සිව්සස් දෙසුමෙන් හෙළිවන
නිවන් මඟ
වස්කඩුව ශ්‍රී ශාක්‍යමුනි විහාරාධිපති
ආචාර්ය
පරගොඩ විමලවංස හිමි
බුදුදහමේ ඉගැන්වෙන මූලික ඉගැන්වීම් අතරින් ප්‍රධානතම ඉගැන්වීම වන්නේ
චතුරාර්ය සත්‍යය දේශනයයි. බුදුරදුන් තම මංගල ධර්ම දේශනාවේදීම ලොවට
හෙළිකළ මෙම ආර්ය සත්‍ය දර්ශනය, හේතුඵල පිළිවෙළින් දතහැකි සසර දුක්
සියල්ල මුලුසුන් කොට නිවනට පැමිණිය හැකි සුවිශේෂතම ධර්ම මාර්ගය වේ. සෑම
සූත්‍ර දේශනාවක්ම, සෑම ගාථා දේශනාවක්ම චතුරාර්ය සත්‍ය දර්ශනය පදනම්
කරගත් දේශනා වේ. ලෝකයේ ඇතිතාක් දර්ශන හා ඉගැන්වීම් අතරින් ශ්‍රේෂ්ඨතම
ඉගැන්වීම මෙන්ම දර්ශනය ද වන්නේ මෙම ආර්ය සත්‍ය දර්ශනයයි.
ආර්ය සත්‍ය යනු කුමක්ද?
අර්ය යනු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ය. එම උත්තමයන් විසින් අවබෝධ
කළ හෙයින් මෙම දේශනය ‘ආර්ය සත්‍යය’ ලෙස සැලකේ. පෘථග්ජන භාවය ඉක්මවා
සෝවාන් ආදී ආර්ය භාවයට පමුණුවන නිසා ද ආර්ය සත්‍ය ලෙස මෙම දේශනය සැලකේ.
සිව්වැදෑරිම් මෙම ආර්ය සත්‍යයන්ට අමුතුවෙන් එකතු කළයුතු වෙනත් සත්‍යයක්
ලෝකයේ නැත. එමෙන්ම, අසත්‍යයයි කියා ඉවත් කළයුතු යමක් ද මෙම සත්‍ය සතර
අතර නැත. ඒ අනුව, සත්‍ය සතරෙහි අඩුවකුත් නැත. වැඩියකුත් නැත. ඒ
හැරුණුවිට, සාමාන්‍යයෙන් ලෝකයේ පවත්නා ධර්මයන්ගේ ලක්‍ෂණ 4 ක් තිබේ.
පවත්ති, පවත්තක, නිවත්ති, නිවත්තක යනු එම ධර්ම හතරයි. එනම් යමක්
පැවතීම, පැවතීමට හේතුව, නැවතීම හා නැවැතීමේ මාර්ගය යනුයි. පැවතීම හා
නැවතීම යන දෙකට මේ සතර මුල්වන බැවින් සත්‍ය සතරකට වඩා අඩු හෝ වැඩිවිය
නොහැකි ය. බුදුරදුන් සත්‍ය සතරක්ම දේශනා කළේ එනිසා ය.
1. දුක්ඛ ආර්ය සත්‍යය
දම්සක් පැවතුම් සූත්‍රයේ දී දුක්ඛ ආර්ය සත්‍යය යනු කුමක්දැයි බුදුරදුන්
පැහැදිලි කරන්නේ මෙසේ ය.
“ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා
ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි
විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තේන
පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”
මෙයින් අදහස් කෙරෙන්නේ ඉපදීම, ජරාව, ව්‍යාධිය, මරණය, අපි‍්‍රයන් හා
එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දෑ නොලැබීම සහ සැකෙවින් පංච
උපාදානස්ඛන්ධය දුක් බවයි. මීට අමතරව සච්ච විභංග සූත්‍රය, සතිපට්ඨාන
සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස හා උපායාස
යනුවෙන් දුක් රැසක් ද දුක්ඛ සත්‍යය යටතේ දක්වා ඇත. ඒ අනුව, දුක්ඛ
සත්‍යය යටතේ ‘දුක’ තෙලෙස් අයුරකින් විග්‍රහ වන අතර ඇතැම් සූත්‍ර
දේශනාවල ව්‍යාධි දුක වෙනම නොදක්වා ‘දුක’ දොළොස් ආකාරයකට වර්ගීකරණය කර
තිබේ. විශේෂයෙන්ම, ආර්ය සත්‍ය පිළිබඳ පුළුල් විස්තරයක් දැක්වෙන
සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන්නේ එකී දොළොස් ආකාර දුකයි. අභිධර්ම දේශනාවල
දැක්වෙන්නේ ද එසේම ය.
මෙහි දැක්වෙන ව්‍යාධි දුක්ඛය මිනිස් ලෝකයේ ඉතා ප්‍රකටය. සෝක පරිදේව
ආදිය ද ඇතුළත් වන්නේ එයටමය. එබැවින්, ව්‍යාධි දුක්ඛය සඳහන් තැන්හී සෝක
පරිදේව ආදිය වෙනම දක්වා නැත.
දුක්ඛය යනු කුමක්ද?
මෙහි ‘දු’ යනු පිළිකුල් කටයුතු නින්දා කටයුතු යන අර්ථයෙහි යෙදේ. ‘ඛ’
යනු හිස් හරයක් නැති යන අර්ථයෙහි යෙදේ. ඒ අනුව ‘දුක්ඛ’ යනු පිළිකුල්
කටයුතු නින්දා සහගත හිස් දෙයක් ලෙස සලකා විස්තර කෙරෙන්නක් වේ. මෙම
දුක්ඛයෙහි ප්‍රධාන ලක්‍ෂණ 4 ක් තිබේ. එනම්,
1. පීඩාකාරී බව (පීළනාර්ථය)
2. ප්‍රත්‍යසමුප්පන්න බව (සංඛතාර්ථය)
3. සන්තාපීබව (සන්තාපාර්ථය)
4. විපරිනාමීබව (විපරිණාමාර්ථය)
ආර්ය සත්‍ය දේශනාවේ දී බුදුරදුන් මෙම දුක්ඛය මුලින් දේශනා කරන ලද්දේ
සියලු සත්ත්වයන්ට එය සාධාරණ නිසාත්, පහසුවෙන් අවබෝධ කළ හැකි නිසාත් ය.
මෙම දුක්ඛයට තෘෂ්ණාවත්, අනාශ්‍රව ධර්මත් හැර ඉතිරි සියලු තෛ‍්‍රභූමික
ධර්ම අයත් වේ. මෙය උපමා වශයෙන් බරක් වැනි ය. රෝගයක් වැනි ය.
දුර්භික්‍ෂයක් වැනි ය. සතුරෙක් වැනි ය. විෂ රුකක් වැනි ය. දුක්ඛය සසර
පැවැත්ම අනුව ඒකවිධ වේ. නාම රූප වශයෙන් ද්වවිධ වේ. කාම රූප අරූප වශයෙන්
ත්‍රිවිධ වේ. ආහාර වශයෙන් චතුර්විධ වේ. ස්කන්ධ වශයෙන් පංචවිධ වේ. මෙම
දුක්ඛය ඇතැම් තැන්හී වර්ගීකරණය කොට දක්වා ඇත.
කායික හා චෛතසික දුක්ඛ වේදනා ‘දුක්ඛ දුක’ ලෙස ද, විපර්යාසයන්ට භාජනය
වීම නිසා ඇතිවන දුක ‘විපරිනාම දුක’ ලෙස ද, අරමුණු අල්ලා ගැනීම, ග්‍රහණය
කර ගැනීම නිසා ඇතිවන දුක ‘සංස්කාර දුක’ ලෙස ද, සැලකේ. විවිධාකාරයෙන්
විග්‍රහ කොට ඇති මෙම දුක සෑම පුද්ගලයෙකුගේ ම ජීවිතයේ අස්සක් මුල්ලක්
නෑර විසිර පවතී.
2 දුක්ඛ සමුදය ආර්ය සත්‍යය
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යටතේ පැහැදිලි කෙරෙන්නේ, දුකට හේතුව කුමක්ද
යන්නයි. ඒ පිළිබඳව බුදුරදුන් දම්සක් පැවතුම් සූත්‍රයේ දී පෙන්වා දී
ඇත්තේ මෙසේ ය.
“ඉදං ඛෝ පන භික්‍ඛවේ, දුක්ඛසමුදයං අරියසච්චං, යායං තණ්හා ;පීනෝභවිකා
නන්දිරාග සහගතා තත්‍රතත්‍රාහනන්දිනී, සෙය්‍යථිදං, කාමතණ්හා භවතණ්හා
විභවතණ්හා,
මෙයින් අදහස් කෙරෙන්නේ, නැවත නැවත භවය ඇති කරන්නා වූ නන්දිරාගය හා එක්ව
යෙදුනු ඒ ඒ ආත්මභාවයන් මහත් අභිරුචියෙන් පිළිගන්නා ස්වභාවයෙන් යුත් කාම
තෘෂ්ණාව, භව තෘෂ්ණාව හා විභව තෘෂ්ණාව යන ත්‍රිවිධ තෘෂ්ණාව දුක්ඛ
සමුදයාර්ය සත්‍ය බවයි.
සමුදය යන්නෙහි අර්ථය
සං + උ+ අය යන කොටස් තුන එකතු වී සැදී ඇති සමුදය යන්නෙහි ‘සං’ යන්නෙන්
එක්කිරීම යන අර්ථයද ‘උ’ යන්නෙන් හට ගැනීම යන අර්ථයද ‘අය’ යන්නෙන් හේතුව
යන අර්ථය ද ජනිත කරයි. මේ අනුව ‘සමුදය’ යනු අන්‍ය හේතු ප්‍රත්‍යයන් ගේ
එක්වීමක්, යෙදීමක් ඇති කල්හී එය දුකෙහි ඉපදීමට හේතුවන බවයි. එබැවින්,
එකී ලක්‍ෂණවලින් යුක්ත තෘෂ්ණාව පිළිබඳ සත්‍යය දුක්ඛ සමුදයාර්ය සත්‍යය
ලෙස සැලකේ.
3 දුක්ඛ නිරෝධාර්ය සත්‍යය
මෙම ආර්ය සත්‍යයෙන් පැහැදිලි කෙරෙන්නේ, දුක නැති කරන ආකාරයයි. එය
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී පැහැදිලි කෙරෙන්නේ මෙසේ ය.
“ඉදං ඛෝ පන භික්‍ඛවේ, දුක්ඛනිරෝධං අරියසච්චං, යෝ තස්සායේව තණ්හාය
අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ”
මෙයින් අදහස් කෙරෙන්නේ, ඒ තෘෂ්ණාවේ යම් නිරවශේෂයෙන් නොඇලීම සංඛ්‍යාත
නිරෝධයෙක්, දුරලීමෙක්, අත්හැරීමෙක්, මිදීමෙක් නොඇලීමෙක්, වේද එය දුක්ඛ
නිරෝධාර්ය සත්‍යය බවයි.
නිරෝධ යන වචනයේ අර්ථය
නිරෝධ යන වචනය සෑදී ඇත්තේ ‘නි + රෝධ’ යන කොටස් දෙක එකතු වීමෙනි. එහි
‘නි’ යන්නෙන් නැතිබව යන හඟවන අතර ‘රෝධ’ යන්නෙන් දුක නමැති හිරගෙය නැති
කිරීමට උපකාර වන අරමුණ යන අර්ථය ලබා දේ. ඒ අනුව සංසාරයේ පැවැත්මට
ප්‍රතිපක්‍ෂ වූ අරමුණ නිරෝධ නම් වේ. එනම් තෘෂ්ණාව නැති කිරීමෙන් ලබන
ශාන්ත ස්වභාවයයි.
4 දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යය
දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍ය යනු දුක නැති කිරීමේ
ප්‍රතිපදාවයි. එය කුමක්දැයි බුදුරදුන් සිය මංගල ධර්ම දේශනයේදීම
පැහැදිලි කරනු ලැබුවේ මෙසේ ය.
“ඉදං ඛෝ පන භික්‍ඛවේ, දුක්ඛනිරෝධගාමිණී පටිපදා අරියසච්චං, අයමේව අරියෝ
අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථිදං, සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මා වාචා,
සම්මාකම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මාවායාමො, සම්මාසති, සම්මා සමාධි.”
මෙහි දළ අදහස වන්නේ, සම්මාදිට්ඨි සම්මාසංකප්ප ආදී ආර්ය මාර්ග අංග අට
පිළිපැදීම දුක නැති කිරීමේ ප්‍රතිපදාව බවයි.
නිවන් දැකීමට අනුගමනය කළ යුතු ප්‍රතිපදා මාර්ගය වන්නේ, මෙම ආර්ය
අෂ්ටාංගික මාර්ගයයි. අධික ලෙස කම්සැප විඳීම නම් වූ
කාමසුඛල්ලිකානුයෝගයෙන් ද, අධික ලෙස දුක්පීඩා විඳීම නම් වූ
අත්තකිලමථානුයෝගයෙන් ද වැළකී ශාස්වත උච්ඡේදවාදයන්ට නොවැටී මෙම මඟෙහි
ගමන් කිරීමෙන් නිවන් අවබෝධ කොට ගත හැකි ය. එකී අන්ත දෙකට නොවැටී
මධ්‍යස්ථව පිරියයුතු ප්‍රතිපදාවක් බැවින් මෙය “මධ්‍යම ප්‍රතිපදාව“ ලෙස
ද සැලකේ. මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෙන්වා දෙන්නේ, ශීල සමාධි
ප්‍රඥා යන ත්‍රිශික්‍ෂණය ඔස්සේ පුද්ගල ජීවිතය මෙහෙයවා සසර දුකින්
අත්මිදිය හැකි පිළිවෙතයි. |