UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-10

කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙන් ඇරැඹි පිණ්ඩපාත පින්කම හයිලෙවල් පාරෙන් ගොස් මහරගම දක්වා ගමන් කරන ලදි. ඒ චාරිකාව සඳහා අසරණ ජනයාට උදව් කිරීම පිණිස තවත් ගිහි පිරිස් විශාල පිරිසක් ද එක්ව සිටියහ. මහරගම නගරයට පැමිණ සිටියද දහවල් දානයද කිසිදු භික්ෂූන් වහන්සේ නමකට හිමි නොවිණි. ඒ ගැන සොයා බලන්නට භික්ෂූන් වහන්සේට වේලාවක් හෝ අවස්ථාවක් හෝ නොතිබුණි. එදා දවල් නිරාහාරව සිටීමට භික්ෂූන් වහන්සේ තීරණය කළහ.

මාධ්‍ය මඟින් කෙතරම් අපහාසාත්මක ප්‍රහාර එල්ල කළද අසත්‍ය පුවත් මැවූවද දේ්ශපාලනික වශයෙන් කෙතරම් අඩම්තේට්ටම් එල්ල කළද නොසැලෙන ගුණයෙන් යුක්ත වූු මාදුළුවාවේ සෝ්භිත හිමියෝ නිහඬවම සමාජ සේවයේ නිරත වූහ. එම අපහාසාත්මක පුවත්වලට පිළිතුරු දීමට උන් වහන්සේට අවශ්‍ය නොවූහ. එම කාලයද සමාජයට යම් වැඩදායී කාර්යයකට යෙදීමට උන් වහන්සේ පියවර ගත්තේ එහෙයිනි.

මේ සමාජ සේවාවන්හි නිරත වූ උන් වහන්සේ කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධිය බලාපොරාත්තු නොවූහ. උන් වහන්සේ විසින් තම සේවය වඩාත්ම සලසා දෙන ලද්දේ අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයක සිටි දුප්පත්කමේ අඩියේම සිටි පිරිස් වෙතය. එවන් ගම්මාන වලටය.

එමෙන්ම ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් දැඩි සේ බැට කෑ වැසියන්ගේ සැප දුක් සොයා බැලීමට ද උන් වහන්සේ නිරතුරුවම කටයුතු කළහ. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශ වූ කෙන්ට් ෆාම් හා ඩොලර් ෆාම් ගම්මාන කරා උන් වහන්සේ වැඩම කෙළේ ජීවිතය පවා පරදුවට තබමිනි.

කෙන්ට් ෆාම් හා ඩොලර් ෆාම් ඇතුළු ත්‍රස්ත උවදුරින් බැට කෑ බොහෝ වැසියන්ගේ විනාශ වූ ගේ දොර යළි ඉදි කර දිම වෙනුවෙන් උන් වහන්සේ ගත් උත්සාහය වචනයෙන් කියා නිම කළ නොහැකිය.

කොටි ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු ප්‍රහාර හමුවේ අසරණ වූ පිරිස් බැලීමට උන් වහන්සේ එදා වැඩම කෙළේ බොහෝ දෙනාගේ වැළැක්විම මතය. ඒ බිහිසුණු ගමන් අද වුවද ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් සිහි ගන්වන්නේ දැඩි අනුකම්පා සහගත තත්ත්වයෙන් යුක්තවය.

උතුරේ ජනතාව වෙනුවෙන් වසර 30 කට අධික කාලයක් තිස්සේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් පවතින සංවිධාන හරහා කරන ලද සේවා මිල කළ නොහැකිය. ඒ සියල්ල සිදු කරනු ලැබුවේ පෙර කී පරිදිි නිහඬවමය.

යුද්ධයේදී ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ රණවිරුවන් වෙනුවෙන් ද උන් වහන්සේ සිදු කරන ලද සේවය සුළු පටු නොවේ.ඒ අතර රණවිරු දරුවන්ගේ පවුල්වල සුබසාධනය මෙන්ම නොයෙකුත් අඩුපාඩුකම්ද උන් වහන්සේ විසින් සොයා බලන ලදි.

2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී මෙරට ජනතාව පත් වූ තත්ත්වය උන් වහන්සේ සියැසින් දුටුවහ. ජීවිත හා ජාතික සම්පත් ජීවිත විනාශ විම දෙස බලා උන් වහන්සේ එහිදී ජීවිත විනාශ වූ ජනයා වෙනුවෙන් සෝක වූ අතර අසරණ වූ පිරිස් උදෙසා කළ හැකි උපරිම සේවය කිරීමට ඉදිරිපත් වූහ.

ඒ සඳහා භික්ෂූන් වහන්සේ කිහිප නමක් සමග කරන ලද සාකච්ඡාවකින් පසු අසරණ ජනතාව වෙනුවෙන් යම් සහනයක් ලබා දීම පිණිස මුදල් එකතු කිරීම සඳහා මුදල් පිණ්ඩපාතයේ යෙදුණි. ඒ සඳහා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, තිනියාවල පාලිත හිමි, මීගහතැන්නේ චන්දසිරි හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ හතලිස් නමක් පමණ සහභාගි වූහ.

කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙන් ඇරැඹි පිණ්ඩපාත පින්කම හයිලෙවල් පාරෙන් ගොස් මහරගම දක්වා ගමන් කරන ලදි.

ඒ චාරිකාව සඳහා අසරණ ජනයාට උදව් කිරීම පිණිස තවත් ගිහි පිරිස් විශාල පිරිසක් ද එක්ව සිටියහ. මහරගම නගරයට පැමිණ සිටියද දහවල් දානයද කිසිදු භික්ෂූන් වහන්සේ නමකට හිමි නොවිණි. ඒ ගැන සොයා බලන්නට භික්ෂූන් වහන්සේට වේලාවක් හෝ අවස්ථාවක් හෝ නොතිබුණි. එදා දවල් නිරාහාරව සිටීමට භික්ෂූන් වහන්සේ තීරණය කළහ.

මහරගම නගරයේ විවේකයෙන් ටික වේලාවක් ගිමන් හැර යළිත් නුගේගොඩ දක්වා ගොස් නාග විහාරයට පයින්ම භික්ෂූන් වහන්සේ වැඩම කළහ.

සෝභිත හිමියන් පාත්‍රය ඉදිරියට තබා ගෙන සුනාමි වැසියන් වෙනුවෙන් වැඩම කළ ඒ ගමනේ සේයාරුව බොහෝ දෙනාගේ පැසසුමට ලක් ව තිබුණි.

සුනාමි ව්‍යසනයෙන් අසරණ තත්ත්වයට පත් වූ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම පිණිස ජාතික වීර විදහන උන් වහන්සේ බිහි කළේ ඒ අනුවය. ඒ හරහා කළුතර මිහිකත වත්තේ ගෙවල් සිය ගණන් සාදන ලදී. එහි විහාරස්ථානයක්ද සාදවන ලදී. ඊට අමතරව මාතර ප්‍රදේශයේ නිවාස 80කට අධික සංඛ්‍යාවක්ද සාදවන ලදී. එතැන සුවිසල් නිවාස ක්‍රමයක් ඒ අනුව ස්ථාපිත කරන ලදී. මේ කාර්යයන් මෙරට බොහෝ දෙනා නොදන්නා බවද කිව යුතුය.

අනුරාධපුරය ප්‍රදේශයේ ඇලපත්ගම ගම්මානයට විශාල අඩුවක්ව තිබූ ප්‍රදේශයේ වැව සකස් කිරීම උන් වහන්සේගේ මෙහෙයවීමෙන් ආරම්භ කරන ලදී. එම ගම්මානයේ පවුල් 90කට අධික සංඛ්‍යාවක් දිවි ගෙවති. ගොඩ වී ඇති වැව සකස් කිරීම මෙන්ම නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද උන් වහන්සේ ක්‍රියා කළහ. එම ස්ථානයේ විහාරස්ථානයක්ද ස්ථාපිත කරන ලදී. එහෙත් එම කාර්යයන් සියල්ල අපවත් වීමට පෙර උන් වහන්සේට නිම කරන්නට නොහැකි විය.

විදේශ පරිත්‍යාග ශීලීන්ගෙන් නොයෙක් ආකාරයේ උදවු උපකාර ලබාගෙන මැති ඇමැතිවරුන්ට පවා කළ නොහැකි බොහෝ කාර්යයන් සිදු කරන්නට උන් වහන්සේ සමත් වූහ. එහෙත් බොහෝ දෙනා උන් වහන්සේ විසින් ඉටු කරන ලද මේ සේවාවන් ගැන දන්නේ නැත. ගමට ජලය ලබා දීම ගැන හෝ විහාරස්ථාන ස්ථාපිත කිරීම ගැන හෝ වැව් අමුණු ප්‍රතිසංස්කරණ ගැන හෝ උන් වහන්සේ මාධ්‍ය ප්‍රචාර කිරීමට කටයුතු කෙළේ නැත. ඒ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතයේ ස්වභාවයයි.

නාග විහාරයට අයත් කෝටි ගණනක් වටිනා ඉඩම ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිනියගේ සහායෙන් වටිනා වැඩිහිටි නිවාසයක් ඉදි කිරීමට උන් වහන්සේ කටයුතු කළහ. එහි දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්ද ඉදි කරන ලදි.

මෙයින් නොනැවතී උන් වහන්සේ නාග විහාරයද සමාජ සේවා මධ්‍යස්ථානයක් බවට පත් කරන ලදී. ඒගැන මිළඟ කලාපයෙන් කියවමු.


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය-9

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]