UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අව අටවක 2016.03.31

අකුසලයට යොමුවන්නේ ඇයි

නරක ගති සිරිත් හිතේ හැදී වැඩී එය හිතට පුරුදුවීමෙන් හිත නරක් වී එයින් නරක දෑ කියවෙයි. ඊට වචනයෙන් කරන අකුසල් යැයි කියති. හිත නරක්වීමෙන් කරන දැයට කයින් කරන අකුසල් යැයි කියති. හිත නරක් වී හිතේම ක්‍රියාකරන අකුසල්වලට හිතින් කරන අකුසල් යැයි කියති.

හිතක් අයහපත් වීමෙන් කියන නරක වදන් කීපයකි. බොරු කීම, කේලාම් කීම, රළු පරොස් කීම, හිස් වචන කීම ආදිය වේ. ඊට වචනයෙන් කෙරෙන අකුසල් ලෙස නම් කෙරේ. එමෙන්ම ක්‍රියාවෙන් සිදු වන අයහපත් ක්‍රියා මොනවාද සත්ව ඝාතනය, අනුන් සන්තක දේ අයුතු ලෙස තමන් සන්තක කරගැනීමත්, කාම මිථ්‍යාචාරයෙහි යෙදීමත් , මත්ද්‍රව්‍ය බීමත් යන නරක ක්‍රියා කයින් කරන අකුසලයන් වේ. ලෝභකම ආදී නරක ගති වර්ධනයවීමෙන් හිතින් කරන නරක හෙවත් අකුසල් තුනකි. අනුන්ගේ දේට ආශා කිරීම හෙවත් විෂම ලෝභය. සිතේ නපුරුබව , ජීවිතයේ හැටි වැරැදි අන්දමින් දැකීමත් හිතෙන් කෙරෙන අකුසල්යැයි කියති.

මෙසේ හිත මුල්වීමෙන් කරන අකුසල් තුනත් කයින් කෙරෙන අකුසල් තුනත්, වචනයෙන් කෙරෙන අකුසල් හතරත් අකුසල් දහයක් වන අතර දස අකුසල් ලෙස විස්තර කෙරෙනුයේද ඒවාය. එය නැවත කෙටියෙන් සඳහන් කරන්නේ නම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර, මුසාවාද, පිසුනාවාචා, පරුසාවාචා, සම්පප්‍රලාප ,අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදිෂ්ටි යනුවෙනි. විවිධ වූ අකුසල් මේ දස අකුසලයට ඇතුළත් වේ.

අප ජීවිතය ගත කරන විට නිවැරැදි අන්දමට ජීවිතය ගත නොකළහොත් එසේත් නොමැති නම් ජීවිතය පවත්වා ගෙන යාම සඳහා වැරැදි ලෙස කෑම බීම ගතහොත් ශරීරය අපවිත්‍ර කරන දේ ශරීරයෙහි ගා ගතහොත් සිරුරට අහිතකර දේ ගතහොත් ශරීරයෙන් අප බලාපොරොත්තු වන ශරීර සෞඛ්‍යය සුවතාවය පවත්වාගෙන යා හැකිද ශරීර සුවතාවය පිරිහෙයි. නිරෝගි බව දුරු වී යයි. රෝගී බවට පත්වෙයි. ඇතැම් විට අපත්‍ය ආහාර නිතර නිතර ගැනීමෙන් ශරීර සුවතාවය පිරිහීම පමණක් නොව ජීවත්වීම පවා නැතිවී යාමට ඉඩ ඇත. ඇතැම් විට අසනීපයකින් පෙළෙන සමහර රෝගියෙකු වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යාමේදී රෝග තත්ත්වයේ මූලාරම්භය සොයා ගොස් ඇතැම් නුසුදුසු ආහාර භාවිතය නිසා රෝගය වැළෙඳන්නට ඇතැයි ඇතැම් වෛද්‍ය නිර්දේශ පවා ඊට සාක්ෂි සපයයි. එසේ බලන විට නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට ආහාරය කෙතරම් ඉවහල් වන්නේදැයි ඉන් ගම්‍ය වන කරුණක්ද වේ.

වැරැදි අන්දමට ජීවත්වීම ඇතැම්විට නිරෝගීමත්කම දුරුවීම පමණක් නොව තමාට දරාගත නොහැකි අන්දමට ජීවිතය ගත කිරීමට යාමෙන් විටෙක සොරකම, බොරුව ආදියටද පෙලඹීමෙන් අකුසල කර්ම රැස්කර ගැනීමට පවා පෙලඹෙන අයුරු කල්පනාවට ගත යුතුය. එසේ වැරැදි අන්දමට සිතීමට පෙලඹීම තුළින් ගතේ පමණක් නොව සිතේ සුවපත්බවද නැති වෙයි. හිත නරකට යොමුවීමෙන් හිතේ දියුණුව නැතිවී යයි. පිරිහීමට පත්වෙයි. අයහපතට යොමු වු හිත මුල්වී කරන කියන, හිතන ක්‍රියාකාරකම් අයහපතට මිස යහපතට කිසි විටෙකවත් හේතු නොවේ. ඉහත පැහැදිලි කළ අකුසලයන්ට යොමු වන්නේ ඒ අයුරෙනි.

මනුෂ්‍යයා හිතන, කියන, කරන සියල්ල ගැන බුද්ධිමත්ව සිතා නැවත නැවතත් විමසා ක්‍රියා කළ යුතු වන්නේ අකුසලයට යොමුවීමෙන් වළක්වා ගැනීම සඳහාය. සිතින් ,කයින්, වචනයෙන් අකුසල් කිරීමට යොමුවූයේ අන් අයෙකුගේ වරදකින් නොව තමාගේම වරදින් නොසොයා නොබලා කටයුතු කිරීමෙන් යැයි නිතර කල්පනාවට ගත යුතුවෙයි.

දියුණුව යැයි ඇතැම් අයෙක් කල්පනා කරන භෞතික දියුණුව පමණක් ජීවිතයක සැනසීමට හේතු නොවේ. භෞතික දියුණුව මන්දගාමි යැයි අසතුටට කනගාටුවට පත්නොවිය යුතුය. භෞතික දියුණුවට පෙර මනුෂ්‍යයා සිතෙන්, කයෙන්, වචනයෙන් තම ජීවිතය ආරක්ෂා කර ගත යුතුවෙයි. එසේ තිදොර අසංවර වුවහොත් ඔහු කරන අයහපත තමාට පමණක් නොව සමාජයේ අනෙකුත් අයටද මහත් විපතක් වනු ඇත. මනුෂ්‍යයා නැවතත් කල්පනා කළ යුතු වන්නේ තමාත්, අනෙකාත් විපතට ඇද හෙලන අයහපත් පැවැත්ම නිවැරැදි කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

 

 මැදින් අව අටවක පෝය

මාර්තු 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.28ට මැදින් අව අටවක පෝය ලබයි. අප්‍රේල් 01 වන දා සිකුරාදා පූර්ව භාග 08.53 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 31 වන බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 07 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]