UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ චරිතයෙන් ඒකාලෝක වූ නායකත්ව ලක්ෂණ

බුද්ධ චරිතය තුළ කැපී පෙනෙන ප්‍රධාන නායකත්ව ලක්ෂණය නම් ආදර්ශ සම්පන්නභාවයයි. ප්‍රසිද්ධියේ එක් ජීවිතයකුත් අප්‍රසිද්ධියේ ඊට හාත්පසින් ම වෙනස් ජීවිතයකුත් බුදුන් වහන්සේ ගත නොකළහ. දැඩි දුෂ්කරතා පැවැති අවස්ථාවකවත් මෙම ගුණයෙන් බැහැර නොවූහ.

බුදු හිමියෝ තම හැසිරීම නිසා චරිතය කිළිටි කර ගත් කිසිදු අවස්ථාවක් නැත. වැරැදි හැසිරීමක් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ දක්නට නොලැබිණ.

එවැනි කිසියම් දුර්වලතාවක් ඇත්නම් පෙන්වා දෙන ලෙස භික්ෂූන්ට ආරාධනා කළ අවස්ථාවේ දී සැරියුත් හිමියෝ ප්‍රකාශ කළේ බුද්ධ චරිතයේ කිසිදු දුර්වලතාවක් නැති බවයි.

කියන ආකාරයටම කරන, කරන ආකාරයට ම කියන ගුණය යථාවාදී තථාකාරි ගුණයයි. වර්ණ භේදය නොසැලකිය යුතු බව දේශනා කළ උන්වහන්සේ පැවිදි කිරීමේ දී හෝ තනතුරු ප්‍රදානය කිරීමේදී වර්ණ භේදය නොසැලකූ®හ. භික්ෂූන් වහන්සේ විසින් අනුගමනය කළ යුතුයැයි ප්‍රකාශිත සෑම විනය නීතියක් ම උන්වහන්සේ ද අනුගමනය කළහ.

එය විශිෂ්ට නායකත්ව ලක්ෂණයකි. ඤාතිත්වය හිත මිතුරු බව ධනය බලය කුලය සැලකිල්ලට ගනිමින් අනුගාමිකයින්ට එක එක් ආකාරයෙන් සැලකීම බුද්ධ චරිතය තුළ දක්නට නැත.

කවර පුද්ගලයකු වුවද බුදු සසුනෙහි පැවිදි වී නම් ඔහු බෞද්ධ භික්ෂුවන් පමණි. බෞද්ධ භික්ෂූන් ලෙස සියල්ලන් විසින් පිළිපැදිය යුතු විනය නීති බුදු හිමියෝ ද එ අයුරින් ම අනුගමනය කළහ.

මේ බුද්ධ චරිතය තුළ දක්නට ඇති සමානාත්මතාවයි.

ශාරීරික ව ඇති වන පීඩා මෙන් ම මානසික ව ඇති වන පීඩා ඉදිරියේ කම්පා නොවී එම පීඩා විඳ දරාගැනීමේ හැකියාව ඉවසීමයි.

බුද්ධ චරිතය තුළ මෙම ගුණය කැපී පෙනේ. තමන් වහන්සේට වැලඳුන දරුණු රෝග පීඩා අකම්පිත ව විඳ දරා ගත්හ. එසේ ම චිංචිමානවිකාව, සුන්දරි පරිබ්‍රාජිකාව උපයෝගි කර ගනිමින් අන්‍යාගමිකයින් කළ උපහාසවල දීද අකම්පිත ව ඉවසීමෙන් ක්‍රියා කළහ. කවර වූ හෝ සිදුවීමක දී සමබර මානසිකත්වයෙන් නොමිදුනහ.

ගිලන් ව අසරණ ව සිටි පූතිගත්ත තිස්ස හිමියන්ට බුදු හිමියෝ ම උවටැන් කළහ. දේශයට හා කාලයට ඔරොත්තු නොදෙන ඇතැම් ශික්ෂා පද වෙනස් කළහ. මෙම ලක්ෂණය සානුකම්පිත වීම යනුවෙන් අදහස් කෙරේ.

අනුගාමිකයින් ආරක්ෂා කර ගැනීම, ජනතාවගෙන් චෝදනා එල්ල වන විට නව ශික්ෂා පද පැනවීම, බොරු චෝදනා එල්ල වන විට නිහඬ ව නොසිට සත්‍යය පැහැදිලි කර දීම එවැනි අවස්ථාවල දී බුදු හිමියන්ගේ සානුකම්පිත බව ප්‍රදර්ශනය විය.

ස්වකීය දක්ෂතාව පමණක් සෑම අවස්ථාවක දී ම හුවා දැක්වීම නිවැරැදි නායකත්ව ලක්ෂණයක් නොවේ.

නිවැරැදි නායකයා සැමවිට ම තම අනුගාමිකයින්ගේ දක්ෂතා මෙන් ම ඔවුන්ගේ සේවය ද අගය කරයි.

බුදු හිමියෝ සිය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ දක්ෂතා මෙන් ම සේවය ද අගය කරමින් සුදුසු තනතුරු ප්‍රදානය කළහ.

නිකරුනේ කාලය ගත නොකරමින් භික්ෂු පිරිසකට දහම් දෙසූ නන්දක භික්ෂුවට ප්‍රශංසා කළහ.

සැරියුත් මුගලන් දෙනම තම මව සහ කිරි මව ලෙස සලකා ළඟින් ඇසුරු කරන ලෙසට භික්ෂූන්ට උපදෙස් දුන්හ.

ආනන්ද හිමියන්ගේ දක්ෂතාව අගය කළහ.

නිවැරැදි නායකයා තම අනුගාමික පිරිසට මඟ පෙන්වමින් ක්‍රියා කරන අතර ඔවුන්ගෙන් ප්‍රදර්ශනය වන සුවිශේෂ දක්ෂතා අගයමින් උපරිම සේවාවක් සමාජයට ලබාදෙයි.

තම අනුගාමිකයින්ගේ දුර්වලතා දුටු විටෙක නිහඬ වීම හෝ කෝපවීම නිවැරැදි නායකත්ව ලක්ෂණයක් නොවේ. කාරුණික ව වරද පෙන්වා දී සුමගට යොමු කළ යුතුය. බුද්ධ චරිතයේ මෙම ලක්ෂණය ද කැපී පෙනේ. ඝෝෂාකාරී ලෙස ආරාමයෙහි හැසිරුණු තරුණ භික්ෂු පිරිසක් වහා ම ආරාමයෙන් ඉවත් කළහ.

වරද තේරුම් ගත් භික්ෂූ පිරිස නැවත බුදු හිමියන් හමු වූ විට කාරුණික ව වරද පෙන්වා දී සුමගට යොමු කළහ. නන්ද තෙරුණුවන් ඛේමා බිසව වැනි අය උපක්‍රමශීලි ලෙස සුමගට හැරවූහ. දුර්වලතා දුටු විටෙක සාධාරණ හේතු රහිත ව අනුගාමිකයින් පලවා හැරීම බුද්ධ චරිතයෙහි දක්නට නොලැබේ. අනුන්ට ඇහුම්කන් දීම නිවැරැදි නායකත්ව ලක්ෂණයකි. නිවැරැදි නායකයා අනෙක් අයගේ අදහස් වලට හොඳීන් සවන් දී වෙනස් කළ යුතු දේ උචිත පරිදි වෙනස් කරයි.

භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම මත විනය නීති කීප වතාවක් ම වෙනස් කර තිබේ. සුදොවුන් මහ රජතුමාගේ ඉල්ලීමකට අනුව දෙමාපිය භාරකරුවන්ගේ අවසරය නොමැති ව දරුවන් පැවිදි නොකරන ලෙසට උපදෙස් දී තිබේ.

වැසි කල දළු ලමින් වැඩෙන තණ කොළ පාගමින් ගමන් ගන්නා භික්ෂූන්ගේ එම ක්‍රියාවට විරුද්ධව ප්‍රබල මහජන මතයක් ගොඩ නැඟුන නිසා ඊට සවන් දුන් බුදු හිමියෝ වැසි කල එක් විහාරස්ථානයක වස් වසන ලෙසට නියම කළහ. මේ සියලු සිදුවීම් වලින් ප්‍රදර්ශනය වන්නේ බුදු හිමියන් තුළ පැවති නම්‍යශීලී ගුණයයි.

ගැටලු පැන නැගුන විටෙක ගැටලුවත්, ගැටලුවට හේතුන් විමර්ශනාත්මක ව සොයා බලා නිවැරැදි තීරණ ගැනීමේ හැකියාව නායකයකු සතු විය යුතු ය. ගැටලුවක දී බියපත් වීම හෝ පලා යෑම නිවැරැදි නායකත්ව ලක්ෂණයක් නොවේ.

බුදු හිමියන්ට හෝ ශ්‍රාවකයින්ට චෝදනා එල්ල වූ කිසිදු විටෙක බුදු හිමියෝ බිය නොවූහ. කලබල නොවූහ. පලා නොගියහ. සුදුසු ම තීරණයට එකඟව ක්‍රියා කළහ. නිවැරැදි තීරණ ගැනීමට නම් නිවැරැදි දර්ශනයක් තිබීම අත්‍යවශ්‍ය ය.

බුදු දහම නිවැරැදි දර්ශනයකි එහෙයින් බුදු හිමියන්ගේ තීරණවල ස්වල්ප වූ හෝ සාවද්‍ය බවක් දක්නට නොලැබිණ.

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]