මාපලගම
බුද්ධසිරි නාහිමියෝ
උපාධ්‍යාය ධුර ලබති
දිමුතු පුන්සර කොළඹගේ
මාතර, වෙහෙරහේන පූර්වාරාම මහා විහාරාධිකාරි, රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ
මධ්‍යස්ථානාධිපති, මහාවිහාර වංශික, ස්‍යාමෝපාලි මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි
සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය සහ
කාරක සංඝ සභික, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක සරභඤ්ඤ විසාරද මාපලගම බුද්ධසිරි
නාහිමිපාණන් වහන්සේ වෙත ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී
ධර්ම මහා සංඝ සභාව මඟින් තත් සංඝ සභාවේ අතිරේක උපාධ්‍යාය ධුරයක් පිරිනමා තිබේ.
ගාලු දිස්ත්‍රික්කයේ හිනිදුම් පත්තුවේ මාපලගම දී ජන්ම ලාභය ලද නාහිමිපාණන් වහන්සේ
පුරාකෘත පුණ්‍ය මහිමය නිසාවෙන් මාතර වෙහෙරහේන පූර්වාරාම මහා විහාරස්ථානයේ දී තත්
විහාරාධිපති දවුලගල සංඝරතන නාහිමිපාණන් වහන්සේ, කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේ
හා මාතර ආනන්ද හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙන් පැවිදි බිමට පත්ව වෙහෙරහේන
ශ්‍රී රේවත පිරුවනින් හා මාතර සුදර්ශි පිරුවනින් අධ්‍යාපනය ලබා 1980 වර්ෂයේ කෝට්ටේ
රාජමහා විහාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
තුරුණු වියේ දී ම පිරිත් දේශනය පිළිබඳ පෘථුලත්වයට පත් බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ
තමන් වහන්සේට ම අනන්‍ය වූ ස්වරයකින් පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වීමෙන් අද ලක්දිව
වැඩසිටින අග්‍රගණ්‍ය සරභඤ්ඤ විශාරදයාණන් වහන්සේ නමක වශයෙන් දෙස් විදෙස් කීර්තියට
පත් වී සිටිති.
1990 දශකයේ පාලූවට ගොස් තිබූ රත්මලාන කොතලාවල සමාධි බෞද්ධ මධ්‍යස්ථානයට වැඩමවා කෙටි
කලක් තුළ සකලාංග පරිපූර්ණ විහාරස්ථානයක් වශයෙන් එම විහාරය සංවර්ධනය කිරීමට සමත්
වූහ.
කිසිදු නිකාය හෝ පාර්ශ්ව හෝ භේදයකින් තොරව සංඝ සමාජයේ සියලු ම භික්ෂූන් වහන්සේ සමඟ
සුහද ව ආශ්‍රය කරමින් ඒ සෑම දෙනාගේ ම නොමද ගෞරවාදරයට පත් වී සිටින මාපලගම බුද්ධසිරි
නාහිමිපාණන් වහන්සේ ගාල්ල, යටගල රාජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ කැටගොඩ සඟ පරපුරේ
වර්තමානයේ වැඩ සිටින දීප්තිමත් ම ස්වාමීන් වහන්සේ නමක වශයෙන් හඳුන්වා දිය හැකි ය.
කිව යුතු යමක් ඇත්නම් කා හටත් සිත් නොරිදෙන අන්දමින් පැවසීමේ හැකියාව මාපලගම
බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ සතු බව සඳහන් කිරීම වටී. විශේෂයෙන් විහාරස්ථාන
ආශ්‍රිත අර්බුද කිසිවකුගේ සිත් නොරිදෙන අන්දමින් සන්සිඳුවා සැම දෙනාගේ ම ප්‍රශංසාවට
පත් වීමට බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ සමත් වන බව සඳහන් කළ යුතු ය.
භද්‍ර යෞවන වියේ දී ම කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ
විහාර පාර්ශ්වයේ කර්මවාගාචාර්ය හා කාරක සභික පදවියක් සඳහා පත්වීමට භාග්‍යවත් වූ
බුද්ධසිරි හිමිපාණන් වහන්සේ වෙත ගාලු දිසාවේ හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක
පදවිය සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරතන සරභඤ්ඤ විසාරද ගෞරව නාමය සහිත ව පිරිනමා තිබේ.
2025 වසරේ දී දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූහ.
පරිවේණාධිපති පහළඕබඩ සුනීත හිමි, පාඨශාලාචාර්ය උඩවලවේ ජිනසිරි හිමි, ශ්‍රී ලංකා
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යෝධකණ්ඩියේ අරියවංස
හිමි ඇතුළු ශිෂ්‍යපුත්‍රාදීන් රාශියක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දායාද කිරීමට
නාහිමිපාණන් වහන්සේ කටයුතු කළහ.
තමන් වහන්සේ සමඟ කුළුපග ව ක්‍රියා කරන සෑම දෙනා සමඟ ම නිබඳ සන්නිවේදනයේ යෙදෙමින්
මුදිතා ගුණයෙන් යුතු ව දුක සැප විමසා බැලීම නාහිමිපාණන් වහන්සේගේ සිරිතයි. ශාසනික
කටයුතු පිළිබඳ තොරතුරු පිළිබඳ මනා යාවත්කාලීන බවකින් ක්‍රියා කරන බුද්ධසිරි
නාහිමිපාණන් වහන්සේ තරාතිරම හෝ භේද හෝ නොසලකා ගිහි පැවිදි සැම දෙනාගේ ම කටයුතු සඳහා
තමන් වහන්සේගේ දායකත්වය නිබඳව ම ලබා දෙති. මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ
ඇසුරට ප්‍රසාදාවහ ය. ඕනෑම තරාතිරමක අයකු සමඟ සුහදශීලී අන්දමින් ඇසුර පවත්වා ගෙන
යාමට සමත්වීම නාහිමිපාණන් වහන්සේගේ විශේෂ ලක්ෂණයකි.
වත සරසා ගත් සිනහවෙන් යුතු ව දුටුවන්ගේ ප්‍රසාදයට පත් වන නිරහංකාර සංඝ ශෝභන
ගුණයන්ගෙන් පිරිපුන් මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේට විංශත් ශතවර්ෂාධික
කාලයක් ලෝක ශාසනික සංග්‍රහයේ නිරත වීම පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධි
සාධනය වේවායි ප්‍රාර්ථනා කොට සිටිමු. |