ආදරය විසකුරුයි එහෙත් දමනය කළ හැකියි

ආදරය විසකුරුයි එහෙත් දමනය කළ හැකියි

“සබ්බ දිසා අනුපරිගම්ම චේතසා
නේවජ්ඣගා පියතර මත්තනා ඣචි
ඒවං පියො පුථු අත්තා පරේසං
තස්මා න හිං සෙ පරමත්ත කාමෝති”

සියලු දිසාවන් සෙවීම් වශයෙන් සිතින් අනුව ගොස්, තමාට වඩා පි‍්‍රයයකු සොයන්නේ, කිසි තැනකත් නො දන්නේ ය. මෙසේ සියලු දෙනාට ම තමා තමාට ම වඩා පි‍්‍රය වේ. එහෙයින් තමාගේ සුව කැමති තැනැත්තේ, අන් අය නොපෙළන්නේ ය.

ඛුද්දක නිකායේ උදාන පාලියේ සෝණ වර්ගයේ අඩංගු රාජ සූත්‍රයෙහි ඇතුළත් උතුම් වූ ගාථා රත්නය සහ එහි අදහස ඉහතින් සඳහන් කළෙමි. සරල අදහසක් ලෙස දැනුණත් ඉතාම ගැඹුරු පරමාර්ථ ධර්ම කතාවක් මින් මතු කරගත හැකි ය.

සත්වයන්ගේ හට ගැනීම සකස් වන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන ය. එම අවිද්‍යාව ඉතාමත් කෙටියෙන් සඳහන් කරන්නේ නම් පඨවි ආදි ධාතුන්ගෙන් සකස් වුණා වූ පණ ඇති හෝ පණ නැති හෝ සංඛත, සංඛාරා, වස්තූහු මම ය, මාගේ ය. නම් වූ දැක්මෙන් “ස්ථිරයි, සැපයි, මගේ කැමැත්තෙහි පවත්නේ ය.” වශයෙන් සිතින් දැඩි ව ගැනීම ය. මෙහි ප්‍රතිඵලය වන්නේ තෘෂ්ණාව ඉපදීමය. මෙම අවස්ථාව ‘සක්කාය දිට්ඨිය’ ලෙස හැඳින්වෙයි. ධාතු ස්කන්ධ, ආයතනයන්ගෙන් සමන්නාගත මෙම පුඤ්ජය ද, ධාතූන්ගෙන් සමන් ගත අවිඤ්ඤාණක වස්තූන් ද ‘මම’ කර ගනී. මෙම ‘මම’ නම් වූ පුඤ්ජය හෙවත් ස්කන්ධ පඤ්චකය (රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ෂණයට යටත් කොට දැක ලෝභාදී කෙලෙස් හෙවත් කර්ම රැස්වීම සිදු නොවීමට මඟ නොදන්නා සත්වයා නැවත නැවත සිත මුල්කොට ගෙන තෘෂ්ණාව පහළ කර ගනී. ‘මම’ නම් වූ එම අවිද්‍යා දැක්මෙන් යුතු ව අරමුණු ගනී. ඔබ ජීවත් වෙනවා යැයි පවසන්නේ මෙයයි.

ත්‍රිලක්ෂණය පුරුදු නොකරන ලද අශ්‍රැතවත් පෘථග්ජන සිතේ ස්වභාවය නම් කුමක්ද? පි‍්‍රය රූපයෙහි පි‍්‍රය ශබ්දයෙහි, පි‍්‍රය ආඝ්‍රාණයෙහි පි‍්‍රය රසයෙහි, පි‍්‍රය ස්පර්ශයෙහි, පි‍්‍රය සිතුවිල්ලෙහි, නිමිති, අනු නිමිති, ආකාර, ලීලාව ( පෙනුම, හැඩ රුව, අංග ප්‍රත්‍යංග, ලස්සන, අවලස්සන, ඉරියවු) වශයෙන් සිතින් දැඩි ව ගෙන ඇලෙයි. කාමඡන්දය උපදවා ගනී. විඤ්ඤාණයෙන් අරමුණූ හඳුනා ගන්නේ ඉටු වඩන, මන වඩන, පි‍්‍රය දැයෙහි, කාමයෙන් යුත්, ඇලුම් කරන නම් වූ පඤ්ච කාම ගුණයන් ද පහළ කර ගනිමිනි. පි‍්‍රය අරමුණුවල රාගී ව ඇලෙන්නට, බැඳෙන්නට සිත් පවත්වන අශ්‍රැතවත් පෘථග්ජනයාට චපල සිත සමඟින් එක ම ආකාරයේ අරමුණු සමඟින් රැඳෙන්නට නොහැකි වෙයි. පි‍්‍රය හෝ කැමැති හෝ අරමුණූ සොයන මෙම සිත අකැමැති අරමුණු ස්පර්ශ වීමේ දී ගැටීමට පත්වෙයි. එය පටිඝයයි. තරහව, අකමැත්ත, අරමුණ නොඉවසනා බව, ආතතිය, දොම්නස බවට පත් වෙයි. මෙය සිතෙහි මෙසේ සකස් වෙන්නේ මෝහය හෙවත් මුළාව නිසා ය.

තමා තමාට පි‍්‍රය සේ ම සියලු සත්වයෝ ම තමාට ම පි‍්‍රය ය. මේ නිසා ලෞකික වශයෙන් ප්‍රාණඝාතාදි පස්පව්වලින් තමනුන් පෙළී, අනුන් ද පෙළීම සසරේ භයානක බව අවබෝධ කරගෙන ම නතර කළ යුතු ය. තමාද සසරින් මිදී අන් අය ද සසරින් මිදෙන මඟට යොමු කළ යුතුය. භික්ෂුවගේ පිළිවෙත් මාර්ගයෙහි “චරථි භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය ලෝකානුකම්පාය” ලෙස එය දැක්විණි.

උපාසක ස්වභාවය විස්තර කරන මහානාම සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ, වදාළේ තමාද ධර්ම මාර්ගයට යොමු වී අන් අය ද එහි සමාදන් කරවන ලෙස ය. එනම් ධර්ම මාර්ගයෙහි පිහිටුවන ලෙස ය.

ලෞකික ලෝකයේ ඉගෙනීම, වෘත්තිය, විවාහය, අඹුදරුවන්, ගේ දොර පවුලේ සහ සාමාජික යුතුකම් සීලයෙහි පිහිටා සම්මුති ලෝකයේ ඔබ විසින් කළ යුතු වන්නේ ය.

කෙසේ වෙතත් මේ සියල්ල ම අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ පරමාර්ථ ධර්මයන්ට යටත් බැවින් සසරට බඳින සංයෝජනීය ධර්ම වන්නේ ය. මේ නිසා “උදයත්ථ ගාමිණියා පඤ්ඤා” නම් හේතුන් නිසා යමක් හට ගන්නේ ද එම හේතුන්ගේ විසිර යාමෙන් හටගත් ඵලයද නැතිව යන්නේ ය” නම් වූ යථාවබෝධයම ප්‍රත්‍යක්ෂ කරගත යුතු වන්නේ ය. ඔබ වඩාත් ඔබටමද? කැමතිද? එසේ නම් සැනසුමේ මාර්ගය මෙයයි.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]