UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-8

මෙරට මෑත ශාසන ඉතිහාසයේ සුපේෂල ශික්ෂාකාමී හිමිනමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතාපදානය බුදුසරණ පුවත්පතට සම්පාදන කිරීම සඳහා තොරතුරු සැපයීමට මඟ පෙන්වන්නේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ය.

1987 වසරේ මැයි දිනය තහනම් කිරීමෙන් වුවද මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගමන නවතාලිය නොහැකි විය. ජාතික ආගමික සියලු සටන් සඳහා උන් වහන්සේ පෙරමුණ ගත්හ.

උන් වහන්සේගේ මෙහෙයවීමෙන් ජාතික ව්‍යාපාරයේ කටයුතු උදෙසා භික්ෂූන් වහන්සේ කොළඹ මාලිගාකන්ද මහාබෝධියට රැස්වූ අවස්ථාවක ඊට හරස් කපනු පිණිස ඇදිරි නිතිය පවා පනවා තිබුණි. මහාබෝධියේ ජල සැපයුම පවා කපා දමන ලදි. මහාබෝධියේ නවාතැන් ගත් භික්ෂූන්ට දානය ගෙන ඒම පිණිස ගිය මාදුළුවාවේ සෝභිත හිමි ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමි බෙල්ලන්විල විමලරතන නා හිමි ඇතුළු පිරිස වාහනයේ ගමන් කරද්දී වෙඩි තබන ලද මුත් වාහනය පසු පසුට ගෙන වේගයෙන් ධාවනය කිරීමෙන් දිවි ගලවා ගන්නා ලදී. ඒ නුගේගොඩ ප්‍රදේශයේදීය.

එමෙන්ම සෝභිත හිමියන් මහනුවර රැස්වීමකට වැඩම කිරීමට සූදානමින් සිටියදී උන්වහන්සේගේ වාහනය සිතා මතා වෙනත් වාහනයක් ගැටීමෙන් උන්වහන්සේගේ ගමනට බාධා පැමිණවීමද එකල සිදුවූ තවත් සිදුවීමකි. එසේ බාධා පැමිණියද පා ගමනින් හෝ තම ගමන යාම උන් වහන්සේගේ සිරිත විය.

පසුගිය දශක තුනක හතරක කාලයකදී සියලු ජාතික ව්‍යාපාරයන්ට මුල් තැන දුන් උන් වහන්සේ කිසිවිටක පෞද්ගලික දෝෂාරෝපණයන්ට යොමු නොවූහ. ම්ලේච්ඡ ත්‍රස්තවාදියකු වූ ප්‍රභාකරන්ට පවා උන් වහන්සේ පෞද්ගලිකව දොස් නොතැබූහ.

මෙරට ජාතික ප්‍රශ්නය වෙනුවෙන් වැඩියෙන්ම දේශනා පැවැත්වූ භික්ෂූන් වහන්සේ සෝභිත හිමියන් වන අතර උන් වහන්සේ එය ලංකාවට පමණක් සීමා නොකළහ. එංගලන්තය, කැනඩාව. ප්‍රංශය ඇමරිකාව වැනි රටවලටද උන් වහන්සේ ඒ සඳහා වැඩම කළහ.

ජාතික සටන්වලදී පෙරමුණ ගත් නිසා උන් වහන්සේට එතෙරදී ද දෝෂ දර්ශනයට ලක් වන්නට සිදු විය. පින්ලන්තයේ හෙල්සින්ක් නුවර ප්‍රසිද්ධ පුවත්පත් සමාගමක් මගින් බෙදා හරින ලද ‘බුඩිසම් බිට්රේට්‘ (බුද්ධාගම පාවාදීම) කෘතියේ බුදුදහම හා ඉතිහාසය විකෘති කරමින් අවුරුදු දහස් ගණනක් පැවැති සංස්කෘතියද වැරැදියට හොවා දක්වා සිංහලයන් ම්ලේච්ඡ බව දක්වමින් එහි මුල් පිටුව සරසා තිබුණේ සෝභිත හිමියන්ගේ විශාල සේයාරුවකිනි. එයින් උත්සාහ කර තිබුණේ සෝභිත හිමියන් මෙරට ආගමික ජාතික සටන් සඳහා නායකත්වය ලබා දීම වැළැක්වීමය . මෙරට ජාතික ගමනේ නියමුවා උන් වහන්සේ බව දැනගත් එතෙර ත්‍රස්ත බලවේග එය නැවැත්වීමට ගත් උත්සාහයකි එය. සෝභිත හිමියන් මේ කිසිවකින් තම ගමන ආපසු හැරවූයේ නැත.

මේ අයුරින් ධර්ම දේශකයාණන් වහන්සේ නමකට වඩා ජාතික සටන් පෙරමුණේ සිටිමින් ක්‍රියාකාරී විම නිසා සෝභිත හිමියන්ට ඇදී ආ අපවාද සුළු පටු නොවේ. එහෙත් ඒ එකදු නින්දා අපහාස තාඩන පීඩාවලින් උන්වහන්සේ බිඳකුඳු සැලුණේ නැත.

පුවත්පත් පිටු ගණන් උන් වහන්සේට නිගරු වන ආකාරයෙන් පළ කර තිබුණි. සාවද්‍ය සේයාරූ මඟින් උන් වහන්සේගේ කීර්ති නාමයට හානි කර තිබුණි.

එතෙර දී මෙන්ම මෙරටදී ද උන් වහන්සේ රට ජාතිය ආගම වෙනුවෙන් සටන් වැදීම අත් හැරියේ නැත. 1978 ව්‍යවස්ථාව මෙන්ම 1982 ජනමත විචාරණයද උන් වහන්සේ දැඩි ලෙසින්ම විවේචනය කළහ. විධායක ජනාධිපති ධුරය ඇති වූ දින සිටම උන් වහන්සේ ඊට විරුද්ධව නැඟී සිටියහ. 1982 ජනමත විචාරණයද මහජන මුදල් විනාශ කරනු ලබන්නක් බව එදා උන් වහන්සේ දැඩි ලෙසින් හඬ නඟමින් පැවසූහ.

1983 කළු ජූලිය ඇති වීම මෙරටට දේශීය වශයෙන් නොව අන්තර්ජාතික වශයෙන් ඇති වූ විශාල කළු පැල්ලමක් බව සෝභිත හිමියෝ නිරතුරුවම පැවසූහ. කැරැල්ලක් ඇති වුවහොත් එය මැඬලීම රජය සතු කාර්යයක් වුවත් එදා පොලිසියට නිවාඩු ලබා දී රජය කෙළේ බරපතළ වරදක් බව උන් වහන්සේ වරින් වර දැඩි හැඟීම් බරව පැවසූහ. එතැනදී හොරු මංකොල්ලකරුවන් දෙමළ මිනිසුන්ගේ දේපළ වනසන්නට ගත් බවත් දෙමළ ජනතාව ඝාතනය කරන්නට පටන් ගත් බවත් නිරතුරුවම පෙන්වා දුන් උන් වහන්සේ එදා ඇති වූ මේ ඛේදවාචකය නිසා, එය එල් ටී ටී ඊයට විශාල ලෙසින් තම සංවිධානය අන්තර්ජාතික මට්ටමට ගෙන එන්නට උපකාරී වූ බවත් පැවසූහ.

එල් ටී. ටී. ඊ සංවිධානය බිහි කරන්න අපි තමයි සහයෝගය ලබා දුන්නේ. මේ රට ම්ලේච්ඡයන්ගේ දේශයක්, මිනී මරණ රටක් යන පණිවුඩය අන්තර්ජාතික ලෙසින් පැතිරුණේ ඒ සිදුවීම නිසයි.

මේ රට මළ මිනී වලින් ප්‍රයෝජන ලබා ගන්නා රටක් බවද උන් වහන්සේ ප්‍රසිද්ධියේම පවසා ඇත. බණ්ඩාරනායක මහතාගේ ඝාතනය ගැන වරක් මාධ්‍යයට අදහස් දක්වමින් උන් වහන්සේ වදාරා සිටියේ බණ්ඩාරනායක මහත්තයා එදා මැරිලා හිටියේ මැරුණට පස්සෙ නැවත පණ ආවා. බණ්ඩාරනායක මහතාගේ මරණයේ අනුකම්පාවෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විශිෂ්ට ජයක් ලැබුවා. ලංකාවේ මළ මිනි හරිම ප්‍රයෝජනවත් ඒකයි. මේ උන්වහන්සේ සිනාමුසු මුහුණින් වදාරණ සැබෑ යථාර්ථයකි. කිව යුතු දේ එලෙසින් ප්‍රසිද්ධියේම කියන්න ට තරම් උන් වහන්සේ නොබියව සිටියහ.

මේ රටේ බලයට පත් වුණු නායක නායිකාවන් අතුරින් බණ්ඩාරනායක මැතිනිය රටට යමක් කරන්න උත්සාහ කරපු කෙනෙක්. එතුමියගේ විනිමය ප්‍රතිපත්ති අගේ කළ යුතුයි. අපි දේශීයත්වයට මුල් තැනක් දෙන්න ඕන. දේශීයත්වය නැතිව යාම නිසයි අපේ රට ණයට කන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.

බඩගින්නේ ඉන්න කෙනෙකුට මාළුවතු නොදී බිලී පිත්තක් දෙන්න කියලා තියෙන්නේ මහන්සි වෙලා තමන්ට ආහාරය සපයා ගන්න පුළුවන් වෙන්න ඕන කියන එක නිසයි. නමුත් අපේ මිනිස්සුන්ට නිකම් ඉඳගෙන කන්න පුරදු කරපු එකෙන් රට ණය බරින් පිරී ගිය බව උන් වහන්සේ නිරතුරුවම පෙන්වා දුන්නේ ආර්ථික විද්‍යාවේ පරතෙරටම ගිය ඥානයක් හෙබි තත්ත්වයකිනි.

අපේ ජනතාව ඡන්දය බඩටම දෙන තත්ත්වයට පත් වුණා. සමෘද්ධිය දීමෙන් අපේ රටේ ජනතාව නිකම් ඉඳගෙන කන්න පුරුදු වුණා. මොන පක්ෂයක් හරි කිව්වොත් අපි බලයට ඇවිත් සමෘද්ධීය වැඩි කරනවා. නැත්නම් අපි අර දීමනාව රුපියල් දහස් ගණනකින් වැඩි කරනවා කියලා ජනතාව ඡන්දය දෙන්නේ එතෙන්ටයි.

මේ තත්ත්වය වෙනස් වෙලා අපේ ජනතාවට අපිම දුක් මහන්සි වෙලා හරි හම්බ කර ගන්න තත්ත්වයක් උදා කර දීමෙන් පමණයි රට සංවර්ධනය කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ උන් වහනසේ රට ගැන දැඩි හැඟීමකින් පළ කළ අදහස්ය.

එහෙත් උන් වහන්සේගේ මේ අදහස් වලට රටේ දේශපාලකයන්ගේන් එතරම් යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත.

උන් වහන්සේට එරෙහිව පැන නැඟුණු ඉතා අපහාසාත්මක ප්‍රවෘත්ති ප්‍රචාරද විය.

ඒ සම්බන්ධව ඊළග කලාපයෙන් කියවා බලමු.


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය-7

 

 මැදින් අව අටවක පෝය

මාර්තු 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.28ට මැදින් අව අටවක පෝය ලබයි. අප්‍රේල් 01 වන දා සිකුරාදා පූර්ව භාග 08.53 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 31 වන බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 07 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]