[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සරු දිවියක සුපසන් මඟ

සරු දිවියක සුපසන් මඟ

නොවිමසා, නොසිතා කටයුතු කරන්නා දියුණු නොවන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. කල්පනා ශක්තිය යෙදවීමක් නැති ව අවිචාරවත් ලෙස ක්‍රියා කරන්නා දෙලොවින් ම පිරිහෙයි. එය පැවිදි වුවහොත් රහත් වීමටත්, නිසි සේ ගිහි ජීවිතය ගත කළේ නම් මහසිටු වීමටත් වාසනාව තිබිය දී නොනිසි ලෙස ක්‍රියා කොට සිඟන්නකු බවට පත් වූ රජගහනුවර සිටාණන්ගේ කතාවෙන් පැහැදිලි වේ.

දක්ෂතාව ඇතිවන්නේ ඒ පිළිබඳ ඇති ඇල්ම, දැනුම, ක්‍රියා කෞශල්‍ය ආදී කරුණු පදනම් කරගෙන ය. ලෝකයේ ඇතැම් අය උත්පත්තියෙන් ම යම් යම් දේට දක්ෂ වෙති. සංසාර පුරුද්ද එයට හේතුව යැයි සිතිය හැකි ය. එසේ නොමැති වුවත් අධිෂ්ඨාන ශක්තියක් ඇති පුද්ගලයාට ඒ ඒ ක්‍රියා කෙරෙහි දක්ෂකමක් ඇති කරගත හැකි ය. මිනිසා තුළ ඇති ක්‍රියා ශක්තිය ඉතා විශාල ය. එහෙත් බොහෝ දෙනා එයින් ප්‍රයෝජන ගන්නේ ඉතා අල්ප වශයෙනි. තමා තුළ පිහිටි ක්‍රියා ශක්තියෙන් නියම අයුරින් ප්‍රයෝජන ගන්නේ නම්, ඕනෑම පුද්ගලයකුට දියුණු විය හැකි ය. එසේම තමා තුළ ඇත්තේ කවර දේකට අදාළ දක්ෂකමක් දැයි, යන්න හොඳින් තේරුම් ගෙන ද කෙනකුට දියුණු විය හැකි ය.

තමා තුළ ඇති දක්ෂකම තෝරාගෙන ක්‍රියා කිරීම තමන් සතු කාර්යයකි. අදක්ෂ පුද්ගලයා මෙලොව හා පරලොව යන දෙඅංශයෙන් ම පිරිහීමට පත් වේ. කරණීයමෙත්ත සූත්‍රයෙහි ‘සක්කෝ’ යන්නෙන් කියැවෙන්නේ ද මෙම දක්ෂ බවයි.

පරාභව සූත්‍රයේ දී අලස බව පිරිහීමේ කරුණක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. සිඟාලෝවාද සූත්‍රයේ දී මෙහි ආදීනව මෙසේ වදාළහ. දැන් ඉතා ශීත ය. ඉතා උෂ්ණ ය. ඉතා සවස් ය. ඉතා උදේ ය. ඉතා කුසගිනි ය. ඉතා කුස පිරුණේ යැයි වැඩ නොකරන්නේ, හේ ධනයෙන් පිරිහෙයි. අමුතු ධනයක් ද ඇති නොවෙයි. මෙසේ අලසකමින් සිතන්නාට වැඩ කිරීමට කාලයක් නොමැත. උත්සාහයට විරුද්ධ කරුණු “ථීන මිද්ධය” යි. එනම් සිත හා එයට අනුගත ව යෙදෙන සිතිවිලිවල මැළි බවයි. මෙය නැති කර ගැනීමට වීර්යය සයක් අනුව ගමන් කළ යුතු බව අත්තකාර සූත්‍රයේ සඳහන් වී තිබේ. යම්කිසි කාර්යයක් ආරම්භ කිරීමේ වීර්යය, ආරම්භ කළ කාර්යය නොනවත්වා ඉදිරියට පවත්වා ගෙන යෑම, පැමිණි සෑම උවදුරක් ම මැඩගෙන ඉදිරියට යෑම, නොසැලී පැවතීම, වීර්යයෙහි පිහිටා සිටීම සහ උපක්‍රමශීලී වීම යන පියවර සය නිවැරැදි ව ක්‍රියාත්මක කරන්නේ නම්, කිසිදු කාර්යයක් අතරමඟ නතර කර දැමීමට සිදු නොවේ. පුද්ගල ශ්‍රමය වැය කිරීමේ දී බාහිර බලවේග පිළිබඳ විශ්වාසය නොතබා ස්වකීය ශක්තිය ම ඒ වෙනුවෙන් යෙදවීමට කරන උත්සාහයක් මෙමඟින් අදහස් වෙයි.

දියුණුව සඳහා අවශ්‍ය ඊළඟ කරුණ ලෙස ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි දැක්වෙන්නේ උපායෙන් හා විමසීමෙන් යුක්ත වීමයි. මෙලොව දියුණුවට අවශ්‍ය ගොවිතැන් වෙළෙඳාම් ආදී දේ දියුණු කර ගැනීමට උපායෙහි දක්ෂ බව ඇති කර ගත යුතු ය. මිථ්‍යා උපාය (වැරැදි උපාය) සහ සම්මා උපාය (නිවැරැදි උපාය) යනුවෙන් උපාය මාර්ග දෙකකි. මෙයින් අනුනට පීඩා පමුණුවන වැරැදි උපාය මාර්ග සහමුලින් ම බැහැර කළ යුතු ය. නිවැරැදි උපාය මාර්ග පමණක් භාවිතයට ගත යුතු ය. කිසාගෝතමියට කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්න යැයි බුදුරදුන් වදාළේ සම්‍යක් උපාය මාර්ගය මුල් කරගෙනයි. එනම් තමා පත්ව ඇති තත්ත්වය තමාට ම තේරුම් ගැනීමට ඉඩකඩ සැලසීමයි.

ලෞකික රාජ සම්පත් සියල්ල අතහැර අභිනිෂ්ක්‍රමණය කොට බුද්ධත්වයට පත් වූ බුදුරදුන් පිටුපස රාහුල කුමරු දායාද ඉල්ලා පිටත්කොට හැරියේ උන් වහන්සේ ලත් පරම සුවය ඔහුට ද ලබා දීමේ අපේක්ෂාවෙනි. යශෝධරා දේවිය බුදුරදුන්ට ලෞකික වශයෙන් දිය හැකි දායාද කිසිවක් නොමැති බව පැහැදිලිව ම දන්නීය. සිය පුත් කුමරු ද ලෝකෝත්තර මාර්ගයට ඇතුළත් කිරීම සඳහා යශෝධරා දේවිය යෙදූ සම්‍යක් උපායක් ලෙස පුත් කුමරු දායාද ඉල්ලා පිටුපස යැවීම දැක්විය හැකි ය.

උපාය සමඟ විමසා බලා කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය ය. නොවිමසා, නොසිතා කටයුතු කරන්නා දියුණු නොවන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. කල්පනා ශක්තිය යෙදවීමක් නැති ව අවිචාරවත් ලෙස ක්‍රියා කරන්නා දෙලොවින් ම පිරිහෙයි. එය පැවිදි වුවහොත් රහත් වීමටත්, නිසි සේ ගිහි ජීවිතය ගත කළේ නම් මහසිටු වීමටත් වාසනාව තිබිය දී නොනිසි ලෙස ක්‍රියා කොට සිඟන්නකු බවට පත් වූ රජගහනුවර සිටාණන්ගේ කතාවෙන් පැහැදිලි වේ. විමසීමෙන් හා උපායෙහි දක්ෂව ක්‍රියා කරන්නා ඉතා සුළු දෙයකින් පවා දියුණු වන අයුරු මළ මී කුණක් විකුණා සිටුවරයකු වූ පුද්ගලයකු ගැන කියැවෙන චුල්ලසෙට්ඨි කතා පුවතෙන් විග්‍රහ කෙරේ. එම සිද්ධිය ම ඇසුරු කොට කුඩා ගිනි පුපුරකින් මහා ගින්නක් මොළවන්නාක් සේ ඉතා කුඩා දෙයකින් විශාල ධනයක් උපයා ගත හැකි යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. එසේ කළ යුත්තේ අනුන් තළා පෙළා, හිංසා පීඩා කොට අධාර්මික ලෙසින් නොවේ. ධාර්මික ව යෙදූ උපාය ශක්තියෙන් හා විමසීමේ නුවණිනි.

කවර කාර්යයක වුව ද පිළිවෙළක්, සංවිධානයක් තිබිය යුතු ම ය. සංවිධානයකින් තොරව සිදු කරන දේ සාර්ථක නොවේ. ජීවිතයේ දෛනික කටයුතු සියල්ලක් ද සංවිධානාත්මක ව කළ යුතු ය. දින සටහනක්, කාල සටහනක් අවශ්‍ය වන්නේ එබැවිනි. බුදුරදුන් පවා එදිනෙදා කටයුතු සිදු කළේ දින චර්යාවකට අනුව ය.

ඇසළ අව අටවක

අගෝස්තු 05 බදාදා අ.භා. 08.40න් අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.50න් ගෙවේ.
06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]