UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-9

මෙරට මෑත ශාසන ඉතිහාසයේ සුපේෂල ශික්ෂාකාමී හිමිනමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතාපදානය බුදුසරණ පුවත්පතට සම්පාදනය කිරීම සඳහා තොරතුරු සැපයීමට මඟ පෙන්වන්නේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ය.

නින්දා අපහාස විඳීමින් ජාතික සටන් උදෙසා කැප වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ට ඇතැම් මාධ්‍ය මඟින්ද භික්ෂූන් වහන්සේ නමකට කිසිසේත්ම නොගැලපෙන ලෙසින් ගරහන ලද බව අපි දැන ගතිමු. එය මෙතෙර මාධ්‍යයට සිමා නොවී අන්තර්ජාතික තලයට පවා ගිය බවද අපි දැන් දනිමු. මෙහිදී විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍යය ප්‍රධානත්වයක් ගත්තේය.

සෝභිත හිමියන් යම් අසාධාරණයක් උදෙසා පෙනී සිටියේද එතැනදී උන් වහන්සේට අනිවාර්යනේම දෝෂ දර්ශන එල්ල විය. එහෙත් ඒ කිසිවකින් උන් වහන්සේගේ ජාතික ආගමික හැඟීම් සහිත වූ ඒ ගමන නවතාලිය නොහැකි විය.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිර බාරයට ගැනීම ද උන් වහන්සේ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කෙළේය. වරක් මාධ්‍යයට ඒ සම්බන්ධව ප්‍රකාශ කළ උන් වහන්සේ පැවසුවේ ත්‍රස්තවාදී ඇතැම් නායකයන් නිදහස් පුරවැසියන් ලෙස සිටින නමුත් රට බේරාගත් හමුදාපතිවරයා සිර බාරයට ගෙන ඇති බවත් එය බලවත් අසාධාරණයක් බවත් ය.

ඒ පෙනී සිටීම වෙනුවෙන් මරණ තර්ජන පවා උන් වහන්සේට ගලා ආවේය.

‘මට ආණ්ඩුවලින් ලැබුණේ නැත්තේ මරණය විතරයි“ ඒ උන් වහන්සේ තමන් වහන්සේට එල්ල වූ තර්ජන ගැන මාධ්‍ය විමසූ විට නිතරම දුන් පිළිතුරකි .

‘බැනුම් අහන්න, දොස් අහන්න, අපවාදවලට ලක් වෙන්න, ගුටිකන්න බැරිනම් සමාජ සේවය නොකර ඉන්න ඕන. අනගාරික ධර්මපාලතුමන් හැම විටම කියා තිබෙන්නේ ලෝකයේ සදාකල්ම සත්‍යය වෙනුවෙන් පෙනී සිටින අයට ලැබෙන්නේ නින්දා අපහාස පමණක් බවයි. ජේසුස් වහන්සේටත් ඇණ ගැහුවානම් බුදුරජාණන් වහන්සේට නිමක් නොවන තරම් අපහාස කරානම් විශේෂයෙන්ම කාන්තාවන් ලවා පවා අපහාස කරානම් අප ගැන කවර කතාද‘ සෝභිත හිමියන් මේ සියල්ල පවසන්නේ සිනාවද මුව පුරවාගෙනය. ඒ හිනාව පෙන්වා දෙන්නේ ඕනෑම දෙයක් දරා ගන්නවා යන හදවතින් යුක්ත වූ බවකි.

කිසිවෙක් නොදන්නා සෝභිත හිමියන්ගේ විශේෂ දර්ශනය එයයි.

සෝභිත හිමියන්ටද මහා අපහාසාත්මක ප්‍රබන්ධයන් රැසක් ගොතා තිබුණි. විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය කිහිපයක් ඒ අතුරින් මුල් තැනක් ගෙන තිබුණි. ඒ සියල්ල මුවින් ඉවත ලන කෙළ පිඬක් සේ ඉවත හළ උන් වහන්සේ ඒ කිසිවකින් තම ගමන ආපසු හරවන්නට තීරණය කෙළේ නැත.

වාදිභසිංහයෝ කෘතියේ උන් වහන්සේ සඳහන් කර ඇත්තේ මෙවැනි ප්‍රකාශයකි. ‘

‘මට හිතෙන්නෙ මගේ පැවිදි ජීවිතය සාර්ථකයි කියල.

මම යම් යම් දේවල් ඉගෙන ගත්ත.

ඒ දේවල්වලින් රටට සේවය කළා.

රට වෙනුවෙන් සටන් කළා.

හිරේ ගියා. දුක් වින්දා. නින්දා අපහාස වින්දා.

රජ ගෙදරට වගේම දුගී පැල්පතටත් බණට දානෙට වැඩියා.

පන්සල් හැදුවා. ගම්මාන හැදුවා.

ඒ නිසා මගේ ජීවිතය ගැන මම සෑහීමකට පත් වෙනවා.‘

උන් වහන්සේගේ ජීවිතය කොයිතරම් කටුක අත්දැකීම් සහිත දුක්ඛදායකදැයි මෙයින් පැහැදිලිය. එහෙත් ඒ කිසිවක් උන් වහන්සේට තම ජාතික ආගමික සේවයට බාධා කර ගන්නට උන් වහන්සේ තීරණය කෙළේ නැත. ජාතිය ආගම උන් වහන්සේට වැදගත් නොවීය. උන් වහන්සේට අවශ්‍ය වූයේ අසාධාණයට විරුද්ධව කටයුතු කරන්ටය. හඬ නගන්නටය. සැම විටම නිවැරැදි දේම සිදු කරන්ට උන් වහන්සේ කටයුතු කෙළේ ඒ නිසාය. කිව යුතු දේ කෙලින්ම කීම උන් වහන්සේගේ සිරිතය.

ජනාධිපති ධුරයට පත් සියලු දෙනාම නාග විහාරයට පැමිණ උන් වහන්සේ බැහැ දැකීම සිරිතක් විය. ඒ පැමිණි විට ඔවුන්ට ජීවිතයේ මතක හිටින යම් ප්‍රකාශයක් කීම උන් වහන්සේගේ සිරිතයි. ඒ ප්‍රකාශයද ගැඹුරු අර්ථ රැසකින් සමන්විත වනු ඇත.

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මැතිනිය ජනාධිපති ධුරයට පත්ව නාග විහාරයට පැමිණී අවස්ථාවේදී උන් වහන්සේ පැවසුවේ ‘ජනාධිපතිතුමියනි පලි ගන්නත් එපා, පිළි ගන්නත් එපා‘ යනුවෙනි.

කිසිවකුගෙන් මේ අවස්ථාවේ පලි නොගන්නාක් මෙන්ම කිසිම පුද්ගලයෙක් ඕනෑවට වඩා පිළි නොගන්නා ලෙසද උන් වහන්සේ අපේ සමාජ රටාවේ ස්ථාවරය එසේ පැහැදිලි කර දුන්හ.

තමන් අපවත් වීමට පෙර අවශ්‍ය වන්නේ මෙරටට විශාල ව්‍යසනයක්ව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බව උන් වහන්සේ නිරතුවම ප්‍රකාශ කළහ.

බලයට පත්වන සෑම නායකයෙක්ම එම පොරොන්දුව ලබාදී බලයට පැමිණි නමුත් ඒ සියල්ල පසෙකට විසි කිරීම ගැන උන් වහන්සේ නිරතුරුවම දැඩි සේ විවේචනය කළහ. එම නිසා කිසිදු රාජ්‍ය නායකයෙක් ළග කිසිවක් ඉල්ලා යාමට උන් වහන්සේ කටයුතු නොකළහ. උන් වහන්සේගේ එකම ඉල්ලීම වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස කළ ඉල්ලීම පමණි.

පොරොන්දු කඩ කරන විට උන් වහන්සේ දිගින් දිගටම විවේචනය කිරීමට පටන් ගත්හ. එවිට උන් වහන්සේට දැඩි තාඩන පීඩන අපහාස ගලා එන්නට විය.

වසර 30කට ආසන්න කාලයක් උන් වහන්සේට අත් වි¼දින්නට වූයේ මේ කම්කටොලු සහිත ජීවන රටාවය.

ඒ කම්කටොලු මැද වුවත් නිහඬව දිවයින පුරාම ඉමහත් සේවයක් ගම් දනව් වල සිදු කරන ලද බව බොහෝ දෙනා දන්නේ නැත. බොහෝ දෙනා නොදන්නා ඒ සේවාවන් ගැන මීළග කලාපයෙන් කියවා බලමු.


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය-8

 

 මැදින් අමාවක පෝය

අපේ‍්‍රල් 06 වනදා බදාදා අපර භාග 08.36 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 07 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

 


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]