නිසි කලට
නිසි දේ කරමු
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩවාසය කරන කාලයේ එක්තරා කුසීත
භික්ෂුවක් අරභයා ලස්සන කතාවක් දේශනා කළා. දැන් කළ යුතු දෙය පැයකින්, පැය දෙකකින්,
දවසකින්, දවස් දෙක තුනකින්, සතියකින් වගේ ම අවුරුද්ද, අවුරුදු දෙකේ සිට විවිධ ගණන්
විදිහට කල් දමමින් වැඩ අතපසු කරන, කම්මැලි දරුවන්ට, වැඩිහිටියන්ටත්, කොයි කාටත්
වැදගත් වන කතා පුවතක් ජාතක කතාවේ හමුවෙනවා.
ඒ කතාන්දරය තමයි අද කියන්න යන්නේ.
අතීතයේ ඉගෙන ගන්න ශිෂ්‍යයන් ගුරුවරයා සමීපයට ගිහින් නවතින්න ඕනෑ. ඉගෙනීම අවසන් කළ
පසුයි නැවත නිවෙසට එන්න පුළුවන් වෙන්නේ. එතෙක් විද්‍යාස්ථානයේ නතර වෙලා කුදුමහත්
කටයුතු කරන්න ඕනෑ. මිදුල්, ගෙවල්, ශාලා, කාමර ආදිය අතුගාන්න ඕනෑ. වතුර සපයා ගන්න
ඕනෑ. දරා හොයන්න ඕනෑ. ඒ වගේ ම උයන පිහින වැඩත් ශිෂ්‍යයන් ම කර ගන්න ඕනෑ. එයත්
එක්තරා ඉගෙනීමක් වුණා. මෙහෙම කටයුතු සිදුවන විද්‍යාස්ථාන විශාල ගණනක් පැරැණි
ඉන්දියාවේ තිබුණා. ඒ අතරින් ඉතා ම ප්‍රසිද්ධ විද්‍යාස්ථානයක් වුණා ගන්ධාර රට තක්සලා
නුවර දිසාපාමොක් ආචාර්යවරයාගේ විද්‍යාස්ථානය.
මේ පාසලට ඉගෙන ගන්න ගියා කම්මැළි තරුණයෙක්. ඔහුත් සමඟ තවත් හාරසිය අනූ නව දෙනෙක්
එහි අධ්‍යාපනය හැදෑරුවා. සියලු ශිෂ්‍ය සංඛ්‍යාව පන්සියයක්. මේ පන්සියයකට කන්න බොන්න
දෙන්න ඕනෑ. ඒ වගේ ම වෙනත් පහසුකම් ද සකසලා දෙන්න ඕනෑ. ඒ ඒ කටයුතුවලට සේවකයන් ද
දිසාපාමොක් ආචාර්යතුමා යොදවා තිබුණා. එහෙත් ශිෂ්‍යයන්ගේ උදව් ද ඒ අයට ලැබෙන්න
සැලැසුවා.
දිනක් මුළුතැන්ගේ ඉවුම් පිහුම් කරන සේවිකාව ඇවිත් දිසාපාමොක් ඇදුරුතුමාට කිව්වා
‘ස්වාමිනි, හෙට ඉඳලා උයන්න කුස්සිය පැත්තේ එක දර කැබැල්ලක්වත් නෑ. දර ටිකක් හොයා
ගන්න වෙනවා යැයි කියලා. ඉතින් ඇදුරුතුමා තමන්ගේ ශිෂ්‍යයන් පන්සිය දෙනා ම කැඳවලා
කිව්වා.
‘දරුවනි, මුළුතැන්ගේ දර ඉවර වෙන්න කලින් අපි දර හොයන්න දිනයක් දා ගත්තානේ. දැන් දර
මඩුවේ දර ටික ඉවර වෙලා. ඒ නිසා අද හැමෝම කැලේට ගොස් දර මිටිය මිටිය හොයාගෙන එන්න
ඕනෑ. නැතිනම් බඩගින්නේ ඉන්න වෙනවා යැයි කියලා අවවාදාත්මක ව අණ කළා. ශිෂ්‍යයන් හැම
දෙනා ම ගුරුවරයාගේ කීමට අවනතයි. ඒ නිසා පන්සිය දෙනා ම දහවල් කෑමෙන් පසු කැලේට
වැදිලා දර හොයන්න පටන් ගත්තා. අර කම්මැළි තරුණයාත් මේ කණ්ඩායමේ හිටියා. ඔහු කම්මැළි
නිසා ඕනෑවට එපාවට වැඩ කරන්නේ. මොහුත් කැලේට ගිහින් දර හොයන්න පටන් ගත්තා. වියළි දර
අනෙක් හැමෝම වගේ ඉක්මනින් ඉක්මනින් එකතු කරගෙන තම තමන්ගේ දර මිටි බැඳගන්නවා. මේ
කම්මැළි තරුණයා හිතුවා.
‘කට්ටිය හැමෝම හොයා ගත්තට පස්සේ නිදහසේ මම දර ටික හොයා ගන්නම්. ඕකට එච්චර මහන්සි
වෙන්න දෙයක් නෙවෙයිනේ. කැලේ ඇතිවෙන්න දර තියෙන්නේ. දැන් අනික හරිම මහන්සියි. දවල්ට
කෑවට පස්සේ ටිකක් හාන්සි වෙලා ඉන්න තියෙනවා නම් හොඳයි. ටිකක් නිදාගෙන පස්සේ දර
හොයනවා යැයි හිතලා විශාල ගහක් මුලට ගිහින් දර ගෙනියන්න ගෙනාපු හිසේ තබන රෙදිකඩ බිම
එළාගෙන තව ටිකකින් අවදි වෙනවා යැයි හිතලා නිදා ගත්තා.
අනෙක් හැම දෙනා ම දර මිටි බැඳගෙන මේ ගහ යටින් විටින් විට යනවා. ඇතැම් සිසුන් මේ
කම්මැළි තරුණයාගේ පාදයට පාදයෙන් ම තට්ටුවක් දමා ඇහැරවා පිටත් වෙනවා. ඇතැම් කෙනෙක්
‘අනේ ඔහේ නිදා ගත්තාවේ, අපට මොකද? ඇදුරුතුමාගෙන් බැනුමක් අහ ගනීවි යැයි හිතමින්
යන්න යනවා. මෙහෙම හාරසිය අනූ නව දෙනා ම යන්න ගියා. බත් මතය නිසා ම ගොරව ගොරවා මොහු
නිදා ගත්තා. අවදි කරන්න උත්සාහ ගත්තා. එකකටවත් ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. ඒ අයත්
ගණන් නොගෙන ම තම තමන්ගේ කටයුතු කරගෙන පිටත් වුණා. මේ කම්මැළි තරුණයා ඇහැරෙන කොට
හොඳට ම අඳුර වැටිලා. පාර පේන්නේත් යාන්තමට. බියට පත් වුණා. ගුරුවරයා මතක් වුණා.
දෝෂාරෝපණ මතක් වුණා. කැලෑවට ආපු කටයුත්ත මතක් වුණා. ලහිලහියේ ම අහල පහල ගස් දිහා
බැලුවා දර කැබැල්ලක් දෙකක් හොයා ගන්න. බිම පේන තෙක් මානයක දර කැබැල්ලක් දැක ගන්න
නෑ. තමන් නිදාගෙන හිටිය ගහ දිහා ම බැලුවා. ඒත් එක්කම තිබුණා ලුණුවරණ ගහක්. බැලූ
බැල්මට ඒ ගහේ කොළ නෑ. අතු විතරයි තියෙන්නේ. මේ තරුණයා හිතුවා මේ තියෙන්නේ වියළුණු
ගහක් කියලා. අඳුරේ ම ගහට නැඟලා අතු කඩන්න පටන් ගත්තා.
ලුණුවරණ ගහේ කලකට කොළ සම්පූර්ණයෙන් ම වැටෙනවා. එවිට පෙනෙන්නේ වියළුණු දර ගහක්
විදිහට යි. එනිසා තරුණයා රැවටුණා වියළුණු ගහක් කියලා. අතු එකින් එක හදිස්සියේ ම
කඩන්න පටන් ගත්තා. කලබලය නිසා ම එක අත්තක් ඇවිත් මුහුණේ වැදුණා. දැන් ලේ ගලනවා.
වේදනයි හොඳටම. ඒත් කොහොම හරි ආපු කාරිය කරගෙන යන්න ඕනෑ කියන අදහසින් අමු දර මිටියක්
හදාගෙන ගිහින් හාරසිය අනූ නවයක් දෙනා ගෙනියපු දර ගොඩ උඩින් ම තමන්ගේ දර මිටියත්
දාලා කාමරයට ගියා. එදින රාත්‍රි හැම දෙනා ම කැඳවලා ගුරුවරයා කියනවා.
‘හෙට අප විද්‍යාලයට ආරාධනාවක් ලැබිලා තියෙනවා බමුණකුගේ නිවෙසක දානයකට. මම එන්නේ නෑ.
මේ වැඩිහිටි ශිෂ්‍යයන් සමඟ ඒ නිවෙසට ගිහින් අදාළ කටයුතු කරලා දානය පිළිගෙන එන්න
ඕනෑ. ඒ නිවෙස තියෙන්නේ මෙතැන සිට සැතපුම් ගණනක් ඈතින්. ඒ නිසා උදෙන් ම පිටත් වුණොත්
දහවල් දානයට යන්න පුළුවන්. උදේ කෑම ගෙන යන්න ඕනෑ. පාන්දර හතර, පහ වෙනකොට ආහාර අරගෙන
පිටත් වෙන්න ඕනෑ ආදී ලෙස උපදෙස් දුන්නා. අදාළ උපදෙස් වැඩිහිටි ශිෂ්‍යයන් විසින්
අකුරට ම පිළිපැද්දා. දාසියට කතා කරලා උදේම කෑම අවශ්‍ය බව ද කියා සිටියා. හැමෝම
නින්දට ගියා. දාසිය පාන්දරින් ම අවදි ව දර මඩුවට ගොස් දර මිටියක් ගෙන ඇවිත් ලිපගිනි
මොළවනවා. දර ඇවිලෙන්නේ ම නෑ. දුම විතරයි මතු වෙන්නේ. පැය ගණනක් මහන්සි ගත්තා. හරි
ගියේ ම නෑ. ශිෂ්‍යයන් වෙලාවට ඇවිත් බැලුවා, කෑම සූදානම් ද කියලා. උයන කාන්තාව
කියනවා,
‘කුමාරවරුනි, දර ඇවිලෙන්නේ නැති ව ගියා. දර මඩුවට ආපසු ගිහින් දර ගෙනෙන්න මට
පුළුවන්කමක් තිබුණේ නෑ. එනිසා කෑම පිස ගන්න බැරි වුණා යැයි කිව්වා. ක්‍රමයෙන් ඉර
උදා වුණා. ඇදුරුතුමා ඇවිත් ශිෂ්‍යයන්ගෙන් අහනවා, මොකද තවම පිටත් වුණේ නැද්ද කියලා.
එතකොට සිදුවුණු සියල්ල ම කියන්න පටන් ගත්තා. හැමෝම මේ කාරණය හොයලා බලන කොට දැන
ගත්තා, අඳුරේ කඩාගෙන ආපු ලුණුවරණ දර මිටිය කුස්සියට ගෙනත් තිබෙන බව. ඒ කාගේ දර
මිටිය ද කියලා දැනගෙන අර කුසීත, අප්‍රමාදි තරුණයා ගෙන්වා ගෙන අනෙක් ශිෂ්‍යයන්ට ද
ආදර්ශයක් ගන්නට උපදෙස් දෙන්න පටන් ගත්තා.
ඇදුරුතුමා එතැන දී කියනවා.
‘දරුවනි, අද දානයට අප ගියා නම් අපට මහත් වූ ලාභයක් වෙනවා. ඒ ලාභය සම්පූර්ණයෙන් ම
මඟහැරී ගියා මේ කටයුත්ත නිසා. ඒ නිසා කවදාකවත් පළමුව කරන්න තියෙන දෙය පසුවට කල්
දාන්න එපා. පසුවට කරන්න තියෙන දෙය පළමුව කරන්නත් එපා. ඒ බව තේරුම් ගෙන කටයුතු
කරන්න. එවිට ජීවිතය සාර්ථක වෙනවා. පවුල සාර්ථක වෙනවා. ආයතනය සාර්ථක වෙනවා. ගම,
ප්‍රදේශය, පළාත, රට වගේ ම ලෝකය ම සාර්ථක වෙනවා යැයි ශිෂ්‍යයන් පන්සිය දෙනාට ම
උපදෙස් ලබා දුන්නා.
මේ ලස්සන කතාව ජාතක පොතේ ‘වාරණ ජාතකය’ නමින් සඳහන් වෙනවා.
ඇතැම් පොතක ලුණුවරණ ජාතකය නමින් ද මෙම කතාව සඳහන් වෙනවා. ජීවිතයේ කටයුතු යෙදෙන හැම
මොහොතක ම මේ කතාව සිහිපත් කර ගන්න. එය මෙලොවත්, පරලොවත් සාර්ථක කර ගන්න හේතු වෙන බව
අමතක කරන්න එපා. |