|
ඇසළ පුර
පසළොස්වක පෝ දා 2026-07-29
සුපිළිපන් ජීවිතයක සුවය
අපගේ ශාස්තෘන් වහන්සේ, සම්මා සම්බුදු රජාණන්
වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව පුද්ගලයකු තමන්ගේ
ජීවිතය හැඩගස්වා ගත යුතු යහපත් ආකාරයට ය. ඒ තුළ තමන්ගේ සේම
අනුන්ගේ ද අර්ථය සහතික විය යුතු වේ. වදනකින්, බැල්මකින් පවා
අනෙකාට අගෞරවයක්, සිත් රිදීමක් කරදරයක්, පීඩාවක් නොවන තැනට
තමන්ගේ චරිතය හසුරුවා ගන්නට කෙනෙක් දක්ෂ නම් ඒ සුපිළිපන්න බව
සමාජය ඉහළින් ඔසවා තබන්නට සමත් වනවා අවිවාදිත ය.
පිළිවෙතට පිළිපන් සමාජයක අවශ්‍යතාව අද
කවරදාටත් වඩා අත්‍යවශ්‍යව තිබෙන්නේ තාක්ෂණික දියුණුවේ වේගවත්
බවට සමගාමීව මිනිස් හදවත්හි යහගුණ වේගයෙන් සිඳී යමින් තිබෙන
නිසා ය.
තමන් සමඟ ජීවත්වන සම්පතමයන්ගේ දුක වේදනාව,
අපහසුතාව, අවශ්‍යතාව, අසරණ බව හමුවේ වෙඬරු පිඬක් සේ උණු වන
හදවත් තිබිය යුතු තැනක තෙතමනය සිඳුණු වියළී ගිය හදවත් වේ නම්,
ඔවුනොවුන් කෙරෙහි සංවේදී නොවන්නේ නම් එවැනි පරිසරයක ජීවිතය
අසීරු ය. අපි‍්‍රය ය. පීඩා දෙන්නේ ය.
මේ සමීපතමයන් අම්මා, තාත්තා, දූ දරුවන්,
සහෝදර සහෝදරියන්, අසල්වැසියන්, සමාජ ජීවිතයේ දී නම් යහළු
යෙහෙළියන්, විය හැකිය. එතැනින් එහාට මහ මඟ දී, පොදු බිමක දී,
රැකියා ස්ථානයේ දී හමුවන කෙනෙක් ආදී විවිධ චරිත විය හැකි ය.
මේ කවර චරිතයකට වුව ඇවැසි මොහොතේ මිනිසත්කම
දානය කළ නොහැකි නම් ඒ පුද්ගලයා ලද මනුෂ්‍ය ජීවිතය ඵල රහිත ය. ඒ
‘මිනිසත්කම’ තුළ ගැබ් වූ වටිනාකම් ප්‍රමාණය කළ නොහැකි ය.
තමන් නොසලකා හරින තරම් කුඩා ක්‍රියාකාරකමක්
පවා අනෙකාගේ ජීවිතයට විශාල බලපෑමක් වන අවස්ථා තිබිය හැකි ය. යන
එන පාර තොට කැළි කසල විසි කරනවා නම්, කෙළ පිඬක් හෝ මුදා හරිනවා
නම්, අනුන්ට නිගරු වන ලෙස, අපහසු වන ලෙස හැසිරෙනවා නම් ඒ
නොවටිනාකම් තුළ ගම්‍ය වන්නේ බෞද්ධ ප්‍රතිපදාව නොවේ. සුපිළිපන්
පුරවැසියකුගේ චර්යාව නොවේ.
ගුණ ධර්ම සුරැකිය යුතු අනුන්ට පෙනෙන්නට නොව
තමන්ට දැනෙන්නට ය. සම්බුදු දහම ගිහියාට දේශනා කොට වදාළ පංචශීල,
ප්‍රතිපදාව ම සුපිළිපන් ජීවිතයක පාදම ය. ඒ මත ගොඩනැඟෙන ජීවිතය
කුරා කුහුඹුවකුට හෝ හිංසාවක් නොවන්නකි.
අප බුදුපියාණන් වහන්සේ සඟාලක නම් ගෘහපතියාට
සදිසා නමස්කාරය හඳුන්වා දෙමින් ප්‍රතිපත්තිගරුක සම්පන්න
ජීවිතයකට මඟ පෙන්වූයේ සමාජ කණ්ඩායම් සයක් තුළ ඔවුනොවුන්ට
ඉටුවිය යුතු යුතුකම් තහවුරු කරමිනි. ඒ තුළ එකිනෙකා වෙත ආදරය,
සෙනෙහස, ගෞරවය, රැකවරණය ආදී සියල්ල තහවුරු කෙරිණි. එහෙත් අද
අපි මුහුණ දෙන පවුල් ප්‍රශ්න, සමාජ ප්‍රශ්න අනේකවිධ අසරණකම්,
පීඩාවන් නිහඬව කියන්නේ ඒ පරාර්ථකාමී ගුණ සිඳී
ආත්මාර්ථකාමීත්වයේ ගිලෙන සමාජයක ඛේදවාචකයයි. බෞද්ධ සමාජයක එය
සිදුවිය යුත්තක් නොවේ. අපි සුපිළිපන්න වෙමු. ගෞරවණීය, යහපත්
දිවියක සුවය විඳිමු. |