සීලයට අන්තරායකර ධර්ම

සීලයට අන්තරායකර ධර්ම

එදිනෙදා ජීවිතයේ දී මෙන්ම පොහොය දිනයෙහි දී සිල් සමාදන් වන සැදැහැවතුන්ට සීලය ආභරණයකි. සීලය පිරීමෙන් සමාධිය වැඩේ. සමාධිය වැඩීමෙන් විදර්ශනා ප්‍රඥාව වැඩේ. විදර්ශනා ප්‍රඥාව වැඩීමෙන් නිවනට සුදුස්සෙක් වේ. සීලය නොපිරුවොත් සමාධිය නොවැඩේ. සමාධිය නොවැඩුවොත් විදර්ශනා ප්‍රඥාව නොවැඩෙයි. විදර්ශනා ප්‍රඥාව නොවැඩුවොත් නිවනට සුදුස්සෙක් නොවේ. සැදැහැවතුන්ට සීලයක පිහිටා එය රැකීම පහසු නොවේ. අපගේ සිතට පැමිණෙන සමහර අන්තරායකර අරමුණුවලින් සමාදන් ව ගත් ශික්‍ෂාපද බි¼දීම ද සිදුවිය හැකි ය. එලෙස සීලයට හානි වන අන්තතරායකර ධර්ම ඇත.

ක්‍රෝධය: අන් අයට රිදවන විට, අනුන්ට බනින, පහර දෙන, අලාභ හානි කරන විට තමන්ගේ සිතෙහි හටගන්නා වූ ද්වේශය.

පළාසය: සීලාදී ගුණයෙන් යුතු ශ්‍රේෂ්ඨයන් හා තමා සම කොට සිතීම.

ථම්භ: ධර්මයට හා මවුපිය ගුරුවරාදී ගෞරව කළ යුත්තන්ට ගෞරව නොකරන ස්වභාවය. ගුරුහරුකම් ගත යුත්තන්ගෙන් ගුරුහරුකම් නොගෙන මෙලොවත්, පරලොවත් මෙන් ම ස්වර්ග මෝක්ෂයෙන් ද පිරිහෙයි.

මායාව: තමා නොයෙකුත් පව්කම් කරමින් ඒවා සඟවගෙන, ගුණවන්තයකු ලෙස ලෝකයට පෙනී සිට ලෝකය රැවටීම.

සාඨෙය්‍ය: බොරු මෛත්‍රිය, බොරු කරුණාව, බොරු හිතවත්කම් ආදී තමා ළඟ අවිද්‍යාමාන ගුණ දක්වමින් අනුන් රවටන ස්වභාවය, කපටි කෛරාටික ගතිය.

මච්ඡරිය: තමාට අයත් දෙයක් අනුන්ට අයිති වීම හෝ තමාට අයිති දෙයින් අනුන් කිසියම් ප්‍රයෝජනයක් ගන්නවාට හෝ අකැමැතිකම මසුරුකමයි.

මානය: අනුන් හා සසඳමින් තමන්ගේ ධනය, උගත්කම, රූපවන්ත බව ආදිය හා මනින ස්වභාවය.

අතිමානය: තමා කොඩියක් මෙන් උසස් කොට ගන්නා බලවත් මානය.

සාරම්භය: අනුන් යටපත් කරනු පිණිස අනුන්ට ඉහළින් වැඩ කරන ස්වභාවය. එකට එක කිරීම.

අසම්පජඤ්ඤය: සිහියෙන් තොරව අනුවණින් ක්‍රියා කිරීම.

දුර්වච බව: සිල්වතුන්ගේ, ගුණවතුන්ගේ, මවුපිය වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ අවවාදවලට අවනත නොවන නොහික්මුණ ස්වභාවය.

මදය: උගත්කම, රූපශ්‍රීය ආදිය නිසා උඩඟු වීමෙන් ඇතිවන මත්වීම. මදය ආකාර විසි හතකි.

ප්‍රමාදය: කුසලයට සිත නොනැමීම, අකුසල කිරීමට සිත නැමීම, කුසල් කරන විට පසුබට වෙවී කිරීම, ගෞරවයෙන් නොකිරීම. නිමාවක් දක්වා නොකිරීම ආදිය ද ප්‍රමාදය යි.

අලසකම: තෙරුවන් වැඳීම, වත්පිළිවෙත් කිරීම, බුද්ධ වන්දනා කිරීම, භාවනා කිරීම ආදී කුසල ක්‍රියා තම සිත පසු බසින ස්වභාවය, කුසීතකම, කම්මැලිකම.

මිථ්‍යා දෘෂ්ඨි: වැරැදි දේ නිවැරැදි ලෙසටත්, නිවැරැදි දේ වැරැදි ලෙසටත් පිළිගැනීම.

අහිරික: අකුසල කිරීමට ලජ්ජා නැතිකම.

අනොත්තප්ප: පවෙන් සිදු වන විපාකයට බිය නොවන ස්වභාවය.

මුට්ඨස්සති: සිහියෙන් තොර බව.

දුප්පඤ්ඤ: අනුවණකම.

පාපමිත්තතා: දන්දීම්, සිල් රැකීම්, භාවනා කිරීම් නොකරන, පස් පව් දස අකුසල් කරන සිත, කය, වචනය සංවර නැති පුද්ගලයන් ඇසුරු කිරීම.

අරති: සිල් රැකීම්, භාවනා කිරීම් ආදී කුසලයට හිත නොනැමීම.

ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා: ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන දොරටු සංවර නැතිකම.

අස්සද්ධතා: රත්නත්‍රය විශ්වාස නොකිරීම.

අසන්තුට්ඨිතා: ලද දෙයින් සතුටු නොවීම.

මහිච්ඡතා: කොපමණ දේ ලැබුණත් සෑහීමකට පත් නොවී තව තව රැස්කිරීම.

සංසග්ගරාමතා: ප්‍රිය රූප, හඬ, ස්පර්ශ බොහෝ කැමැති වීම. ඔවුන් හා වැඩි වැඩියෙන් කතා කිරීම. ඔවුන්ගේ උපකරණය පරිභෝග කිරීමේ කැමැත්ත.

අගරු: බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට, ත්‍රිශික්‍ෂාවට, අප්‍රමාදයට අගෞරව කිරීම. ආමිස පිළිසඳර, ධර්ම පිළිසඳර නොකිරීම.

ඉත්ථී දස්සනකාමතා: ස්ත්‍රීන්ගේ ගමන බිමන, ශරීරාලංකාර නිතර දකිනු කැමැත්ත.

ඉස්සා: අනුන්ගේ රූපය, ධනය, සැපය, කීර්තිය, ලාභ සත්කාර, උගත්කම, දියුණුව ආදිය නොරුස්නා ස්වභාවය, විරුද්ධ වන ස්වභාවය.

උපනාහ: පරණ වූ ක්‍රෝධය, බද්ධ වෛරය.

මක්ඛ: අනුන් විසින් තමාට කළ උපකාර අමතක කිරීම, කළගුණ නොදත් බව, ගුණවතුන්ගේ ගුණ මැකීම.

අජාගරතා: නොනිදා භාවනා ආදී කළ යුතු කල්හි නිදා ගැනීම.

භෝජනේ අමතඤ්ඤුතා: පමණ නොදැන ආහාර ගැනීම.

අභාවනච්ඡන්දතා: සමථ, විදර්ශනා භාවනා කිරීමට අකැමැති බව.

මෙම ධර්මවලින් හැකිතාක් වැළකී, යෝනිසෝ මනසිකාරයෙන් පිරිසිදු ව ජීවත්වීම තුළින්, තමන්ගේ මෙලොව දියුණුවටත්, පරලොව සුගතියටත් අවසානයේ ශාන්ත ශීතල නිවනටත්, සමාජයටත්, මහත් උපකාරයක් වන්නේ ය.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]