UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරපුරේ අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය

අනුරපුරේ අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය

අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර, ධර්මප්‍රභා ධීරානන්දාභිධාන, කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක හා රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංස නායක හාමුදුරුවන් වහන්සේ, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා සිදු කිරීමට සැලැසුම් කර තිබූ නොමැකෙන සේවාවන්හි ඉදිරි පියවර තැබෙන්නේ 2001 අවුරුද්දේ ය.

ඒ අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය ආරම්භ කිරීමේ භාරදූර කාර්යයි. අනුරාධපුර පූජා නගරය ඇතුළතින් ලබාගත් ඉඩමේ මෙම විහාර කර්මාන්තය ආරම්භ කිරීම සඳහා මුල්ගල තබා 2003 දී එනම් වසරක් ඇතුළත විහාරස්ථානය බෞද්ධ ජනතාව සඳහා විවෘතකර දෙන්නට උන්වහන්සේ සමත් වූහ.

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ අසූමහා ශ්‍රාවක රහතන් වහන්සේ සහ තනතුරුලාභී සිව්වනක් පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකාවන් ඇතුළත් මෙබඳු විහාර කර්මාන්තයක් ඇතොත් එය ඉතා කලාතුරකින් දැකිය හැකි දර්ශනයකි. මෙය ලංකාවේ පිහිටුවා ස්ථාපිත කරනු ලැබුවේ අනුරාධපුර පූජා නගරයේ පිහිටි සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථාන භූමි භාගයේ ය.

මෙම විහාරස්ථානය වටා අටවිසි බෝධි රෝපණයද සිදු කරනු ලැබිණි. ඒ හැම එකකටම බුදු කුටිය බැගින් ඉදිකරන්නටද උන්වහන්සේ පියවර ගත්හ. රුපියල් ලක්ෂ පනහක පමණ වියදමින් සිදුකළ මේ මහා පුණ්‍යකර්මය සිය භාවනාවෙන් පුරුදු කළ චිත්ත ශක්තියෙන් ලද බීජයක මල්ඵල ගැන්වීමකි.

එතෙක් අඩුවක්ව පැවැති බෝධිප්‍රාකාරය සකස් කොට එහි කුඩා විහාරයක්ද කරවා 2004 දී සංඝාවාසය ඉදිකිරීමේ වැඩ ආරම්භ කළ නායක හාමුදුරුවෝ සිය ඉලක්කය සපුරාලමින් 2005 මාර්තු 24 වැනි දින සංඝාවාසය විවෘත කිරීමටද සමත් වූහ. මේ කාර්යයට උන්වහන්සේට ගතවූයේ වසරක් වැනි කාලයකි. මේ සඳහා වැයවූ මුදල රුපියල් ලක්ෂ පනහකට අධිකය.

අලුත්ගම බෝගමුවේ
සද්ධාරංසි නා හිමි

අනුරාධපුර පූජනීය පෙදෙසේ සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාර මන්දිරයට පිවිසෙන විට ඔබට පළමුව දකින්නට ලැබෙන්නේ ඉහළ මාලයේ ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිරූපිත සම්බුද්ධ ප්‍රතිමා වහන්සේයි. මහවනයේ සිසිල් රුක් සෙවණක වැඩහිඳ භික්ෂූන් අමතා ධර්ම දේශනයක් කරන අයුරින් මේ ප්‍රතිමාව නිර්මිතය. බුදුන්වහන්සේගේ ධර්ම චක්‍ර දේශනාව ඉන් නිරූපණය වෙයි.

උන්වහන්සේ දෙපස සැරියුත් (දකුණු පස) මුගලන් (වම්පස) ශ්‍රාවක පිළිම දෙකින් අග්‍ර ශ්‍රාවක දෙනම පිළිබිඹු කරයි. එතැන් සිට ප්‍රදක්ෂිණා කරන බවට කොණ්ඩඤ්ඤ, මහා කාශ්‍යප, අනුරුද්ධ ආදී මහරහතන් වහන්සේලාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා නැරඹිය හැකිය.

පහත මාලයේ දක්නට ලැබෙන්නේ මහරහත් භික්ෂුණීන් වහන්සේලා 13 නමකි. භික්ෂුණීන් වහන්සේලාගේ දෙකෙළවරින් ඉදිකර තිබෙන්නේ ආර්ය ශ්‍රාවක උපාසක උපාසිකාවන්ගේ ප්‍රතිමා ය.

අනුරාධපුර අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය පිහිටුවා තිබෙන්නේ උගත්, සිල්වත් භික්ෂූන් වහන්සේලා රැසක් බිහිකළ අනුරාධපුර පූජනීය පෙදෙසේ ඉසුරුමුණිය පාරේ පිහිටි සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථාන භූමිභාගයේය. මෙම භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂිකව සිදු කරන මහා පුණ්‍යෙීත්සවය සහ සර්වපරිෂ්කාර සහිත කල්ප වෘක්ෂ පූජාව මෙවරද (2016.03.26 – 27 ) ඉතා උසස් අයුරින් සිදු කිරීමට සද්ධා රංසි නාහිමියන් කටයුතු සංවිධානය කර තිබේ. 26 වැනි දින සවස අටවිසි සම්බුද්ධ සුමධුර ගිලන්පස පූජාවෙන් අනතුරුව සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනයකි. 27 වැනි දින උදෑසන 6.00 සිට ක්ෂීර පායාස සම්බුද්ධ පූජාව, මහා සංඝරත්නයට උදෑසන දානය පිරිනැමීම, සර්ව පරිෂ්කාර සහිත කල්ප වෘක්ෂ පූජාව, සම්බුද්ධ පූජාව හා දවල් ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සර්ව පරීස්කාර කල්ප වෘක්ෂ පූජාව සහිත මහා සංඝගත දක්ෂිණාව පිරිනැමෙනු ඇත.

අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ ආභිධර්මික වගිෂ්වර පුජ්‍යතම යාගොඩ ධර්මප්‍රභාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක මතුගම ශ්‍රී ධීරානන්දාභිධාන නාහිමියන් දෙපළ ඇතුළු අපවත්වී වදාළ මහා සංඝරත්නයට, පරලෝසැපත් ගුරුවර, දෙමාපිය, ඥාති මිත්‍ර දායක කාරක සාමාජික, උපාසක, උපාසිකා පිරිසට පුණ්‍යානුමෝදනා කිරීම, සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය ඇතුළු විහාරස්ථානයන්හි අභිවෘද්ධිය පතා නන් අයුරින් ඇප කැපවී කටයුතු කරන සැමට ආශිර්වාද කිරීම මෙම පුණ්‍යකර්මයේ තවත් විශේෂත්වයකි.

කොණ්ඩඤ්ඤ, මහාකාශ්‍යප, අනුරුද්ධ ආදී මහරහතන් වහන්සේලාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා මහරහත් භික්ෂුණීන් වහන්සේලාගේ ප්‍රතිමා
ආර්ය ශ්‍රාවක උපාසකතුමන්ලාගේ ප්‍රතිමා ආර්යශ්‍රාවක උපාසිකාවන්ගේ ප්‍රතිමා
 

 මැදින් අව අටවක පෝය

මාර්තු 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.28ට මැදින් අව අටවක පෝය ලබයි. අප්‍රේල් 01 වන දා සිකුරාදා පූර්ව භාග 08.53 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 31 වන බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 07 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]