[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මමත්වයේ රැවටිල්ල

මමත්වයේ රැවටිල්ල

වර්තමානය වන විට ලෝකය පිපිරීමට ආසන්න වූ ගිනි කන්දක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ගිනිකන්ද ඇතුළෙහි ලෝදිය කැකෑරෙමින් පවතී. කන්දේ දුර්වල තැනකින් එය පිටවී ගින්න, අළු, දුම්, උණුවෙන් ම මඩ ආදිය පැතිර යමින් අවට ප්‍රදේශය විනාශ මුඛයට කැඳවයි.

සෑම රටක ම පාහේ ගත් කළ බොහෝ මනුෂ්‍යයෝ අද සිටින්නේ ක්‍රෝධයෙන් නළියමිනි. මවුපියන් සහ දරුවන් අතර, ගුරුවරුන් සහ සිසුන් අතර, ස්වාමියන් සහ සේවකයන් අතර වර්තමානයේ බෙහෙවින් ම පවතින්නේ දයාව, අනුකම්පාව, කරුණාව සහ ආදරය නොව අන්‍යෝන්‍ය සැකය, බය සහ ක්‍රෝධය වේ. ඒ සියල්ලෙන් ඇතිවන අධික අමනාපය කවර දෙයක වුව ගැටී එය විනාශ කරයි. මෙසේ ඇවිළීමෙන් පිටවන හිංසාව වර්තමාන ලෝකයේ ඇතුළත ස්වභාවය හෙළි කරයි. එක් තැනකින් පිටවන හිංසනය සන්සිඳුවන විට එය තවත් තැනකින් පිටවේ. මනුෂ්‍ය වර්ගයා ම අද ගමන් කරන මාර්ගය විනාශකාරි බව තේරුම් ගෙන මනුෂ්‍යයාගේ සිතීමේ ක්‍රමයේ වෙනසක් ඇති වුවහොත් පමණක් මෙහි සතුටුදායක විසඳීමක් දැක ගත හැකි වනු ඇත.

මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භයේ සිටම ආත්මාර්ථකාමීභාවයත්, ක්‍රෝධයත් තිබුණා වන්නට හැකි බව සිතිය හැකි ය. එහෙත් අද තරම් ඒවා උත්සන්න ව පැවති බව සිතීම අපහසු ය. ලෝකයේ සෑම තැනක ම පාහේ පැතිරී ගිය දේශපාලන භේදය නිසා ආත්මාර්ථකාමීන් විසින් මහජනයා අතර ක්‍රෝධය වපුරා තිබේ. එහෙයින් අනෙක් සෑම අවධියකට ම වඩා මනුෂ්‍යයා අතර ආදරය, සෙනෙහස වුවමනා කරන්නේ අද බව නො කිවමනා ය. මේ වන විට පවත්නා අසහනයත්, වෛරයත්, ආදරයෙන් මිස වෙනත් යම් දෙයකින් සන්සිඳුවිය හැකි බවක් නො පෙනේ.

ආදරය වනාහි පුළුල් ව විග්‍රහ කළ යුතු මාතෘකාවකි. එය විවිධාකාර ලෙස තේරුම් ගෙන දෙන වචනයකි. එබැවින් ආදරය යන්නෙන් අදහස් වන්නේ කුමක් දැයි පළමු කොටම විග්‍රහ කිරීම අවශ්‍ය යැයි හැඟේ.

මවුපියන් දරුවන් කෙරෙහි ඇති ආදරය, තරුණ, තරුණියන් අතර ඇති ආදරය, නායකයකු අනුගාමිකයන් කෙරෙහි ඇති ආදරය, බැතිමතා තුළ දෙවියන් කෙරෙහි ඇති ආදරය, එළුවන්, කුකුළන් ඇති කරන්නා ඔවුන් කෙරෙහි ඇති ආදරය, බල්ලන්, බළලුන් ඇති කරන්නා ඔවුන් කෙරෙහි ඇති ආදරය, ජාති හිතෛෂියා ජාතියට ඇති ආදරය යනාදියෙහි විවිධ තේරුම් ඇතිව ආදරය යන වචනය ව්‍යවහාර වේ. පේ‍්‍රමය, ඇල්ම, පෙම, ආලය යනු එම ආදරය අදහස් කරන තවත් නම් වේ.

මේ සියල්ලෙහි එක්තරා පොදු ලක්ෂණයක් ඇති බව සූක්ෂ්ම බැලීමේ දී අපට අවබෝධ වනු ඇත. තමාට මුල් තැන ලැබීම එම පොදු ලක්ෂණය වේ. ඒ සමඟ ම එම ආදරයෙහි අයිතිය ද ඇතුළත් වේ.

මවක තම දරුවා කෙරෙහි ඇති හැඟීම අපට එදිනෙදා ජීවිතයේ දී දක්නට ලැබෙන ඉතාම උසස් ම ආදරය වේ. එසේ වුව ද එහි පවා තමා යන හැඟීමක්, අයිතියක් ඇඳී පවතී. අන් දරුවන් කෙරෙහි ද සෙනෙහසක් පෑව ද තමාගේ දරුවාට ඇති ආදරය වෙනත් අයකුගේ දරුවකුට නොමැති බවත්, තමාට ඇති ඉතා ම වටිනා ම, අගනා ම වස්තුව තම දරුවා බවත් ඕනෑම මවකට පොදු වු කරුණු වේ.

තරුණ, තරුණියන් අතර පවතින පේ‍්‍රමය ක්‍රෝධයටත්, ඊර්ෂ්‍යාවටත් මූලික පියවරක් ද විය හැකි ය. තවත් කෙනකු කෙරෙහි සැලකිල්ල යොමු කළ පෙම්වතිය, පෙම්වතා විසින් ම ඝාතනය කරනු ලබන අවස්ථා ගැන අසන්නට, දකින්නට ලැබෙන්නේ කලාතුරකින් නොවේ.

තම දෙවියන් පිළිබඳ හෝ ශාස්තෘවරයා පිළිබඳ ව හෝ යම් පුද්ගලයෙක් අපහාසාත්මක මුඛයෙන් කතා කළ විට එම බැතිමතා කිපෙන්නේ එම දෙවියන් හෝ ශාස්තෘවරයා හෝ තමාගේ ය යන හැඟීමකින් ඔහු හෝ ඇය පෙළෙන බැවිනි.

මෙහිදී අප විසින් පැහැදිලිව ම වටහා ගත යුතු යම් කරුණක් පවතී. එනම් මා කෙනකුට ආදරය කරන්නේ මාගේ ප්‍රයෝජනයට නම් එම වාසිය කොතරම් කුඩා හෝ සියුම් වුව ද එම ආදරය සැබෑ ආදරයක් විය නොහැකි බවයි.

මනුෂ්‍යයා අතර පවතින සියලුම භේදවලට මූලික හේතුව තමා යන හැඟීම ය. එනම් මමත්වය යි. එහි ඇති භේදකාරි ස්වභාවය මෙන් ම රැවටිල්ල අපට නො පෙනෙන්නේ අප සියලු දෙනා තුළ ම එම හැඟීම පවතින නිසා ය. එම හැඟීම රැක ගැනීම අපගේ අයිතිවාසිකමක් බවට අප සිතන්නට හුරු වී සිටින නිසා ය.

ආදරය යනු කුමක් දැයි අපට වැටහෙන්නේ තමා යන හැඟීම ඇසිල්ලකට හෝ දුරු වූ විටය. මෙය ඉතා කලාතුරකින් සිදුවන්නකි. එහෙයින් ‘ආදරය යන හැඟීම අප අතර පවතින්නේ ද නැති තරම්’ යනුවෙන් මා කිවහොත් එය වැරැදි නො වනු ඇත.

පෙර සඳහන් කරන ලද පේ‍්‍රමය, ඇල්ම, පෙම ආදරය මෙන් පෙනුණ ද ඒ කිසිවක් ආදරය නොවේ. එපමණක් ද නොව යම් කෙනකු තුළ පේ‍්‍රමය පවතින තුරු ආදරය යනු කුමක් දැයි ඔහු හෝ ඇය හෝ නො දනී.

ආදරය නැති තැන සහයෝගයක් ද නැත. පොදු සතුරකුගෙන් ආරක්ෂා වීමට එක්වන අය එම සතුරා නැති ව ගියාට පසු තම තමන් අතර කලකෝලාහල කර ගැනීම බොහෝ විට දක්නට ලැබෙන්නේ එබැවිනි. මේ සඳහා ඕනෑ තරම් නිදසුන් ඕනෑම රටක ඉතිහාසයෙන් මෙන් ම වර්තමාන සමාජයෙන් ද සොයා ගැන්මට අපහසු නො වනු ඇත.

සාමාන්‍ය පේ‍්‍රමය පවා බල කිරීමකින් ඇතිකර ගත නොහැකි ය. එය ඇති වන්නකි. තමා යන ආත්මාර්ථකාමී හැඟීම නැති වී ගිය මනුෂ්‍ය සන්තානයෙහි ආදරය නිතැතින් ම පිහිටයි. තමා යන හැඟීම ද නැති කළ හැකි දෙයක් නොව එහි රැවටිලිකාරි ස්වභාවය දුටුවිට නැති වන්නකි. එහි ඇති රැවටිලි සොබාව පෙනෙන්නේ තමා දෙස ද බාහිර ලෝකය දෙස ද අවදියෙන් යුතු ව දැකීමෙනි.

වර්තමාන සමාජය ගත් කළමමත්වයෙන් පිරි මිනිසුන් බහුල ය. එමෙන් ම කෲරත්වය ද පමණ ඉක්මවා යන අවස්ථා දක්නට ලැබෙන බව කනගාටුවෙන් වුව ද කිව යුතු ය. එබැවින් කුඩා කල සිට ම දරුවන්ට හුරු කළ යුත්තේ බෙදාහදා ගනිමින් කරුණාව, මෛත්‍රිය පෙරදැරි කර ගත් අනාගත පරපුරක් බිහිකර ගැනීම සඳහා අඩිතාලම සකසන අයුරු ය. නැතහොත් සමස්තයක් වශයෙන් ගත් කළ පිරිහුණු සමාජයක් අප දෑස් ඉදිරියේ ම දැක බලා ගැනීමට හැකි වීම වැඩි ඈතක නො වනු ඇත.

ඇසළ අව අටවක

අගෝස්තු 05 බදාදා අ.භා. 08.40න් අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.50න් ගෙවේ.
06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]