යවරයෙක් ලෙස 1995 දී පිරිවෙන් සේවයට එක්වූහ. වර්තමානය වන විට හෙම්මාතගම ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පරිවෙණාධිපතින් වහන්සේ ලෙස කටයුතු කරනු ලැබේ.

හෙම්මාතගම දහනකමුල්ල ශ්‍රී බෝධිරාජාරාම විහාරයෙහි සිරි සුචරිත දහම් පාසල ආරම්භ කළහ.

තම ගුරු දේව නායක ස්වාමීන් වහන්සේලා දෙනම අපවත්වීමෙන් පසු 2010 වසරේ සිට එම විහාරස්ථාන දෙකෙහිම අධිපතිත්වයට පත් වී ශිෂ්‍ය හිමිවරුන්ගේ ද නොමද සහයෝගය ඇතිව විශාල ශාසනික සේවයක් සිදු කරගෙන යනු ලබයි. එම උතුම් ශාසනික සේවය තවදුරටත් පුළුල්කර ගනිමින් මාවනැල්ල නගරයට නුදුරුව හිඟුල ඉහළ වෑත්තෑව ග්‍රාමයේ අභිනව විහාරස්ථානයක් 2014 දී ආරම්භ කොට තමන් වහන්සේගේ ගුරුදේවෝත්ම කූරගල ගුණානන්ද නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය කරමින් එම විහාරස්ථානය ‘ගුණනද විහාරය’ ලෙස නම් කළහ. එහි 2016 වසරේ ආරම්භ කළ දහම් පාසල තම උපාධ්‍යාය නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය කරමින් මුනිදුනඳ දහම් පාසල යන නමින් නම් කර ඇත.

වරාපිටියේ පාලිත ස්වාමීන් වහන්සේ ධර්මදේශනා කිරීමට දක්ෂ හිමිනමකි.

උන්වහන්සේගේ මෙම මහඟු සසුන් මෙහෙවර අගය කළ අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වීය කාරක විධායක සංඝ සභාව මගින් ‘සිරි ගුණානන්ද කල්‍යාණි වංසාලංකාර සාසනකිත්තිස්සිරි’ යන ගෞරව නාමය සහිතව සබරගමුව පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියද, කල්‍යාණි වංසධජ ගෞරව නාමය සහිත කම්මවාගාචරිය පදවියද, ශ්‍රී කල්‍යාණිවංශ නිකායයේ උඩරට ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පදවිය ද පිරිනමා ඇත. එසේම ප්‍රාදේශීය සංඝරත්නයේ ද මහත් ප්‍රසාදයට පත්වී සිටින උන්වහන්සේ වෙත අමරපුර කෑගලු දිස්ත්‍රික් සංඝ සභාවේ මූල්‍ය ලේඛකාධිකාරී පදවිය, ගල්බඩ කෝරළයේ සාමගී‍්‍ර භික්ෂු සංගමයේ සභාපති පදවිය මාවනැල්ල නැගෙනහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති පදවිය ආදී ශාසනික තනතුරු රාශියක් පිරිනමා ඇත. වරාපිටියේ පාලිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උපතින් 50 වන වියද, පැවිදි දිවියෙහි 35 වන වසරද, උපසම්පදාවෙන් 28 වසරද සපුරන නොවැම්බර් මස 12 වැනි ඉරු දින මාවනැල්ල, කූරගල, සිරි මුනින්දා නන්ද මාවතේ පුරාණ ගල්ලෙන් රාජමහා විහාරස්ථ ශ්‍රී ගුණානන්ද නායක මහා ස්වාමීන්ද්‍ර අනුස්මරණ ධර්ම මන්දිරයේ දී අර්ධ ශතාධික මහා සංඝරත්නයට පිරිනමන දානය ඇතුළු පින්කම් මාලාවක් සංවිධානය කොට තිබේ.

මාවනැල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති,

පහත බුලත්ගම තුන් කෝරළ සහිත සතර කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ත්‍රිපිටකාචාර්ය


උඩහමුල්ලේ සරණපාල හිමි

1939 නොවැම්බර් 11 වන දින උඩහමුල්ල ග්‍රාමයේ දී එහි නිවැසි විලියම් ඇඹුල්දෙනිය හා සේපාලිකා අලුත්ගේ යන අයගේ තෙවන පුත් කුමරු ලෙස මෙලොව එළිය දුටු උඩහමුල්ලේ සරණපාල හිමියන් නොවැම්බර් 11 දින තම 78 වන ජන්ම දිනය සමරයි.

සිරිපාල ඇඹුල්දෙණිය යන නමින් මේ පින්වත් කුමරු සසරින් ගෙන ආ පුරුද්ද හේතුවෙන් උඩහමුල්ලේ සරණපාල යන නමින් මාතර කඹුරුපිටිය ගොම්බද්දල ශෛලරාමාධිපති කෝඔල සාරානන්ද හිමියන් සහ රෝහණ පාර්ශවයේ මහා නායක ගොමිබද්දල නන්දාරාම නා හිමියන් යටතේ සසුන්ගත විය. උන්වහන්සේ කඹුරුපිටියේ තිහගොඩ ඌරාපොල සිරි රතනජෝති පිරිවෙනෙහි රෝහණ පාර්ශ්වයේ මහානායක පුරාවිද්‍යා චක්‍රවර්ති කඹුරුපිටියේ වනරතන නාහිමියන් යටතේ ප්‍රාචීන ප්‍රාරම්භය දක්වා දහම් දැනුම ලබා ගත්හ.

බෝරුක්ගමුවේ දේවමිත්ත හිමියන් හා සුභද්‍රාරාම පරිවෙනාධිපති ඉහළගම ධම්මජෝති හිමියන් යටතේ නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන මධ්‍යම විභාගය ඉහළින්ම සමත්ව එම පිරිවෙනෙහිම ගුරුවරයෙකු වශයෙන් කටයුතු කළ අතර පණ්ඩිත උපාධිය ද සමත්වූහ.

උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයට ඇතුළත්ව සිංහල, පාලි, සංස්කෘත හා බුද්ධ ධර්මය විෂයන් හදාරා ගෞරව උපාධිය දිනා ගත්හ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව 1991 දක්වා නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනෙහි උපාධිධාරී ගුරුවරයෙකු වශයෙන් අනූපමේය සේවයක් ඉටුකළහ.

තලපත්පිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාමය, තලපත්පිටිය විජිතාරාමය, පතිරගොඩ නාලන්දාරාමය, කතරගම ගල්ලෙන් පුරාණ විහාරස්ථානවල සසුනට හා බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් උන්වහන්සේ කළ සේවය අනූපමේය වෙයි.

2000 දී පොල්වත්ත සද්ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස පත් වූ අතර, අද දක්වා උන්වහන්සේ ප්‍රදේශවාසීන්ට ධර්මානුශාසනා කරමින් ශාසන මෙහෙයෙහි යෙදී සිටිති.

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 10 වනදා සිකුරාදා අපරභාග 2.50 ට ලබයි. 11 වනදා සෙනසුරාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 10 සිකුරාදාය


මීළඟ පෝය නොවැම්බර් 17 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]