ජීවන අරගලය ජය ගන්නට මැදුම් පිළිවෙත
ශාස්ත්‍රපති
පලල්ලේ සරණජෝති හිමි
කවර හෝ අන්තයකට ගිය කුමන ව්‍යාපාරයක් වුව ද ස්වභාව ධර්මය විසින් ස්ථිර කරනු නොලැබීම
ලෝක ස්වභාවයයි. මේ කාරණය හොඳින් ම තේරුම් ගත් උසස් ම ශාස්තෘවරයාණෝ බුදුරජාණන්
වහන්සේ යැයි කීම ඉතා ම සාධාරණ ය.
ඒ නිසා උන්වහන්සේගේ ධර්ම මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව පදනම් කොටගෙන සකස් වීම පුදුමයක්
නොවිය යුතු ය. ඉන් අදහස් කරන ලද්දේ බුද්ධ කාලයෙහි ඉන්දියාවෙහි බහුල වශයෙන් වූ
ශරීරයට වද දීමේ තපස් ක්‍රම ප්‍රතික්ෂේප කිරීමත්, පැවිදි ජීවිතයකට නුසුදුසු වන
කාමභෝගී ජීවිතය බැහැර කිරීමත් ය. මෙකී අන්ත දෙකෙන් ම තොර, මේ දෙකට ම අදාළ නොවූ
දැහැමි චාම් ජීවන ක්‍රමය තමන් වහන්සේත්, අනුගාමිකයනුත් අනුගමනය කළ යුතු යැයි නියම
කොට ගත්හ. එය තමන් වහන්සේගේ දේශනයේ මූලික පදනම ද විය. මෙම මධ්‍යම ප්‍රතිපදාව ගුණ
නුවණ වැඩීමටත්, චතුරාර්ය සත්‍ය අවබෝධයටත් සුදුසු ම මඟ හැටියට ප්‍රකාශ කළහ. මුලදී
මෙය පැවිදි ජීවිතය සම්බන්ධ ධර්ම ක්‍රමයක් සේ පෙනී ගිය මුත් පසුව සිව් පිරිසට ම
සාධාරණ වූත්, අනුගමනය කළ හැකි වූත්, පොදු ධර්ම ක්‍රමයක් බවට නිතැතින් ම පත්විය.
මධ්‍යම ප්‍රතිපදාව භික්ෂු පරපුරක් නොසිඳී පැවැත්වීමට මෙන් ම එය සහනශීලි ජීවන
ක්‍රමයක් වීමටත් මහඟු ආධාරකයක් විය. ජීවිතයේ ගැටලුවලට මුහුණ පෑමේ දී මධ්‍යම
ප්‍රතිපදා ක්‍රමය ඉතා සාර්ථක ප්‍රතිඵලදායි එකක් විය. සිරුරට වද දීමේ අපි‍්‍රයදායී
ක්‍රමයක් නොවූයෙන් කිසිවෙක් පැවිදි වීමට බියපත් වූයේ වත් පසුබට වූයේ වත් නැත. කුඩා
දරුවාගේ පටන් දුර්වල මහල්ලා දක්වා සෑම අයකුට ම ඔරොත්තු දෙන බව එහි දක්නට ඇති උසස් ම
ලක්ෂණයයි.
එසේම එය දැඩි කාමභෝගී නොවූයෙන් රාජ කුමාරවරුන්ට මෙන් ම දුගී අසරණයාටත් පිවිසිය හැකි
ක්ෂේම භූමියක් විය. ඉඳුරන් පිනවීම සඳහා ගත යුතු දැඩි ආයාසයක් නොවූයෙන් නිවී
සැනසිල්ලේ ලබන යථාලාභ සන්තෝෂයට ද බාධාවක් නොවීය. නිදහස, විවේකය, ආරක්ෂාව හා සතුට ද
නොඅඩුව ලැබීමෙන් පැවිදි ජීවිතය සදා සුවදායක එකක් ම විය. එහෙයින් මුලදී ඉතා සුළු
ගණනකින් ඇරඹුණූ ශ්‍රාවක පරපුර ඉතා ඉක්මනින් ම ගණනින් ශීඝ්‍ර ව පැතිරෙන්නට විය.
බුදුදහමේ එන මධ්‍යම ප්‍රතිපදාව සෑම අවස්ථාවක ම උදාසීන වීමටත්, ඇඟ බේරා ගැනීමටත්
නොවේ. කළ යුතු දේ කිරීමට දැඩි උත්සාහයෙන් ද, අධිෂ්ඨානයෙන් ද ක්‍රියා කිරීමට එමඟින්
බාධාවක් නොවේ. කුමන දෙයක් කෙරෙහි වුවත් ‘අතිධාවනය” පමණක් නුසුදුසු බව එයින් උගන්වනු
ලැබේ. ජීවන සටනෙහි දී මේ ක්‍රමය ඉතා උසස් ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රමයකි. මේ හැමතැන
ම නව දහම ලෝකයාට කියා දීමට තරම් දැනීමක් ලබා ගත් පසු බුදුන් වහන්සේගේ ධර්ම දූත සේවය
ඔවුන්ගෙන් ආරම්භ කළ සේක.
“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” මහණෙනි, චාරිකාවෙහි යෙදෙන්න. බොහෝ
ජනයාට හිතසුව පිණිස ද, සැප පිණිස ද, බොහෝ ජනයාගේ යහපත පිණිස ද වන්නේ ය.
මෙසේ ධර්ම දූත මෙහෙය ආරම්භ කළ උන්වහන්සේ තමන් ද එකී සේවයෙන් අනලස් වූ සේක. හුදෙකලාව
ගම් නියම්ගම් සැරිසරමින් තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය බොහෝ මිනිසුන්ට,
දෙවියන්ට, බඹුන්ට කියා දුන් සේක.
මෙය හුදු ධර්ම දූත සේවයක් පමණක් නොවේ. එකල අන්ත දූෂණයට පත් සමාජයක බලපෑම්වලින් හා
දරිද්‍රතාවෙන් යුත් ජනතාවට කළ සමාජ සේවයකි. බමුණු දහමට ගැතිව නොයෙක් මිථ්‍යා
මානයන්ගෙන් වැඩී, කුලවාදයෙන් හා ධනවාදයෙන් මිරිකී සිටි කෝටි ගණන් ජනතාවගේ
ආධ්‍යාත්මික බාහිර නිදහස සඳහා කරන ලද මාහැඟි සමාජ සංශෝධනයකි. |