UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ව්‍යාපාරික ප්‍රජාවට දහම් බිඳක්

බුදුරදුන් සමාජයේ සෑම කොටසකටම සෙත සැදූ ශාස්තෘවරයෙකි. එනිසා ඕනෑම යහපත් වෘත්තියක යෙදෙන කවරකුහට වුවද ඒ වෘත්තිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය අනුශාසනා දහමෙහි ඇතුළත් වේ. වෘත්තීය ඵලදායිතාව උපරිම කර ගැනීම සඳහා උපදෙස් සූත්‍ර පිටකයෙහි විසිරී පවතියි. ඒ අතුරින් වඩාත් අවධානයට යොමු විය යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම මේ ලිපියෙහි අරමුණය.

මෙවැනි ලිපියක් ලිවීම සඳහා මා මෙහෙය වූ හේතුවක් ඇත. එය දැන ගැනීම ලිපියෙහි අන්තර්ගත කරුණු ගැන සැලකිලිමත් විය යුතු හේතුව වඩාත් හොඳින් තේරුම් ගැනීමට උපකාරී වන හෙයිනි.

ඇමෙරිකාවේ ඉතා දියුණු ව්‍යාපාරිකයන්ට උපදෙස් දීම සඳහා ඇමෙරිකානු උගතුන් දෙදෙනකු විසින් ලියන ලද පොතක් මා ළඟ ඇත. ‘වට් වුඩ් බුද්ධ ඩූ ඇට් වර්ක්’ ( what would Buddha Do at Work) නමින් හැඳින්වෙන එම පොත වැඩ බිමෙහි පැන නගින ගැටලු 101 කට බුදුදහමෙන් විසඳුම් ඉදිරිපත් කරන්නකි.

ඇමෙරිකාවේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වන ජිම් ෂාෆර්  ( Jim Shaffer ) මෙසේ කියයි.

“මේ පොත කියවා ගෙන යන විට මට ඇති වූ සිතිවිල්ලක් නම් ‘මාත් බෞද්ධයකු නේදැ’ යි යන්නය. ලොස් ඇන්ජලීස් ටයිම්ස් හි ප්‍රධාන මුල්‍ය නිලධාරියා ( CEO )ලෙසද, සාර්ථක බහුමාධ්‍ය සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද, දැන් අන්තර්ජාල ආරම්භයක ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද මා ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ දෙයින් වැඩි හරියක් බුදුදහමෙන් අනුමත වෙයි. මෙය බෞද්ධයිනට ද අබෞද්ධයිනට ද එක සේ ඉමහත් ප්‍රයෝජනයක් ඇති පොතකි.”

ඇමෙරිකාව වැනි දැනට ලොව උපරිම භෞතික දියුණුව ලබා ඇති රටක සාර්ථක වූ නූතන මහා ව්‍යාපාරයන් රැසක ඉහළම විධායක නිලධාරියකුගෙන් බුදුදහමේ ඉගැන්වීම් ගැන මෙවැනි ප්‍රකාශයක් සිදුවේ නම් ශ්‍රී ලංකාව වැනි භෞතික දියුණුවෙන් ඉතා පහළ තත්ත්වයක ඇත්තාවූද, ඉතා කුඩා ව්‍යාපාර ඇත්තාවූද, ඉතා සුළු භූමි ප්‍රමාණයක් හිමි රටක ව්‍යාපාරිකයින් විශේෂයෙන් බෞද්ධ ව්‍යාපාරිකයින්, ස්වකීය ආගම දහම ගැන හා එහි ඉගැන්වීම් තම ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා යොදා ගැනීම ගැන දැනට වඩා ගැඹුරින් අවධානය යොමුකළ යුතු බව තේරුම් ගත යුතුය.

බුදුදහම මෙන් ම බුදු සිරිත ද ව්‍යාපාරිකයින්ට ඉතා සමීපය. බුද්ධත්වයෙන් පසු පළමු වරට දානයක් පිළිගැනුණේ තපස්සු භල්ලුක නම් වූ වෙළෙඳ සහෝදරයන් දෙදෙනෙකුගෙනි. පළමු ද්වේවාචික උපාසකයෝ ද මොව්හුය. ප්‍රධාන ගිහි දායකයා වූ අනේපිඬු සිටුතුමා උසස් ව්‍යාපාරිකයෙකි. විශාඛාවෝ සිටු දියණියකි. ගිහි විනය නම් ලද දේශනාව වදාරන ලද්දේ සිඟාල නම් වූ සිටු පුතුට ය. දීඝජාණු කෝලිය තරුණයා අමතා මිනිසකු විසින් කළ හැකි ධාර්මික රැකියා ක්‍ෂේත්‍ර ගණනාවක් බුදු හාමුදුරුවන් විසින් පෙන්වා දෙන ලදී. එයින් එකකි, වෙළෙඳාම, වාණිජ කටයුතු. ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාව අමතා කරන ලද දේශන අප විසින් පෙළදහම තුළ අපේක්ෂා කළ යුත්තකි.

වර්තමාන ව්‍යාපාරිකයකුට මුහුණ පෑමට සිදුවන ගැටලු රාශියකි. සැලසුම් සම්පාදනය, සම්පත් කළමනාකරණය, සේව්‍ය - සේවක සම්බන්ධය ගොඩනැංවීම, ඵලදායිතාව ඉහළ නැංවීම, නාස්තිය පාලනය කිරීම, විශ්වාසය දිනා ගැනීම, සේවක අයිතිවාසිකම් සඳහා කෙරෙන සටන් සමථයකට පත්කිරීම, අර්බුද නිරාකරණය, ලාභ ලැබීම, ව්‍යාපාර නඩත්තුව ආදිය ඒ අතර වෙයි. මේ කරුණු සම්බන්ධයෙන් සූත්‍රධර්මයන්හි කුමක් කියැවේ ද?

පැවිදි ජීවිතයේ කාර්යභාරය ව්‍යාපාරිකයකු ගේ කාර්යභාරය හා සසඳමින් කරන ලද එක් දේශනයක් පාපණික සූත්‍රය නමින් අංගුත්තර නිකායේ ඇතුළත් වී තිබේ. ව්‍යාපාරිකයකු තුළ තිබිය යුතු එක් චරිත ලක්ෂණයක් එහිදී අවධාරණය වේ.

දවසේ පෙරවරුයෙහි ද ව්‍යාපාරික කටයුතුවල මැනැවින් (සකසා) යෙදෙයි.

දවසේ මධ්‍යාහ්නයෙහි ද හෙතෙම ව්‍යාපාරික කටයුතුවල සකසා යෙදෙයි.

දවසේ සන්ධ්‍යා සමයෙහි ද හෙතෙම ව්‍යාපාරික කටයුතුවල සකසා යෙදෙයි.

එසේ කරන ව්‍යාපාරිකයා නොලද භෝග ලබාගැනීමටද ලද භෝග දියුණු කර ගැනීමට ද සමත් වීමෙන් ව්‍යාපාරය සාර්ථක කර ගනියි. එසේ නොකරන්නා අසාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්වේ.

මෙහි උදේ, දවල්, සවස යනුවෙන් අවස්ථා තුනක් විශේෂයෙන් අවධාරණය කිරීමෙන් අදහස් වන්නේ මුළු දවස පුරාම ව්‍යාපාරිකයා ස්වකීය කාර්යය සම්බන්ධයෙන් අවධානයෙන් යුතුව සිටිය යුතු බවයි. සක්කච්චං කම්මන්තං අධිට්ඨාති හෙවත් සකසා කාර්යභාරය ඉටුකළ යුතුය. යන්නෙන් ඕනෑවට එපාවට නොව විශේෂ සැලකිල්ලක් දක්වා කටයුතු කළ යුතු බව අවධධාරණය වේ. මේ කරුණෙහි ඇති වැදගත්කම තේරුම් ගැනීමට බොහෝ ව්‍යාපාරවලට අත්වන ඉරණම සොයා බැලිය යුතුය. බොහෝ ව්‍යාපාර එක් අයකුගෙන් වෙන අයකුට අයත් වී වැඩි කලක් යන්නට පළමු බිඳ වැටෙන බව සත්‍යයකි. පියාගෙන් පුතාට, සහෝදරයාගෙන් වෙන සෙහෝදරයකුට හෝ වෙනත් තැනැත්තකුට ව්‍යාපාරයක් අයත් වූ පසු මේ ඉරණමට භාජනය වූ ව්‍යාපාර කොතෙක්ද? එසේ ම ව්‍යාපාරිකයන් දෙදෙනකුගේ කටයුතු සසඳා බැලීමේදී ද මෙහි ඇති සත්‍යතාව වටහා ගත හැකියි. එක් අයකුගේ ව්‍යාපාරය ඉතා සාර්ථකත්වයට පත් වන්නේ සුළු කලකිනි. තවත් අයකුගේ එවැනිම ව්‍යාපාරයක් ඒ අයුරින්ම බිඳ වැටෙන අයුරු පෙනේ. ඇතැම් විට මේ සඳහා වෙනත් හේතු ද බලපාන අවස්ථා තිබේ. එහෙත් බෙහෙවින් පෙනෙන කරුණ නම් නිසි සැලකිල්ල නොලැබී යෑමය. බොහෝ උද්‍යෝගයෙන් උදේම ව්‍යාපාරික ස්ථානය වැඩ අරඹන කෙනෙක් සවස් වන විට උදාසීන වී ඇත. සොයා බැලීමක් නැත. සේවකයිනට කැමැති පරිදි එහි වැඩ කෙරෙයි. ප්‍රතිඵලය වැඩිකල් යෑමට මත්තෙන් බංකොලොත් බව ලැබීමයි. ව්‍යාපාරික කටයුතු වල නියැලෙන අයට මේවාට වුවමනා තරම් උදාහරණ හමුවෙයි. දවසේ කිසිම අවස්ථාවක නොසැලකිලිමත් වීම, උදාසීන වීම, අවධානයෙන් තොර වීම ව්‍යාපාරිකයකු කෙරෙහි නොවිය යුතු දුර්වලතාවකි.

අංගුත්තර නිකායෙහි ම ඇතුළත් වේඵුල්ල සූත්‍රය සාර්ථක ව්‍යාපාරිකයකු වීමට අවශ්‍ය ගුණාංග තුනක් හඳුන්වා දෙයි. නම් වශයෙන් ඒ මේවාය.

1. චක්ඛුමා (ඇස් ඇති බව)
2. විධුරෝ (නුවණැතිබව
3. නිස්සය සම්පන්නෝ (නිශ්‍රය සම්පන්න බව) යනුවෙනි.

මේවා විස්තර වශයෙන් පෙන්වා දෙනු ලැබේ.

මේ අයුරිනි.

චක්ඛුමා යනු ඇස් ඇති බවයි. එය අප සතු මාංසමය ඇස් නොවේ. නුවණ නමැති ඇස් ය. මෙහි විශේෂයෙන් දැක්වෙන, ව්‍යාපාරිකයකු සතු විය යුතු නුවණ අදහස් කෙරේ. එනම්

1. භාණ්ඩයක් මිලදී ගත යුතු ආකාරය පිළිබඳ දැනීම (ඒවං කීතං)

2. භාණ්ඩයක විකිණිය යුතු ආකාරය පිළිබඳ දැනීම (ඒවං වික්කයමානං)

3. විකිණීමේදී භාණ්ඩය මිල කළ යුතු ආකාරය පිළිබඳ දැනීම (එත්තකං මූලං භවිස්සති)

4. ඒ භාණ්ඩයෙන් ලබාගත යුතු ලාභ පිළිබඳ දැනීම (එත්තකං උදයෝති)

විධුර- නම් වූ දෙවැනි ව සඳහන් ගුණාංගයෙන් කියැවෙනුයේ ඤාණයෙන් යුත් වීර්යය යි. මිලදී ගැනීමත්, විකිණීමත් පිළිබඳ (කේතුං ච වික්කේතුං ච) දක්ෂතාව එයින් අදහස් කෙරේ. මෙය, පාරිභෝගික අවශ්‍යතා හැඳින ගැනීමත්, ඒ අවශ්‍යතාවනට ගැළපෙන භාණ්ඩ හැඳින ගැනීමත් අවධාරණය කරයි. පාරිභෙභීගිකයාට අනවශ්‍ය දේ සපයා ඔහු රැවටීම මෙයින් ප්‍රතික්ෂේප වේ.

නිස්සය සම්පන්න- යන තෙවනි ගුණාංගයෙන් විශ්වාසය ගොඩනඟා ගැනීම අවධාරණය කෙරේ. ව්‍යාපාරිකයා ඇසුරු කරන අය, විශේෂයෙන් අනෙකුත් ව්‍යාපාරිකයන් හා මූල්‍යමය අවශ්‍යතා සපුරාලීමට සමත් අය සමග සුහද සබඳතා ගොඩනඟා නොගෙන ව්‍යාපාරයක් සාර්ථක කර ගත නොහැකි යි. ඒ අවශ්‍යතාව මෙයින් විස්තර වේ. මොහු ඇසුරු කරන ධනවත් අය ‘මේ ව්‍යාපාරිකයා නුවණැත්තෙක්. ව්‍යාපාරික කටයුතුවල දක්ෂයෙක්. අවශ්‍ය වෙලාවට ධනය ලබාගෙන තමන්ගේ කටයුතු මැනැවින් කර ගන්නටත්, ලබාගත් මුදල හා එයට පොලිය නිසි පරිදි ගෙවන්නටත් දක්ෂයෙක් යැයි සිතා ඔහුට අවශ්‍ය වන ධනය දීමට ඉදිරිපත් වෙති. එය ඉක්මනින් ව්‍යාපාරය දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය කරුණකි.

මේ කරුණු තුන වර්තමාන ව්‍යාපාරිකයන් විසින් විශේෂ අවධානය යොමු කොට දිර්ඝ වශයෙන් සොයා බැලිය යුතු අංශ තුනක් අවධාරණය කරයි. පළමු වැන්නෙන් මිලට ගැනීම, විකිණීම, මිල කිරීම හා ලාභලැබීම යන ව්‍යාපාරික කටයුතුවල දක්ෂතාව ද දෙවැන්නෙන් පාරිභෝගිකයා හා සබඳතා ගොඩනගා ගැනීමේදී තිබිය යුතු අවංකත්වය හා දක්ෂතාව ද, තෙවැන්නෙන් අනෙකුත් ව්‍යාපාරිකයන් හා මුල්‍ය ආයතන සමග විශ්වාසය ගොඩනඟා ගැනීමද ව්‍යාපාරයක හෝ ව්‍යාපාරිකයකු ගේ සාර්ථකත්වයට තුඩුදෙන අයුරු සැලකිල්ලට ලක් කරයි. ඒ පිළිබඳව ඉගැන්වීම් සිගාලක, ව්‍යග්ඝපජ්ජ, මහචත්තාරීසක, වැනි සූත්‍ර ධර්මයන්හි ඇතුළත් වී ඇති ආකාරය විමසිල්ලට භාජනය විය යුතුය.

ව්‍යාපාරිකයකු වෙළෙඳ භාණ්ඩයක් මිලට ගන්නේ ද මිල කරන්නේද, විකුණන්නේද එක්තරා අරමුණක් ඇතිවය. ඒ අරමුණ නම් ලාභ ලැබීම ය. චක්ඛුමා යන්නෙන් මේ අරමුණ සදාචාරසම්පන්නව ඉටුකර ගන්නා ආකාරය සිතා බැලීමට ව්‍යාපාරිකයා මෙහෙයවයි. ලාභ ලැබීම බුදුදහමෙන් අනුමත වූවක්දැයි සමහරුන් ඇතැම් විට ප්‍රශ්න කරන බව පෙනේ. ලාභ නොලැබෙන්නේ නම් ව්‍යාපාරයක යෙදිය යුතු නො වේ. මහාචත්තාරීසක සූත්‍රයහි දී මිච්ඡා ආජීවය හඳුන්වා දෙන තැන, කුහනා ලපනා නේමිත්තිකතා, නිජපේසිකතා , ලහේන ලාභං , නිජිගිංසනතා යන වැකිය දක්නා ලැබේ. එහි මිථ්‍යා (වැරැදි) ආජීවයක් (ජීවිකාවක්) ලෙස දක්වා ඇත්තේ ලාභ ලැබීම නොව, ලාභය එකම අරමුණ කර ගැනීමයි. ලාභයට අරමුණ කොට ගත් විට එයට පළමුවෙන් වැකියෙහි කියැවෙන කුහනා (කුහකකම්) ආදි වැරැදි වලට නිතැතින් පෙළඹේ. එනිසා ලාභ ලැබීම අනුමත කරන්නක් බව පැහැදිලිය. කුහකකම්වල නිරත වීම වැරැදි නිසා එයයි, දුරුකළ යුතු දුර්ගුණය වන්නේ.

වර්තමාන විවෘත ආර්ථිකයෙහි ඇති මූලික වරදකි, මිනිසා ද වෙළෙඳ භාණ්ඩයක් ලෙස සැලැකීම. මේ නිසා ශ්‍රමදායකයා ද , පාරිභෝගිකයාද, එක සේ සූරාකෑමට ලක්වෙයි. සදාචාරාත්මක නොවන රැකියාවක් බවට වෙළෙද ව්‍යාපාර ලෙහෙසියෙන් පත්වන්නේ මේ හේතුවෙනි.

වංචනික ක්‍රියාවල යෙදීම වර්තමානයට පමණක් සීමා වූ කරුණක් නොවේ.

සූත්‍රධර්මවල ව්‍යාපාරික ප්‍රජාව විසින් කරනු ලබන වංචනික ක්‍රියා රාශියක් නම් වශයෙන් දැක්වේ. අද ඒවා ඉතා සූක්ෂ්ම ලෙස වඩා ව්‍යාප්ත ලෙස දක්නට ලැබේ.

ලාභ ලැබීමත්, එමගින් ඉක්මනින් ධනවත් වීමත් ව්‍යාපාරිකයන්ගේ අපේක්ෂාවය. මේ කරුණු දෙකින් එකක් වත් වැරැදි නැත.

ඒ දෙකම බුදුදමෙන් අනුමත වෙයි. එහෙත් එහිදී සැලැකිය යුතු වන්නේ මේ කාර්යයෙහිදී සදාචාරාත්මකව කටයුතු කිරීමය.

බෞද්ධ සදාචාරයෙහි අවම සීමාව වන්නේ පස්පවින් වැළකීමයි. එයින් අදහස් කෙරෙන්නේ

1. (අ) මිනිසුන්ගේ හා සතුන්ගේ ජීවත් වීමේ අයිතිය පැහැර නො ගැනීම.

(ආ) මිනිසුනට හා සතුනට හිංසා පීඩා නොකිරීම

2. සොරකම් නොකිරීම (නුදුන් දෑ නොගැනීම)

3. දුරාචාරී නොවීම

4. බොරුවෙන් නොරැවටීම හා

5. මත්පැන්, මත්කුඩු , මත්ද්‍රව්‍ය බැහැර කිරීමයි. මේ සදාචාර සීමාව නිසා බෞද්ධයකු වශයෙන් ජීවත් වෙමින් නොකළ හැකි වෙළෙඳාම් කිහිපයක් තිබේ. වණිජ්ජා සුත්‍රයෙහි දැක්වෙන හැටියට,

1. සත්ථ වණිජ්ජා හෙවත් අවි ආයුධ වෙළෙඳාම 2. සත්ත වණිජ්ජා හෙවත් සතුන් වෙළෙඳාම , මිනිසුන් වහල් බවට වෙළෙඳාම් කිරීම 3. මංස වණිජ්ජා හෙවත් මස් වෙළෙඳාම

4. මජ්ජ වණිජ්ජා හෙවත් මත්පැන්, මත්කුඩු, මත්ද්‍රව්‍ය වෙළෙඳාමය

5. විස වණිජ්ජා හෙවත් ජීවිත හානි කරන විෂවර්ග වෙළෙඳාමය.

මෙයින් 1,, 2, 3, 5 යන වෙළෙඳාම් නොකළ යුත්තේ ප්‍රාණඝාතය සිදුවන හෙයිනි. සිවුවැන්න නොකළ යුත්තේ පස්වන සිකපදය බිඳ වැටෙන හෙයිනි. අද අපට පෙනෙන අයුරු බෞද්ධයන්ගෙන් මේ වෙළෙඳාම් වල නිරත වී සිටින පිරිස කොතෙක්ද? සදාචාර සම්පන්න ව්‍යාපාරිකයා අවධානය යොමු කළ යුතු අනෙක් කරුණ අසාහසිකවීමයි. සදාචාර සීමාව තුළ සුදුසු වෙළෙඳාමක යෙදෙමින් සැහැසි ක්‍රියාවල යෙදීමට කොතෙකුත් අවකාශ තිබේ. මේ සැහැසිකම් මූලික වශයෙන් තුන් ආකාරයකින් සිදුවේ.

1. සේවකයිනට සැහැසිවීම මගින් ශ්‍රමය/ ශ්‍රමදායකයා සූරාකෑම

2. පාරිභෝගිකයින් සූරාකෑම සහ

3. සම්පත් ( පරිසරය) සූරාකෑමයි.

මේ සැහැසිකම් මගින් ටික කලක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියි. එහෙත් එහි අනිවාර්ය ආදීනවය වනුයේ විශාල පරිහානියකි. මෙවැනි සාහසික ක්‍රියා පිිළිබඳ දීර්ඝ විස්තර පෙළදහම තුළ විසිරී පවතියි.

ඒ සැහැසිකම්වල නොයෙදෙමින් ඵලදායිතාව වැඩිකර ගනිමින් ලාභ ලබා ධනවත් වන අයුරුද සුත්‍රාගත විස්තරවල ඇතුළත් වේ.

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]