සියලු දුක් සියලු බය දුරු කරන බුද්ධ මන්ත්‍රය

සියලු දුක් සියලු බය දුරු කරන බුද්ධ මන්ත්‍රය

අනාදිමත් කාලයක් පුරා බොදු ජනතාව, පමණක් නොව, බොහෝ දෙනා දුක සැප දෙකෙහි ම ආශීර්වාදය ලබනු ලබන්නේ පිරිත තුළිනි. එකී ආශීර්වාදය ලැබීමේදී මූලික වශයෙන් ම අවබෝධය බෙහෙවින් ඉතා වැදගත් වනු ඇත. බුද්ධ භාෂිත ලෙස ගැනෙන පාලි භාෂාව මුල් කරගත් පිරිත සැබෑ ලෙස ම ආරක්ෂාව රැකවරණය හා යහපත පුද්ගලයාට උදාකරන බුද්ධ මන්ත්‍රයකි. මේ තුළින් දෙලොව යහපත උදාකර ගැනීමෙහිලා පෙලඹෙන බොහෝ දෙනාට අවශ්‍ය විය යුතු ප්‍රධානතම සාධකය වන විශ්වාසය හා අවබෝධය නොමැති ව ක්‍රියා කිරීම තුළින් සිදු වන්නේ නිරර්ථයකි. මේ නිසා පිරිත යනු කුමක්ද? යන්න බුද්ධිමත් ලෙස වටහාගෙන ක්‍රියා කිරිම පුද්ගල අභිවෘද්ධිය සඳහා හේතු වන්නකි.

පාලි භාෂාවෙන් ‘පරිත්තං’ යනුවෙන් ද, සංස්කෘත භාෂාවෙන් “පරිත්‍රාණ” යනුවෙන්ද සිංහල භාෂාවෙන් “පිරිත” යනුවෙන් ද දැක්වෙයි. ඒ සියල්ලට ම ඇත්තේ එකම අර්ථයකි. එනම් ආරක්ෂාව යන්නයි. මේ අනුව පැහැදිලි වන්නේ පුද්ගලයාට යහපත සඳහා ම ආරක්ෂාව හේතු සම්පන්න වන බවයි. අප ගෞතම බුදුන් වහන්සේ අසනීප වූ විට ද දේශනා කරනු ලැබුවේ මෙකී පිරිතයි. එසේම මහරහතන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ විවිධ ආබාධ අසනීප වූ විට දේශනා කරනු ලැබුවේ ද පිරිතයි. ගිහි ජනතාව ද උපතේ සිට ජීවිතයේ විවිධ අවස්ථා තුළ ආශීර්වාදය ලැබුවේ මෙකී පිරිත මුල්කොට ගෙන ය. මේ අනුව පාලි භාෂාවෙන් දේශිත මෙම ආරක්ෂක දේශනාව ගිහි පැවිදි සියලු දෙනාට ම යහපත සඳහා වූවක් බව මනාව සනාථ වනු ඇත. “පරිසමන්තතෝ නායති රක්ඛතී’ ති පරිත්තං” යනාදී වශයෙන් අටුවාචාරීන් වහන්සේ පිරිත යනු හාත්පස ආරක්ෂාව සලසා දෙන බව තවදුරටත් සඳහන් කරති.

“නක්ඛත්ත යක්ඛ භූතානං
පාපග්ගහ නිවාරණං
පරිත්තස්සානු භාවේන
හන්තු තේසං උපද්දවේ”

නැකැත් දෝෂ, යක්ෂ භූත පිසාච ආදි දෝෂ, පාප ග්‍රහයන්ගෙන් ඇතිවන කරදර බාධක දුරුකර ගැනීම සඳහා පිරිත හේතු වන බව ඉහත ගාථාවෙන් දක්වා ඇත. එපමණක් නොව,

සබ්බ දුක්ඛා - සියලු දුක්
සබ්බ භයා - සියලු භය
සබ්බ රෝගා - සියලු රෝගා

දුරුකර ගැනීමට ඉවහහල් වන එකම බුද්ධ මන්ත්‍රය වන්නේ පිරිතයි. මෙකී ආරක්ෂා දේශනාව දේශනා කිරීම හා ශබ්ද නැඟීම බොහෝ සෙයින් ගුණදායක වනුයේ නිවැරැදි උච්චාරණය මඟිනි. එකී ඡන්දස් අලංකාර මනාව අනුගමනය කොට පිරිත් දේශනා කිරීම පුද්ගලයාට පමණක් නොව, මුළු මහත් පරිසරයටම යහපත සඳහා ම හේතු වන මහානුභාව සම්පන්න ආරක්ෂක දේශනාවයි.

මහා විහාර සම්ප්‍රදායට අනුව සම්පාදිත පිරුවානා පොත් වහන්සේ තුළ ඒ ඒ බණවරවලට බෙදා ඇති පරිත්‍රාණ දේශනාවෙහි ගැබ්වී ඇත්තේ සියලු සත්ත්වයාට මෛත්‍රිය පතුරුවමින් දෙලොව දිවි මඟ අභිවෘද්ධිය උදාකරන දේශනාවයි. එක් බණවරයකට අකුරු අට දහසක් ඇතුළත් වන අතර, සෑම සූත්‍ර දේශනාවක් තුළම ඇතුළත්ව ඇත්තේ ඉහත සඳහන් පරිදි ආරක්ෂාවයි. මෙය දේශනා කිරීමේ දී පමණක් නොව, ශ්‍රවණය කිරීමේදී ද යෝනිසෝ මනසිකාරයෙන් ම සිදුකළ යුත්තකි. බුදුන් වහන්සේ දේශනා කරන ලද සූත්‍ර දේශනාවලට අමතරව ශ්‍රාවක සංඝයා විසින් දේශිත සූත්‍ර දේශනා ද මෙහි ඇතුළත් ය.

එපමණක් නොව, පසුකාලීන ව පාලි භාෂාව පිළිබඳ මනා උගත් යතිවරයන් විසින් සම්පාදනය කරන ලද විවිධ ආරක්ෂක දේශනා ද අපි පිරිත යන නාමයෙන් භාවිත කරනු ලබනු. අංගුලිමාල පිරිත ගැබිනි මව්වරුන් උදෙසා දේශනා කරන ලද්දක් වන අතර, අංගුලිමාල මහ රහතන් වහන්සේ විසින් සිදු කරන ලද අධිෂ්ඨානයකි. එය එදා සිට අද දක්වා ම දරු ප්‍රසූතියට පෙර දේශනා කරනු ලබන්නේ අන් කිසිවක් නිසා නොව, එහි ඇති මහානුභාව සම්පන්න බව නිසාවෙනි. මහා මංගල, රතන, කරණීය මෙත්ත සූත්‍රය තුළ ඇතුළත් වන්නේ පුද්ගලයාට අවශ්‍යකරනු ලබන ආරක්ෂාව හා රැකවරණයයි. එසේම පිරිත් දේශනා කිරීමේදී පැන්, නූල්, තෙල් ආදිය තුළින් පුද්ගලයා බලාපොරොත්තු වන්නේ සැබෑ ලෙස ම යහපතයි. ඒ සඳහා අවබෝධය හා විශ්වාසය බෙහෙවින් වැදගත් වන අතර, එය නොමැති කල පිරිත තුළින් ලැබෙන සැබෑ ප්‍රතිඵලය නොලැබෙනු ඇත.

“සබ්බීතියෝ විවජ්ජන්තු
සබ්බරෝගෝ විනස්සතු.....”

සියලු රෝග දුරුවී තෙරුවන්ගේ ආශීර්වාදයෙන් දිගාසිරි ලැබේවා’යි යන්න පිරිත් දේශනාව අවසානයෙහි ප්‍රාර්ථනා කරයි. දෙවියන්ට ආරාධනා කොට, පින්දීම් සිදු කොට මහත් ගෞරවයෙන් බොහෝ දෙනා සිදු කරනු ලබන මෙකී ආරක්ෂක දේශනාව තුළ ගැබ්වී ඇති මහානුභාව බලය නිසා ම සියලු දෙනාට යහපත උදාවෙති. මේ නිසා අනවබෝධයෙන් තොරව අවබෝධය මුල්කොට ගෙන ක්‍රියාකිරීම තුළින් ගිහි පැවිදි බොහෝ දෙනා බලාපොරොත්තු වන ආරක්ෂාව, රැකවරණය ලබා ගැනීමට ඉවහල් වන අතර, එය දෙලොව සැනසීම සඳහා හේතු වේ. ‘එතේන සච්චේන සුවත්ථි හෝතු!

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]