UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

තාක්‍ෂණ යුගයේ දෙවියන් යැදීම

විසි එක් වන සියවසෙහි මිනිසා යන සාඩම්බර යෙදුම මඟින් ඉඟි කැරෙනුයේ මානව ශිෂ්ටාචාරයේ දියුණු ම සාමාජිකයන් අද වෙසෙන බව ය. වර්තමාන මිනිසා සතු තාක්‍ෂණික හා විද්‍යාත්මක ජයග්‍රහණ මෙන් ම පුළුල් සාක්‍ෂරතාව ආදිය නිසා මේ යෙදුම සාධරණ යැයි තර්ක කළ හැකි ය. එහෙත්, මේ ඊනියා දියුණු මිනිසා සතු තාක්‍ෂණික හා විද්‍යාත්මක ජයග්‍රහණයන් භාවිත කැරෙනුයේ දියුණු මිනිසුන් ලෙස ද? අද ඉතා බහුල වශයෙන් භාවිත කැරෙන අන්තර්ජාල පහසුකම මෙහි දී උදාහරණ වශයෙන් ගෙන බලමු.

අන්තර්ජාල පහසුකම් නිර්මාණය කිරීමට හේතු වූයේ, න්‍යෂ්ටික යුද්ධයක දී බිඳ නො වැටෙන රැහැන් රහිත සන්නිවේදන ජාලයක අවශ්‍යතාව නමැති යුදවාදී ඉල්ලීමකි. ඇමරිකානු රාජ්‍ය ඒජන්සියේ පෝල් බැරන් විසින් නිර්මාණය කළ මෙහි අරමුණ, න්‍යෂ්ටික ප්‍රහාරයකින් ආරක්‍ෂා වෙමින් න්‍යෂ්ටික ප්‍රතිහාර එල්ල කිරීමේ හැකියාව ආරක්‍ෂා කිරීම ය. වර්තමානය වන විට වෙනත් කාරණා සඳහා ද මෙය යොදා ගන්නා බව සත්‍යයකි. එ සේ වූව ද එය හඳුන්වා දීමේ මූලික අරමුණ වෙනස් වී නොමැති බව පමණක් නො ව සෙසු මිනිසුන් ගේ බුද්ධිමය දේපළ සොරා ගැනීම පිණිස මෙය භාවිත කැරෙන ආකාරය ද අප අමතක නො කළ යුතු ය.

ක්‍රීඩා ක්‍ෂේත්‍රය දෙස බැලූ විට ද මේ දියුණු මිනිසා ගේ පිරිහීම අවබෝධ කැර ගැනීමට පුළුවන. මීටර් සියයක් තත්පර දහයකට අඩු කාලයකින් දිවීමට සමත් සුපිරි ක්‍රීඩකයන් බිහි කිරීමට හැකි වී ඇතත් ඒවා මානව ජයග්‍රහණ බවට පත් කැර ගැනීමට හැකි වී නැත. ඇමරිකානු ජාතික සුපිරි මලල ක්‍රීඩිකා මේරියන්ස් ජෝන්ස් තහනම් උත්තේජක ද්‍රව්‍ය ගැනීමේ චෝදනාව මත සිර දඬුවම් විඳීම මෙයට කදිම උදාහරණයකි. ලොව හමුවේ ඇති ප්‍රධාන ම අභියෝගය නම් නූතන විද්‍යාව හා තාක්‍ෂණය භාවිත කිරීමට සුදුසු මානුෂික ගුණාංග වලින් යුතු මිනිසකු නිර්මාණය කැර ගැනීම ය. මානව ශිෂ්ටාචාරය මුහුණ දෙන මේ ගැටලුව දේශපාලනික වශයෙන් විසැඳිය නො හැකි බව සෝවියට් දේශය බිඳ වැටීමෙන් තහවුරු වී තිබේ. සමාජවාදය ලැබූ ඒ පරාජයත් සමඟ යළි ආගම දෙසට නැඹුරු වීමට මිනිසාට බල කැර ඇත.

එ සේ වූව ද විශ්වයේ සහ සත්ව වර්ගයා ගේ මැවුම්කරුවා දෙවියන් වහන්සේ යැයි පිළිගන්නා කිතු දහමට හෝ අල්ලා දෙවියන්ට යටත්වීම පිළිබඳ ව ඉගැන්වෙන ඉස්ලාම් ආගමට හෝ වත්මන් ලෝකය හමුවේ ඇති මේ ගැටලුව විසැඳිය හැකි වේ යැයි අපි නො සිතමු. මන්ද යත්, දේවත්වයට පත් වීමෙන් මිස දේවත්වය වන්දනා කිරීමෙන් මෙයට විසැඳුමක් නො ලැබෙන බැවිනි.

ස්වභාව ධර්මයේ බලවේග වන්දනා කිරීම නිසා පෘථිවි, අග්නි, ඉන්ද්‍ර, වායු ආදී වෛදික දෙවිවරුන් බිහි වූ බව ඇත්ත ය. එහෙත්, වර්ෂාවට අධිපති වරුණ දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම පවා දෙවියන් ගේ නියෝජිතයා ලෙස පෙනී සිටි බ්‍රාහ්මණයන්ට අයිති කාර්යයක් වී තිබිණ. මේ නිසා බිහි වූ බ්‍රාහ්මණවාදී හින්දු සමාජයට එරෙහි ක්‍ෂත්‍රිය විරෝධය පාර්ශ්වනාථ (ක්‍රි.පූ. 8 වන සියවස) හා මහාවීරතුමා (ක්‍රි.පූ. 540 ) ගෙන් එල්ල විය.

බමුණු දර්ශනයට එරෙහිව පැන නැඟුණු ජෛන ආගමෙහි ඇතුළත් දැඩි අවිහිංසාවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීම එ තරම් පහසු නැත. බ්‍රාහ්මණවාදී හින්දු ප්‍රතිපත්ති වලට මෙන් ම දැඩි අවිහිංසාවාදී ජෛන ප්‍රතිපත්තිවලට ද සැබෑ පිළිතුරක් ලබා දීමට බුදුරජාණන් වහන්සේ සමත් වූ බව පොදුවේ පිළිගන්නා කරුණකි.

බුදු දහම බිහිවීම එම ඓතිහාසික තත්ත්වයන් විසින් ඉල්ලා සිටින ලද මානව ශිෂ්ටාචාරයේ අවශ්‍යතා සපුරාලීමකි. එ සේ වුව ද වත්මන් තත්ත්වය කෙ බඳු ද? අපවත් වී වදාළ මහාචාර්ය වල්පොළ රාහුල හිමියෝ එය මෙ සේ දුටු සේක. “ධර්මයේ සාරය තේරුම් නො ගෙන, නිකම් කථා වස්තූන් ධර්මය හැටියට සලකන්නට යෑමෙන් බොහෝ දෙන අඳුරේ වැටී සිටිති. මේ ධර්මයන් පිරිසුදු ලෙස අවබෝධ කැර ගන්නට නම්, නිදහස් ව සිතිය යුතු යි. වෙහෙර විහාර ලක්‍ෂයක් ගොඩ නැඟීමට වඩා, බුදුන් ඇතුළු ලක්‍ෂයක් මහරහතන්ට මහදන් දීමට වඩා මෙ බඳු ධර්මයක් තේරුම් ගැනීම ශ්‍රේෂ්ඨයි.”

අද ලාංකිකයන් ඉදිරියේ මෙන් ම සමස්ත මානව ශිෂ්ටාචාරය හමුවේ ද ඇත්තේ මේ අභියෝගය යි. මෙය, මානව ශිෂ්ටාචාරයේ දියුණු ම අවධිය ද යන්න තීරණය වනු ඇත්තේ මේ අභියෝගය ජයගත් විට ය.

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]