තථාගතයන් වහන්සේගේ
පහළවීම
දුර්ලභ
වන සේක
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කාලයෙහි එක් දවසක්
බුද්ධෝපස්ථායක වූ ආනන්ද හාමුදුරුවන් වහන්සේ විවේකී ව කාලය ගත කරන්නා වූ
අවස්ථාවෙක්හි මෙසේ කල්පනා කරන්නට වූහ.
බුදුරජාණන් වහන්සේ ආජානීය හස්තීහු ඡද්දන්ත කුලයෙහි හෝ උපෝසථ කුලයෙහි උපදින්නාහු
යැයි දේශනා කළ සේක. ආජානීය අශ්වයෝ සින්ධව කුලයෙහි හෝ වලාහක අස්සරාජ කුලයෙහි
උපදින්නාහු ය. ආජානීය වෘෂභයෝ දක්‍ෂිණාපථයෙහි උපදින්නාහු ය, යන වශයෙන් ආජානීය හස්ති,
අශ්ව, වෘෂභයන් උපදින ප්‍රදේශ මේ මේ යැයි ප්‍රකාශ කොට තිබේ. එහෙත් පුරුෂාජන්‍යයන්ගේ
උත්පත්ති ප්‍රදේශ පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපට ඇත්තේ නැත. ඒ නිසා ඒ කරුණ
බුදුරජාණන් වහන්සේගෙන් අසා දැන ගන්නෙමි යි සිතා බුදුරජාණන් වහන්සේ වෙත අවුත් සකසා
වැඳ, මෙසේ ප්‍රකාශ කළහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස හස්තාජානීය, අශ්වාජානීය, වෘෂභාජානීය සත්ත්වයාගේ
උත්පත්ති ප්‍රදේශ ප්‍රකාශ කොට ඇතත්, පුරුෂාජානීයයන්ගේ උත්පත්ති ප්‍රදේශ ප්‍රකාශ කොට
නොමැත. ඒ නිසා පුරුෂාජානීයයෝ කිනම් ප්‍රදේශයෙක්හි උපදින්නාහු දැයි ප්‍රකාශ කොට
වදාළොත් මැනවැයි කීහ.
“ආනන්දය, පුරුෂාජානීයයෝ අනෙක් ආජානීය සත්ත්වයන් මෙන් හැමතැන ම උපදින්නාහු නොවෙති.
දිගු හා පුළුලින් යොදුන් තුන්සියයක් හා යොදුන් දෙසිය පණසක් වූ හාත්පසින් නවසිය
යොදුන් ඇති මධ්‍ය දේශයෙහි පමණක් ආජානීය පුරුෂයෝ උපදින්නාහු ය. එසේ උපදින්නෝ ද හැම
කුලයෙක ම නූපදින්නාහ. රජමහසල් කුලයෙහි හෝ බමුණු මහසල් කුලයෙහි පමණක් උපදින්නාහ යි
ප්‍රකාශ කොට ගාථාව වදාළ සේක.
දුල්ලභො පුරිසාජඤ්ඤො -
න සො සබ්බත්ථ ජායති
යත්ථ සො ජායතී ධීරො -
තං කුලං සුඛමෙධතීති
පුරුෂ ශ්‍රේෂ්ඨයා (පුරිසාජඤ්ඤ) වූ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි දුර්ලභ වන සේක.
උන්වහන්සේ ප්‍රත්‍යන්තයන්හි හෝ ලෝකයා විසින් සම්මත වූ නීච කුලයන්හි ද කිසිසේත් ම
නූපදනා හෙයින් හැමතන්හි ම නූපදිති. ඒ ප්‍රඥා වූ තථාගතයන් වහන්සේ යම් යම් කුලයෙක්හි
උපදින සේක් නම්, ඒ කුලය සැපයට පත්වන්නේ ය.
මෙයින් බුදුරජාණන් වහන්සේගේ පහළවීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බවත්, උන්වහන්සේ
හැමතන්හි නූපදිනා බවත්, උන්වහන්සේ උපන් කාලයෙහි මුළු සත්ත්ව පරම්පරා සංඛ්‍යාත කුලය
ම සුවපත් වන බවත් පැහැදිලි වන්නේ ය.
දුල්ලභො පුරිසාජඤ්ඤො මෙහි “පුරිසාජඤ්ඤො” යන වචනයෙන් ශ්‍රේෂ්ඨ පුරුෂයා ගැනේ. ලෝකයෙහි
ශ්‍රේෂ්ඨ පුරුෂයා නම් තථාගත බුදුරජාණන් වහන්සේ ය. පුරුෂ ශබ්දයෙන් වෙනසක් නොමැති ව
“පිරිමියා” ගැණෙතත්, ආජඤ්ඤ ශබ්දයත් සමඟ එක්වීමෙන් ශ්‍රේෂ්ඨ පුරුෂයා බව ගැනෙන්නේ ය.
සාමාන්‍යයෙන් තිරිසනුන් අතරෙන් “ශ්‍රේෂ්ඨතම” යන අරුත පැවසීමට ආජානීය යන වචනය යොදා
ඇත. ආජානීය යනු “කරුණු, නො කරුණු දන්නා වූ” යන විසින් තේරුම් කොට ඇත.
යම් ඇතෙක් තමන් මත නැඟ යන තැනැත්තාගේ අදහස අනුව ගමන් කෙරේ නම්, ඒ ඇතා ආජානීය
හස්තියා නමින් හැඳීන්වේ.
යම් අශ්වයෙක් මත නැඟ යන තැනැත්තාගේ අදහස පරිදි ගමන් කෙරේ නම්, ඒ අශ්වයා ආජානීය
අශ්වයා නමින් හැඳීන්වේ. යම් වෘෂභයෙක් (ගවයන් සියයකට ප්‍රධාන ගවයා) තම ස්වාමියාගේ
අදහස පරිදි ක්‍රියා කෙරේ නම්, ඒ ආජානීය වෘෂභ නමින් හැඳීන්වේ.
සර්වඥ බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන්ගේ අදහස් දැන ගත හැකි බැවින්, උන්වහන්සේට
ආජානීය යි යෙදේ. සීහ-නාග-වසභා දී සබද ගෞරවනීය පිණිස බුදුරජාණන් වහන්සේට පවා යෙදීම
සිරිතෙකි.
නයො සබ්බත්ථජායතී - පුරුෂාජානීය වූ බුදුරජාණන් වහන්සේ හැමතැන ම නූපදනා සේක, යනු ඒ
ගාථා පදයේ තේරුම යි.
සම්මා සම්බුදුවරයන් වහන්සේගේ ජන්ම භූමිය වනුයේ දඹදිව මධ්‍ය දේශය යි. ඉන් බැහැර මොන
ප්‍රදේශයකටවත් බුදුවරු නූපදිති. ඒ ඉපදීම ද සිදුවනුයේ ඒ කාලයෙහි උසස් යැයි සම්මත වූ
මහාසාර කුලයෙක්හිමැ ය. එසේ ම බුදු වී දේශනා කරනු ලබන ධර්මය අසා, මගඵල පසක් කොට,
නිවන් අවබෝධයකට හැකි තරම් නුවණැස මේරූ දෙව් මිනිසුන් වෙසෙන්නා වූ කාලයෙක්හිමැ උපදින
සේක.
යත්ථ සො ජායතී ධීරො -
තං කුලං සුඛ මේධති -
බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයෙහි සත්ත්ව පරම්පරා සංඛ්‍යාත කුලය ම සුවපත් වන බව
මෙයින් කියැවේ. මෙහි දැක්වෙන “කුලං” යන පදයෙන් මුළු සත්ත්ව වර්ගයා ම ගැනෙන්නේ ය.
එසේ නැති ව උන්වහන්සේ උපන් ශාක්‍යවංශය පමණක් යැයි තේරුම් කළොත්, බුදුරජාණන්
වහන්සේගේ පහළ වීමෙන් ශාක්‍යවංශය පමණක් සුවපත් වන බවක් වැටැහෙනු නො අනුමාන ය.
උන්වහන්සේ මහා කරුණාවෙන් පෙරුම්දම් පුරා බුදු බවට පත් වූ සේක්, සියලු සත්ත්වයන්
කෙරෙහි කරුණා අදහසිනි. බුදුරජාණන් වහන්සේගේ කරුණාව “කරුණාවීය සත්තෙසු - කරුණා
සබ්බජන්තුසු” යනාදී ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ හැම සත්ත්වයන් කෙරෙහි පහළ බව ය.
බුදුවරුන්ගේ පහළවීම නිසා ඇති වූ ශාන්තිය කොතරම් දැයි හෙළි පෙහෙළි වන්නේ කුරිරු
විෂඝෝර සතුන් කෙරෙහි පවා ඒකාකාර වශයෙන් කරුණා, මෛත්‍රී අදහස් දියුණු කළ මනා බව
දේශනා කොට වදාළ බැවිනි. ඒ නිසා එබඳු සත්ත්වයෝ ද උන්වහන්සේගේ පහළවීම නිසා සුවපත්
වූහ. වෙසෙසින් දෙව් මිනිස් සත්ත්ව වර්ගයා බුදුරජාණන් වහන්සේගේ බණ අසා, ඒ අනුව
පිළිපැද ගොරබිරම් සසර දුකින් මිදී අමාමහ නිවනින් සැනසීම උදාකර ගත්හ. ඒ සැනැසීම එක
ගමකට, එක රටකට නොවැ, එක් සත්ත්ව ජාතියකට නොවැ, මුළු සත්ත්ව වර්ගයාට ම උදාවන්නක් බව
බුදුමුවින් ම ප්‍රකාශිත ය.
“එක පුග්ගලස්ස භික්ඛවෙ පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති. මහතො ආලොකස්ස
පාතුභාවො හොති. මහතො ඔහාසස්ස පාතුභාවො හොති. ඡන්නං අනුත්තරියානං පාතුභාවො හොති,
චතුන්නං පටිසම්භිදානං සච්ඡිකිරියා හොති අනෙක ධාතු පටිවෙධො හොති. නානා ධාතු පටිවෙධො
හොති. විජ්ජා විමුත්තිඵල සච්ඡිකිරියා හොති. සොතාපත්ති ඵල සච්ඡිකිරියා හොති.
සකදාගාමී ඵල සච්ඡිකිරියා හොති. අනාගාමී ඵල සච්ඡිකිරියා හොති. අරහත්ත ඵල සච්ඡිකිරියා
හොති.”
මහණෙනි, තථාගත සම්මා සම්බුද්ධ නම් වූ එක ම පුද්ගලයාගේ ලොවැ පහළවීම් හේතුකොට ගෙන
මහත් වූ ප්‍රඥා චක්‍ෂුසයාගේ පහළවීම සිදුවෙයි. මහත් වූ ප්‍රඥා ලෝකයේ පහළවීම
සිදුවෙයි. මහත් වූ ප්‍රඥාවභාසය පහළවූයේ වෙයි. අනුත්තරීය ධර්මයන් සදෙනාගේ පහළවීම
වෙයි. සිවුපිළිසැඹියාවන්ගේ සාක්‍ෂාත් කිරීම සිදුවෙයි. සොතාපත්ති, සකෘදගාමී,
අනාගාමී, රහත්ඵල යන සතර මාර්ග ඵලයන්ගේ සාක්‍ෂාත් කිරීම සිදුවෙයි.
අංගුත්තර නිකායේ දැක්වෙන මේ ධර්ම පාඨයෙන් ආජානීය පුරුෂ රත්නය වූ සියල්ල දත්
බුදුරජාණන් වහන්සේගේ පහළවීම නිසා, මුළු සදේවක ලෝකයාට ම සිදුවන්නා වූ සෙත පැහැදිලි
කොට වදාළ සේක. එබැවින් ධර්මය ශ්‍රවණය කරන්නා වූ සියල්ලෝ ම පරම දුර්ලභ ලාභයක් වූ
බුදු සසුන පවත්නා මේ කාලයෙහි ධර්මානුකූල ව පිළිපැදීමෙන්, අයත් වන්නා වූ පින් බෙලෙන්
හා ධර්මය ශ්‍රවණය කිරීමෙන් ද ලැබුණා වූ පුණ්‍ය ශක්තියෙන් අමාමහ නිවන් සුව ලැබේවා යි
ප්‍රාර්ථනා කෙරෙත්වා ! |