UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බණ දෙසීම හා බණ ඇසීම ගැන විමසුමක්

පදසෝධම්ම ශික්ෂා පදය හඳුනාගනිමු

උපසම්පදා භික්‍ෂූන් වහන්සේ විසින් සුරැකිණු ලැබිය යුතු සික්ඛාපද සම්භාරය අතර පදසෝධම්ම සික්ඛා පදය වැදගත් වන්නේ ධර්මය දේශනා කිරීමේදීය.

අපේ සංඝයා වහන්සේ විසින් විවිධ අවස්ථාවන්හි දී දෙසනු ලබන ධර්ම දේශනා කොතෙකුත් අපි අසා ඇත්තෙමු. බණ ඇසීම අපේ යහගුණයකි. එසේම වටහා ගැනීමත් පිළිපැදීමත් අපේ සුගතියට හේතුවන බව සත්‍යයකි. එසේ වුවත් වර්තමානයේ මේ දෙසීම හා ඇසීම යන දෙකරුණු පිළිබඳ නොයෙක් ප්‍රශ්න ඇතිවී තිබේ.

වත්මන් විපරීත සමාජයේ සියල්ල මොහොතින් මොහොත වෙනස් වන විට යට කී දෙ කරුණ පමණක් වෙනස් නොවී පවතින්නේ කෙසේ දැයි යමකුට සිතෙන්නට හැකිය. වෙනස්වීම යහපතක් විය හැකි වුවත් එය අවරගනයට සිදුවීම නම් ඉවසිය නොහැකිය.

මේ අවරගනය කුමක්දැයි සෙවීම බෙහෙවින් කාලෝචිතය. අවරගනය නම් විකෘතියයි. ධර්මධර භික්‍ෂූන් වහන්සේ නිහඬව වැඩවාසය කරමින් සිටිනුයේ පිරුණූ කළයේ දිය නොසැලෙන සේය. ඒ බහුශ්‍රැත භික්‍ෂූන් වහන්සේ සුලබ මාධ්‍යයට නොපැමිණෙති. දුශ්ශීලයන් සමඟ සංවාද නොකරති. තම තමන් වහන්සේගේ මාවත අඩු තරමේ ‘අසේඛ’ නම් වූ මාවත බවට පත්කර ගැනීමේ නිරතව සිටිති. එහෙත් ජනපි‍්‍රයවීමට බොහෝ කැමැත්තෙන් පසුවන භික්‍ෂූන් වහන්සේ අර ‘අසේඛ’ නම් බුදුන් වහන්සේ පෙන්වා දුන් මාවතින් දුරස් වූ මාවතක ගමන් කරමින් සිටින බව පෙනේ. මෙය ඉතා බැරෑරුම් සේම වැඩි වශයෙන් සංවාදයට ලක් කළ යුතු මැයකි.

කුඩා ශ්‍රාවක කණ්ඩායමක් හමුවේ පවත්වන ධර්ම දේශනාව මහා සන්නිවේදන සම්ප්‍රදායට අයත් නොවූවද අතිශයින් පල දරන චූල සම්ප්‍රදායෝ සන්නිවේදන උපක්‍රමයකි.මේ ක්‍රමයෙන් සැලැසෙන වාසිය නම් පැන නගින ගැටලු සැණින් විසඳා ගැනීමේ ඇති ඉඩහසරයි. මුළුමනින්ම සජීවි දහම් හමුව නම් වූ මේ මහත් පලසහිත උපක්‍රමය දුරාතීතයේ සිටම පැවත එන්නකි. එයින් සිදුවූ සුගතියද ඉමහත්ය. එහෙත් සමාජ වෙනස්වීමට පර්යාව දේශකයාගෙන් ප්‍රමිතිය දුරස්වී, අග මුල හා විධිමත් බව පැටලී බොහෝ විට පැතිරී ඇති අතර ශ්‍රාවකයා ආසක්ත කැර ගැනීමේ ‘අලුත් උපක්‍රම ‘ සොයනු පෙනේ.

මේනිසා සිදුවන, ‘වැරැදි’ නිවැරැදි කිරීම ශාසනයේ පලිබෝධ දුරු කිරීමකි. ඒ පලිබෝධ දුරු කිරීමේ සමත් ක්‍රමවේදයන් වෙනුවට වත්මන් මාධ්‍යයන් ඔස්සේ සිදුවන්නේ වෙනත් දෙයකි.

පුද්ගල ප්‍රතිරූප ඒ සිදුවන්නා වු වෙනත් දේ අතර ප්‍රමුඛය. විශාල ප්‍රමාණයේ ඡායාරූප යොදාගනිමින් ඇතැම් පුවත්පත් වල පවා සාකච්ඡා කරන්නේ දහමේ පලිබෝධ හෝ ශාසනයේ පලිබෝධ දුරුකිරීමේ දහම් සාකච්ඡා නොවේ. එසේ නම් කළ යුත්තේ කුමක්ද?

මෙහිදී පිළිවෙත් දත් විනයානුකූලවම දිවි ගෙවන පණ්ඩිතරත්නයක් බඳු භික්‍ෂූන් වහන්සේ සිය ධර්මදේශනාවන් පද සෝධම්ම නම් වු සිකපදය අනුව යමින් ධර්ම දේශනා පවත්වමින් ධර්ම දේශනාවන්හි තත්ත්වය උසස් ප්‍රමිතියක් තබා ගැනීම ඉතා වැදගත්ය.

අපි මේ සිකපදය පහදා ගැනීමට උත්සාහ ගනිමු. “ යො පන භික්ඛු අනුපසාම්පන්නං

පදසො ධම්මං වාචෙය්‍ය පාචිත්තියං “

මේ ගාථා පාඨයෙන් කියැවෙන්නේ යම් මහණෙක් අනුපසම්පන්නයකු හට ධර්මය පද වශයෙන් එකට කීමෙන් පචිති වන බවයි. අනුපසම්පන්නය යනු භික්‍ෂුවකත් භික්‍ෂුණියකත් නොවන පුද්ගලයා හෝ පුද්ගලිකාවය . දේශකයාණන් වහන්සේ ඉදිරිපිට සිටිනුයේ මෙවැන්නෝය. දේශකයාණන් වහන්සේට අනුවදන් දෙන්නේද මොවුහුය. එසේය , ස්වාමීනි එසේයි කියන්නෝත් මොවුහුමය.

‘පචිති’ ඇතිවේ යැයි කියැවෙන්නේ වැටහෙන අරුතින් ගත් කල ‘වැරැද්දක් වනවා’ යන තේරුමයි. එනම් ඇවැත්වීමකි.

ධර්මය කොටස වශයෙන් කීම වනාහි පහදා ගැනීමට ප්‍රථම ධර්මය කුමක්දැයි හඳුනා ගැනීමද කවර විභේදන ස්වරූපයකදැයි අවබෝධ කර ගැනීමද බෙහෙවින් වැදගත්ය. කියවන ධර්මය කොටස් සතරකට දක්වා ඇත. ඒ, පදය , අනුපදය, අන්වක්කරය, අනුඛ්‍යඤ්ජනය වශයෙනි.

අනුවක්කරය යනු තනි අකුරය. ‘අනුඛ්‍යඤ්ජන ‘ යනු අක්‍ෂර සමූහයයි. අක්‍ෂර සමූහයෙන් සෑදෙන පදය වන්නේ ගාථා පාදයයි. එනම් පදයකි. ගාථාවකට පාද සතරකි. එහි පළමුවන පාදය පද නම් වෙයි. දෙවන පාදය හඳුන්වන්නේ අනුපද ලෙසය.

අපි උදාහරණයක් ගෙන බලමු.

මනෝ පුබ්බංගමා ධම්මා යනුවෙන් භික්‍ෂුන් වහන්සේ ගාථාවක් අරඹති. මේ ගාථාවේ පළමු වන පාදයයි. එනම් පදයයි. මේ පදය භික්‍ෂූන් වහන්සේ විසින් කියවනු ලබන විට අනුපසම්පන්නයාද ඒ පළමු පාදය එක්ව නොකියා, හෝ කියන්නට අසමත් වී හෝ දෙවන පාදය භික්‍ෂූන් වහන්සේ සමඟ ම එකවිට කියා අවසන් කෙරේ නම් ඒ භික්‍ෂුන් වහන්සේට ඇවැත් සිදුවේ. කොතරම්ද යත් ගාථාවේ අනුපද ගණනටය.

ධර්ම කොටසේ මුල් අකුර පමණක් භික්‍ෂු වහන්සේ හා එක්ව කියයි නම් එසේ කියවන අකුරු ගණනටත් ඇවැත් සිදුවේ.

එසේම භික්‍ෂුව කියන්නා වූ ගාථා පදයක් අනුපසම්පන්නයා හෝ ඒ අනුපසම්පන්න පිරිස ඉක්මන් වී ඒ ගාථා පාදයේ අග කොටස කියා සිටියහොත් එයින්ද භික්‍ෂුවට අත්වන්නේ පචිති වීමටය.

එසේ කියනවිටද භික්‍ෂුන් වහන්සේ අනුසම්පන්න පිරිසගේ ගාථා පාදයට අනුගතව එක්ව කියන්නේ නම් භික්‍ෂුන් වහන්සේට ඇවැත් වේ. ඇවැත්වීමත් පචිති වීමත් දෙආකාර වැරැදි වලට හසුවීම් බව අප මතක තබා ගත යුතුය.

ධර්මය කවර ආකාරදැයි අපි ඊළඟට සොයා බලමු. ‘බුද්ධභාෂිතයට’ අයත් වන්නේ විනය පිටකය, අභිධර්ම පිටකය, ධම්මපදය, චරියා පිටකය උදානය, ඉතිවුත්තකය ජාතකය සුත්තනිපාතය විමානවත්ථුය, පේතවත්ථුය , බ්‍රහ්මජාලාදී සූත්‍රයෝය.

(සුත්තනිපාතයේ එන්නේ පසේබුදුවරුන්ගේ ගාථාය)

‘සාවක භාෂිතයට අයත් වන්නේ බුද්ධ ශ්‍රාවකයන් විසින් ප්‍රකාශිත , අනංගණ , සම්මාදිට්ඨි අනුමාන චූලවේදල්ල, මහාවේදල්ල ආදී සූත්‍ර ධර්මයෝය. මෙහි අනංගණ හා සම්මාදිට්ඨාසී මහාවේදල්ල යන සූත්‍රයෝ සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් වදාරන ලදහ. අනුමාන සූත්‍රය මුගලන් තෙරුන් වහන්සේ වදාළහ. චූල වේදල්ල සූත්‍රය ධම්මදින්නා තෙරණියගේ දෙසුමකි. ඉසිහාසිතය යනු සසුනෙන් බැහැර පිරිවැජියන්නේ ප්‍රකාශයන්ය . ඔවුන් ඍෂිවරුය. මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයෝ පරිබ්‍රාජකය වර්ගය සූත්‍ර නිපාතයේ එන බාවජ තවුසාගේ අතවැසියන්ගේ ප්‍රශ්න ගාථා යනාදිය ඍෂීභාෂිත වෙති. ‘දේවභාෂිත ‘ යනු දේවතා සංයුක්ත දේවපුත්ත සංයුක්ත මාරසංයුත්ත , බ්‍රහ්ම සංයුත්ත යනාදියෙහි දැක්වෙන භාෂිතයියා වෙති.

මීට අමතරව අත්ථූපසංහිතය යනුවෙන් තවත් කොටසක් වෙයි. ඒවා පෙර පාලි භාෂාවෙන් ධර්ම සංගායනාවන්ට ඇතුළත් කළ අටුවාවන්ය. ධම්මූප සංහිතය යනු තුන්පිටකයෙහි පාලියෙන් එන ‘ මක්කට් වජ්ජිපුත්තාව ‘ යන ආදි සංගීති කාරකයන් තැබූ ධර්මයෝයි. තවත් කියන ලද කොටස් හයක් වු ධර්මය සංගීති තුනකටම නඟා බුද්ධ ධර්මය වශයෙන් තබා ඇත. මේවායින් කිනම් කොටසක් පමණක් වුවද අනුපසම්පන්නයන් හට එක්ව කියවීමෙන් භික්‍ෂූන් වහන්සේ අත්වන්නේ ඇවැතකි.

සංගායනාවන්ට නොගත් බුද්ධ ධර්මයක්ද පවතින බව අපි බොහෝ දෙනෙක් නොදනිමු. ඒවා කියැවීමෙන්ද භික්‍ෂූන් වහන්සේට ඇවැත් සිදුවේ.

කුලුම්බ සූත්‍රය, රාජෝවාද සූත්‍රය , තික්ඛීන්ද්‍රිය චතුපරිවට්ට , නන්දෝපනන්ද යන ඒවා ධර්ම සංගයනා නොකළ ධර්මයන් ලෙස අටුවාවේ සඳහන් වේ.

එසේ වුවත් වෙනත් භාෂාවන්ට හා ගාථාදියට නඟන ලද බුද්ධ ධර්මය ඛ්යැවීමෙන් භික්‍ෂූන් වහන්සේට කිසිදු අවැතක් සිදු නොවේ.

වත්මනේ පවතින දෙසුම් හා ඇසීම් පිළිබඳ විමැසීමේදී ඉහතින් දැක්වූ කාරණා ගිහි- පැවිදි දෙපිරිසටම අතිශයින් වැදගත් වන බව ඉඳුරාම පැවැසිය හැකිය.

භික්‍ෂූන් වහන්සේ ධර්ම දේශනාවට සර්ව සාධාරණය ඉෂ්ට සිද්ධ කරනු සේම ශ්‍රාවකයන් ද බණ දේශනාවන්හි ප්‍රමිතිය කෙරෙහි අවධානයෙන් සිටීම ද එකසේ වැදගත් නොවේද?

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]