UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ ආර්ථික ප්‍රතිපත්තිය වර්තමානයට ඉතා වැදගත්

පුද්ගල අසමානතාව ඉස්මතු වී සමාජ අසාධාරණයන් සිදුවීමත් සමඟ සමාජ සමානතාව ගොඩනැගීම වෙනුවෙන් ආගමික සංස්ථාවේ භූ®මිකාව සකස් වියයුත්තේ කෙසේද?

මෙහිදී බුදුදහම පිළිබඳවයි අපි අවධාරණය යොමු කරන්නේ. බුදුරජාණන් වහන්සේ පහළවනවිට ඉන්දියාවේ සමාජය තුළ පුද්ගල අසමානතාව තදින්ම පැවතුනා. බ්‍රහ්මණ ඉගැන්වීම් වලට අනුව එදා සමාජයේ ජීවත් වූ පුද්ගලයින් වර්ණ හතරකට බෙදා දැක්වූවා. ඒ බව වෛදික සාහිත්‍යයේ මේ ආකාරයට සඳහන් වෙනවා.


බ්‍රහ්මණාස්‍ය මුඛමාසිත්
බාහු රාජන්‍යඞ කෘතඞ
ඌරුතද්‍යසයත් වෛශ්‍ය්‍යඞ
පද්භ්‍යං ක්‍ෂුදෝ අජායත

මෙහි තේරුම වන්නේ ‘මහා බ්‍රහ්මයාගේ් මුඛයෙන් බ්‍රාහ්මණයාද දෑත්වලින් ක්ෂත්‍රියාද, කලවා වලින් වෛශ්‍යයාද යටිපතුල් වලින් ශ්‍රැද්‍රයා ද ඉපදී ඇත’ යන්නයි. මේ අනුව සමාජයේ බ්‍රාහ්මණ පිරිස සියලු සැප සම්පත් වරප්‍රසාද විඳිමින් ජීවත් වුණා. ක්ෂත්‍රිය පිරිස රට පාලනය කළා. වෙළෙඳාම් කටයුතු කළේ වෛශ්‍ය පිරිසයි. යටිපතුල් වලින් උපන්නා යැයි කියන ශ්‍රැද්‍ර පිරිස ජීවිත කාලය පුරාම අනුන්ට බැල මෙහෙවර කළා. ඒ වගේම මිනිසාගේ මෙලොව පහළවීමට ව්‍යාජ දේවත්වයක් ආරෝපණය කර සමාජ විෂමතාවයක් ඇතිවන ලෙසින් ඔවුන් කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ තම දේශනා තුළින් මිනිසුන් මෙසේ බෙදා වෙන් කිරීම අයුක්ති සහගත බවත් එහි කිසිම පදනමක් නැති බවත් තර්කානුකූ®ලව පෙන්වා දුන්නා.

මජ්ඣිම නිකායේ දී ‘එවං සතේත ඉමේ චත්තාරො වණ්ණා’ යනුවෙන වර්ණ හතරකට වෙන්කළ මේ මිනිස් පරපුර එකම පිරිසක් බව අවධාරණය කළා. වැඩිදුරටත් දීඝ නිකායේ අම්බටිඨක සූත්‍රයේ ආදී දේශනා වලදී ඓතිහාසිකව ජීව විද්‍යාත්මකව, ආචාර විද්‍යාත්මකව, හා සමාජ විද්‍යාත්මකව බැලුවත් දේශපාලනික හා ආගමික වශයෙන් බැලුවත් මිනිස් පරපුරේ වෙනසක් දැකිය නොහැකි බව දේශනා කළා.

භෞතික දිළිඳුකමේ හා අධ්‍යාත්මික දිළිඳුකමේ යම් සබැඳියාවක් ඔබ වහන්සේ දකිනවාද?

අනීවාර්යයෙන්ම. රාහුලෝවාද සූත්‍රයේදී ‘එකනාමකිං? සබ්බේ සත්තා ආහරට්ඨිතා’ යනුවෙන් දේශනා කර ඇති ආකාරය අනුව සත්ත්වයන්ගේ් පළමුවැනි අවශ්‍යතාව ආහාර ලබා ගැනීමයි. එය ආර්ථිකයේ මූලික සාධකයක්. බෞද්ධ අර්ථිකය ගොඩනැගී ඇති මූලික සාධක හතරක් වනවා. චීවර (ඇඳුම්) පිණ්ඩපාත (ආහාර) සේනාසන (නිවාස), ගිලානපච්චය (බෙහෙත්)

මෙම අවශ්‍යතා හතර ලෝකයේ ජීවත්වන ඕනෑම කෙනෙකුට අඩුවැඩි වශයෙන් අවශ්‍ය වෙනවා. එම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වූ විට සමාජය තුළ අධ්‍යාත්මික පිරිහීමක් ඇතිවෙනවා. සොරකම, අපරාධ, මිනීමැරුම්, බොරුව, වංචාව ආර්ථික පිරිහීමට ඉවහල් වන බව මේ අනුව බුදුදහමේ පැහැදිලිව දක්වා තිබෙනවා.

අධ්‍යාත්මික දිළිඳුභාවය තුරන් නොකොට භෞතික වශයෙන් පමණක් සංවර්ධනය වීම කොතෙක් දුර ප්‍රායෝගිකද?

ආර්ථික සංවර්ධනය පමණක් වැදගත් ලෙස බුදුසමයේ දක්වා නෑ. කෙරෙන ඕනෑම සංවර්ධනයක් ධාර්මික විය යුතුයි. ආර්ථිකය විද්‍යාවක් ලෙස දියුණුවන විට එහි ආචාරවිද්‍යාත්මක පදනමක් බටහිර උගතුන් දැක්කේ නෑ. එහෙත් මීට ශත වර්ෂ 25කට පමණ පෙර දේශනාකරන ලද බුද්ධ වචනයේ ආර්ථිකයට ආචාර විද්‍යාත්මක හා ගුණාත්මක හික්මීමක් තිබිය යුතු බව පැහැදිලිව දක්වා තිබෙනවා...


න අත්ත හේතු න පරස්ස හේතු
න පුත්ත මච්චියේ නධතං නරටිඨං
න එජෙය්‍ය අධමේන සමද්ධිමිත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා

‘තමන්ගේ හෝ අනුන්ගේ යහපත සඳහා පව් නොකරන්න. පුතුන් ධනය හෝ රටක් නොපතන්න. අධර්මයෙන් තමාගේ සමෘද්ධිය නොපතන්න. සිල්වත්ව නැණවත්ව දැහැමිව ජීවත්වන්න යන්න ධම්ම පදයේ සඳහන් එම ගාථාවේ අර්ථයයි.

බාහිර වශයෙන් ලබන ආර්ථිත දියුණුව පමණක් රටකත පැවැත්මට කිසිසේත් ඉවහල් නොවන බව බුදුදහම තුළින් මැනවින් පෙන්වා දී තිබෙනවා. මේ බව අමතක කර ඇති වර්තමාන ලෝකයේ බොහෝ රටවල් ආර්ථිකය පමණක් දියුණු කර ගැනීමට උත්සාහ ගැනීම නිසා සමාජ අර්බුද රාශියක් ඇති වී තිබෙන බව පෙනෙනවා.

විශේෂයෙන් බටහිර රටවල අතිශය දියුණු ආර්ථිකයක් බාහිරින් පෙනුනත් මිනිස් සිත් සතන් තුළ සහනයක් සැනසිල්ලක් නොමැති බව ප්‍රකට කරුණක්. යාන්ත්‍රික ලෙස ධනය සොයන්නටම දිවා රාත්‍රී ක්‍රියා කරනවා මිස සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට ඔවුන් උනන්දු වන්නේ් නෑ. වැඩිහිටියන්ට සැලකීම දුක සැප බෙදා ගැනීම, ඔවුනොවුන්ට උපකාරි වීම, අනුකම්පාව, ආදරය, කරුණාව ආදී උතුම් මිනිස් ගුණාංග යාන්ත්‍රික සමාජය තුළ දකින්ට නෑ. පවුල් පදනම දෙදරා යාමට මෙය ඉවහල් වී තිබෙනවා. එබැවින් මානසික සහනය ඇතිකර ගැනීමට නම් සමබර ආර්ථිකයක් ඇතිකළ යුතුයි. එයට මනා මඟ පෙන්වීමක් බුදුදහමෙන් ලබාදී තිබෙනවා.

බුදුදහමේ පුද්ගල සමෘද්ධිය විග්‍රහ කර ඇත්තේ කවර ආකාරයකටද?

රටක සමෘද්ධිය හෝ පුද්ගල සමෘද්ධිය ඉබේ ඇතිවන්නක් නොවෙයි. ඒ සඳහා දැහැමිව උත්සාහවන්ත විය යුතු බව බුදුදහම පෙන්වා දෙනවා. ඒ බව අංගුත්තර නිකායේ මෙසේ දක්වා තිබෙනවා.

උට්ඨාන වීර්යය මුල්කර ගෙන දෑත් දෙක වෙහෙසවා දහඩිය වගුරුවා දැහැමින් උපයන ලද ධනයෙන් තමා සැපවත් වන්න. සතුටුවන්න. හොඳින් සැප විඳින්න. තම දෙමාපියන්ද අඹුදරුවන්ද සැපවත්කරන්න. පින්කරන්න’

එහෙත් අනුන්ගෙන් යමක් නොමිලේ ලබාගෙන ජීවත්වීම බුදුදහම මෙහිදී වැදගත් ලෙස දක්වා නෑ. පුද්ගල ධෛර්යය හා කැපවීම ඉතා උසස් ලෙස මෙහිදී සලකා තිබෙනවා. අපේ රටේ අද ජීවත්වන ජනතාවට මේ බුද්ධ වචනය කොතරම් දුරට ප්‍රායෝගිකව තමාගේ් ජීවිතයට ඉවහල් කරගත හැකි දැයි ඔබ ඔබෙන්ම විමසා බලන්න. බුද්ධ වචනය අකාලික ගුණයෙන් යුක්ත යැයි දේශනා කර ඇත්තේ කාල දේශ භේදයක් නොමැතිව එය සැමදාමත් ලෝකයාට ප්‍රායෝගිකව ගළපා ගත හැකි දහමක් වන නිසයි.

ලංකාවේ මුල් බැස තිබෙන භෞතික හා අධ්‍යාත්මික දිළිඳුකමෙන් ජය ගැනීම සඳහා බුදුදහම ප්‍රායෝගිකව ඉවහල් කරගත යුත්තේ් කුමන ආකාරයකටද?

අද අපේ රටේ තිබෙන බොහොමයක් ගැටලු වලට එක් ප්‍රධාන ;හ්තුවක් නම් දුප්පත්කමයි. මේ නිසාම රජය සමෘද්ධි අධිකාරිය නමින් දුප්පත්කම නැති කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කොට තිබෙනවා. රටක භෞතික දියුණුව හා අධ්‍යාත්මික දියුණුව ඇති කිරීමට නම් රටේ පාලකයන් ඒ සඳහා පියවර ගත යුතු බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ බව කූටදත්ත සූත්‍රයේ මේ ආකාරයට සඳහන්.

යො භොතො රඤේඤො ජනපදෙ උස්සහන්ති කසී ගොරක්චේ. තෙසං භවං රාජා බිජභත්තම අනුප්පදේතු...

මෙහි අර්ථය වන්නේ ‘පින්වත් රජතුමනි ඔබගේ රාජ්‍යයේ යම් දුප්පත් අයෙක් ගොවිතැනට හෝ සත්ත්ව පාලනයට උත්සාහවන්ත වෙයිද ඔවුන්ට බීජ හා මූලධනය දෙනු මැනවි. යම් කෙනෙක් වෙළෙඳාමට උත්සාහවන්ත වෙයිද ඔහුට මූලධනය දෙනු මැනවි. රජයේ රැකියා අපේක්ෂා කරන්නේ නම් සුදුසු පරිදි රැකියා ලබාදී වැටුප් ගෙවනු මැනවි. එවිට ඔබේ රටේ ජනතාව ජීවත් වීමට අදායම් උපයා ගෙන අඹුදරුවන් සමඟ සතුටින් ජීවත්වනු ඇත. එසේම ඔබගේ භාණ්ඩාගාරයද පිරීයනු ඇත.

මේ අනුව තම රටේ ජනතාවගේ නැතිබැරිකම හඳුනාගෙන ඔවුන් එයින් අත්මුදවා රටට ඵලදායක පිරිසක් බවට පත්කළ යුතු ආකාරය බුදු දහමින් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. සියවස් 25 කට පෙර දේශනා කළ මේ බුද්ධ වචනය ගිනි ගෙන දැවෙන අද ලෝකයට කෙතරම් දුරට ප්‍රායෝගික ලෙස ගලපා ගත හැකිදැයි බුද්ධිමත් සියලු දෙනාම වටහා ගත යුතුයි.

රටක දියුණුව යනු එහි භෞතික දියුණුව පමණක් නොවේ. අධ්‍යාත්මික දියුණුවද එහි අනිවාර්යය අංගයක් ලෙස පැවතිය යුතු යැයි බුදුසමය හැමවිටම පෙන්වා දී තිබෙනවා.

සාකච්ඡාවකින් සකස් කැරිණ.

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]