UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විඤ්ඤාණදහරාව සුගතියට ගමන් කරන්නේ කෙසේද?

විඤ්ඤාණදහරාව සුගතියට ගමන් කරන්නේ කෙසේද?

මරණය පිළිබඳව ධර්මානුකූල විග්‍රයක් තුළින් අවබෝධයක් ලබා තිබීම අප සියලු දෙනාටම වැදගත් කාරණාවක් වෙයි. මරණය පිළිබඳව විවිධ අදහස් තිබෙනවා. නියමිත කාලය ඉක්මවමින් හොඳටම වයස් ගතවී මරණයට පත්වුවහොත් අප එය ස්වභාවික මරණයක් ලෙසත් අඩු වයසකින් මරණයට පත්වුව හොත් එය අකල් මරණක් ලෙසත් සාමාන්‍ය ක්‍රමය යටතේ විග්‍රහ කරන්නට උත්සාහ කරනවා.

අකල් මරණය යන අර්ථකතනය දෙන අදහස සහ බුදුසමය ලබාදෙන අදහස සමාන යැයි සිතිය නොහැකියි. පුද්ගලයකු පූර්ණ ආයුකාලය භුක්ති වින්දහොත් එම කාලය ඇතුළත ඔහු හෝ ඇය විසින් සිදු කළ ආවාහ විවාහ කරගැනීම, දූ දරුවන් හදාවඩා ගැනීම ඔවුන්ගේ ආවාහ විවාහ කටයුතු කරදීම ආදී ලෞකික කටයුතු සම්පූර්ණ කළාට පසුව යමෙකු මරණයට පත්වුවහොත් එය සුදුසු වේලාව තුළ නියමිත කාලයට අනුව සිදුවුණ මරණයක් ලෙස පිළිගනු ලබනවා. ධර්මයට අනුව එවැනි කිසිදු ජයග්‍රහණයක් පුද්ගලයකුගේ මරණයට පෙර සුදුසුකමක් ලෙස සැලකිය නොහැකියි.

මිනිසුන් ගෙවල් දොරවල් හදා තිබීම, විවාහ වී තිබීම, දරුමල්ලන් හදාතිබීම, දරුවන්ගේ ආවාහ විවාහ කටයුතු කර තිබීම මෙම කිසිදු කාරණාවක් ඊළඟ භව ගමනට අදාළ වන කාරණාවන් නොවෙයි.එය තමන්ගේ ජීවිතය යම් ආකාරයක පළදායිතාවයකට පත් කරගැනීමක් පමණයිි.අප හදන ගෙවල් දොරවල් සුවපහසු ජීවිතයක් ගතකිරීම සඳහා සැළසුම් කරගන්නාවු උපක්‍රම කිසිවක් මරණයේදී අපගේ ඊළඟ භවය හා සමබන්ධ වන්නේ නැහැ. අප සාර්ථකත්වය ලෙස මනිනු ලබන්නේ විවාහ වීම, දරුවන් හදා වඩා ගැනීම, දරුවන් විවාහ කරදීම, පුද්ගල අන්තර් සම්බන්ධතාවයන් හොඳටම පවත්වා තිබිම තුළ යමෙකු මරණයට පත් වූවිට ස්වභාවික ලෙස පිළිගැනෙනවා. එම සියලුම සම්බන්ධකම් සුසාන භූමියෙන් කෙළවර වෙනවා. ඥාතිමිත්‍රාදීන් සමඟ කෙතරම් විශාල බැඳීම් තිබුණත් ඔවුන් අවසාන වශයෙන් සුසාන භූමිය දක්වා පමණක් පැමිණෙයි.

මරණයට පෙර යම්කිසි පුද්ගලයෙකු ලබාගත යුතු ජයග්‍රහණය ලෙස කෙතරම් දුරට තමන්ගේ මනස දියුණු කරගෙන තිබෙනවාද? මාර පරාජය සඳහා අවශ්‍ය කාරණා තුළ කෙතරම් දුරට කටයුතු කර තිබෙනවාද? ඔහු කෙතරම් දුරට තමන්ගේ ක්ලේශ ධර්ම දුරුකරගෙන තිබෙනවාද ? යන කාරණායි. කළ යහපත සහ අයහපත පමණක් මරණයට පත්වූ පුද්ගලයා සමඟ අනුව ගමන් කරනවා.යම් පුද්ගලයෙකු ජීවිත කාලය තුළ ඉතාම යහපත් ලෙස නිවැරැදි දේ කර තිබෙනවා නම්,ඒවා ඔහු සමඟ පැමිණෙන්නේ ඔහුගේ සෙවනැල්ල වගෙයි. ඔහු යම්කිසි ආකාරයක අකුසල දේවල් කර තිබෙනවා නම්,අනිවාර්යෙන්ම එම අකුසල් ඔහු හෝ ඇය පසුපස ගමන් කරනු ලබන්නේ ගොනු බැඳි කරත්තයේ රෝදය ගමන්කරන ආකාරයටයි. ගැල සමඟම යන රෝදය සේ ඔහු සමඟම කර්ම විපාක එන බවයි.

සංයුක්ත නිකායේ මහානාම සූත්‍රයේ සඳහන් ආකාරයට අනුව මහානාම රජතුමා බුදුහිමියන්ගෙන් වැදගත් ප්‍රශ්න කිහිපයක් විචාරනු ලැබුවා.ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස,මම බොහෝ කාලයක් තුනුරුවන් සරණ ගිය ශ්‍රද්ධාවෙන් සිටින අයෙක්. මම උපරිමයෙන්ම සිල් රකිනවා. මම හැකි සැම විටම දාන මාන පූජා කරනවා. මම බණ දහම් අසනවා. මම සැම අවස්ථාවකම අනිත්‍ය බව සැලකිය යුතු මට්ටමක අවබෝධ කරගෙන සිටිනවා. පුරුදු පුහුණු කරගත යුතු යැයි ඔබ වහන්සේ විසින් දේශනා කළ ශ්‍රද්ධාව,සීලය, ශ්‍රැතය, ත්‍යාගය ප්‍රඥාව,තිබුණත් තුනුරුවන් පිළිබඳව සිත සිත සිටින්නේ නැති අවස්ථාවක ,ධර්ම සාකච්ජා සිදුනොකර සිටින අවස්ථාවක ,කිඹුල්වත් නුවර මැදින් ගමන් කරද්දී ඇතෙකු නිසා මම මරණයට පත්වුව හොත් අශ්වයකු නිසා මම මරණයට පත්වුව හොත් , මිනිසෙකු නිසා මම මරණයට පත්වුවහොත් මගේ ස්වභාවය කුමන ආකාරයෙන් සිදුවෙයිද ? මගේ චුතිය කුමන ආකාරයෙන් සිදුවෙයිද? යනුවෙන් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා.

මෙවැනි ආකාරයෙන් හදිසි අනතුරකදී මරණයට පත් වුවහොත් කුමන ආකාරයේ ආත්මයක් ලැබෙයිද?කුමන ආකාරයේ ස්ථානයක උප්පත්තිය ලබයිද?බුදුරජාණන් විඤ්ඤාණදහරාව සුගතියට ගමන් කරන්නේ වහන්සේ පිළිතුරක් ලබානොදී රජතුමාගෙන් නැවත ප්‍රශ්නයක් විමසා සිටියා රජතුමනි, ඔබතුමාගේ ගෙදර ගස් තිබෙනවාද? ඔවි ස්වාමීනී , මගේ ගෙදර ගස් තිබෙනවා. රජතුමනි එම ගස් කුමන පැත්තකට හැරී තිෙබිද?

ස්වාමීනී , එම ගස් පෙරදිගට හැරී තිබෙනවා.බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්නයක් යොමු කළා. රජතුමනි, එම ගස් එකම පැත්තට කාලයක් තුළ සිටම නැමී තිබෙනවාද?මම දන්නා කාලය තුළ සිට මගේ ගෙදර වත්තේ තිබුණ බොහොමයක් ගස් පෙරදිගට නැමී තිබෙනවා.බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ප්‍රශ්නයක් යොමුකළා. රජතුමනි, හදිස්සියේ සුළඟක් හමලා එම ගස් වැටුණොත් , මොනයමි හේතුවක් නිසා හෝ නොහිතපු අවස්ථාවක එම ගස් වැටුණොත් , වැටෙන්න හැකි කුමන පැත්තටද?ස්වාමීනී , දිගුකාලයක් නැමිල තිබුණෙත්,දිගුකාලයක් බරවෙලා තිබෙුණත් , දිගුකාලයක් හැරිල තිබුණෙත් පෙරදිගට නිසා එම ගස් කුමන අවස්ථාවක වැටුණත් පෙරදිගට වැටිය හැකියි.යනුවෙන් රජතුමා පිළිතුරු දෙනු ලැබුවා. රජතුමනි, ඔබතුමා දිගු කාලයක් සැදැහැවත්,දිගු කාලයක් සිල්වත්. දිගු කාලයක් ත්‍යාගවන්තයි. දිගු කාලයක් දානමාන පූජාකළ කරමින් බණ දහමි අසනවා. දිගු කාලයක් ප්‍රඥාවන්තයි. දිගු කාලයක් අනිත්‍ය දුක්ඛ පිළිබඳව අවබෝධයෙන් ජීවත් වෙනවා.ඔබතුමා නැමී සිටින පැත්ත ඉතාම හොඳ පැත්තක්. එම නිසා ඔබතුමා වැටෙන්නේ එම නැමිල තිබෙන පැත්තට යි. එතුමා දිගු කාලයක් වඩපු දේ අනුව එතුමාගේ විඤ්ඤාණදහරාව ගමන් කරන්නේ සුගතිය පැත්තටයි.

මෙම ලිපියෙහි ඉතිරි කොටස වප් පුර අටවක (ඔක්තෝබර් 09) පෝදා පත්‍රයේ පළ වේ.

 

    බිනර අමාවක පෝය

 බිනර අමාවක පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදා පූර්ව භාග 03.55 ට ලබයි.
ඔක්තෝබර් 01 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 30 වනදා සිකුරාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 09 වන ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]