තරුණ කාලයේ දී ම ධර්ම මාර්ගයට එන්න - තිස්සමහාරාමයේ සුමන ධම්ම හාමුදුරුවෝ

තරුණ කාලයේ දී ම ධර්ම මාර්ගයට එන්න - තිස්සමහාරාමයේ සුමන ධම්ම හාමුදුරුවෝ

සීයාගේ නිවෙසේ සාංඝික දානමය පින්කමට වැඩම කළ ස්වාමීන් වහන්සේ පනස් නමක් දුටු නිම්සර පුතුගේ සිතේ ඒ දසුන නොමැකෙන ලෙස සටහන් වූණා. ඒ පෙර සංසාරයේ පුරුද්දකට මෙනි. මේ වඩින්නේ කවුරුන්දැයි නොදත් පුතුගේ සිතට තැතිගැන්මක් ඇතිවීම අරුමයක් නොවේ. ඒත් සමඟ කුතුහලයක් පුතුගේ සිතේ ඇතිවූ නිසාවෙන් “අම්මේ මේ කවුද?” කියා ඉබේට ම ඇසිණි.

බහතෝරන වයසේ සිටින පුතුගේ මේ ප්‍රශ්නයට අම්මා පිළිතුරු දුන්නේ “ඔය වඩින්නේ සීයගෙ ගෙදර දානෙට එන ස්වාමීන් වහන්සේ” කියා ය. ඒ පිළිතුර නිම්සරගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළනු ඇතැයි ඒ අම්මා කිසි දිනෙක නොසිතන්නට ඇත. ස්වාමීන් වහන්සේ යන වචනය ඇසුණු නිම්සරගේ සිතට දැනුණු හැඟීම වචනවලට පෙරළීමට තරම් වයස මුහුකුරා නොගිය නිසා, “මමත් ඒ අයත් එක්ක යන්න ද?” කියා අම්මාගෙන් ඇසුවේ ය. පුංචි පුතුගේ මේ වචන මවුපියන්ට එතරම් දැනුණේ නැත. ඒත් නිම්සර තුන් වතාවක් ම ඒ ගැන ඇසීය. තෙවන වරට එම ප්‍රශ්නය ඇසූ දිනයේ දී ම සවස් වරුවේ මවුපියන්ගේ පූර්ණ ආශීර්වාදයත්, නිම්සරගේ දැඩි කැමැත්තත් ඇති ව පනාමුරේ සුනන්ද නායක හාමුදුරුවන් හමුවට ගොස් පුතු භාර කෙරිණි. ඒ වන විට නිම්සරගේ වයස අවුරුදු තුන හමාරකි.

පන්සලට ගිය පුංචි පුතුට මවුපියන්ගෙන් වෙන්වීම ගැන දුකක් දැනුණේ ද නැත. පන්සල හුරුපුරුදු තැනක් මෙන් දැනුණි. ඒ වන විට පවුලේ එකම දරුවා වූ නිම්සරට අම්මා සහ තාත්තාගේ ආදරය නොඅඩුව ලැබිණි. මවුපියන් ද සිය පුංචි පුතුගේ කැමැත්තට නොපැකිළ ව ඉඩ දුන්නේ බැඳීමේ යථාර්ථය වේදනාව බව දන්නා නිසා දැයි මේ කතාව කියවන කෙනකුට සිතෙන්නට පුළුවන.

නිම්සර පුංචි පුතා නායක හාමුදුරුවන්ගේ තුරුලට එන්නේ මේ ජීවන කතරේ යථාර්ථය පෙන්වා දෙන්න යැයි කියන්නාක් මෙනි. සෙනෙහසත්, නිසි මඟ පෙන්වීමත් අනුව නායක හාමුදුරුවන්ගේ ඇසුරේ සිටි නිම්සරට වයස අවුරුදු හතර සම්පූර්ණ වනවාත් සමඟ ම තිස්සමහාරාමයේ සුමන ධම්ම නමින් පැවිදි දිවියට ඇතුළු වීමට වරම් ලැබිණි. එතැන් පටන් නායක හාමුදුරුවන්ගේ අවවාද, අනුශාසනා පිළිපදිමින් ධර්ම මාර්ගයේ හැසිරුණු සුමන ධම්ම හිමියෝ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූහ.

දිනක් නායක හාමුදුරුවන් සමඟ කතරගම කිරිවෙහෙර වඳින්න ගිය සුමන ධම්ම හිමි කිරිවෙහෙරයි, දේවාලයයි අතර වූ කුඩා විලක් දුටුවේ ය.

“ලොකු හාමුදුරුවනේ, මට මේ විල ළඟ ඉඳලා බණක් කියන්න ආසයි.”

තම සෙවණේ හැදී වැඩෙන පොඩි හාමුදුරුවන්ගේ අනාගතය පැහැදිලි ව දකිමින් සිටි නායක හාමුදුරුවන්ට මේ වචන ටික ඇසුණු විගස කීවේ

“එහෙනම් පොඩි හාමුදුරුවෝ විල ළඟට ගිහින් ඒ බණ කියන්න.” යනුවෙනි.

ඉතා ම කැමැත්තෙන් නායක හාමුදුරුවන්ට කීකරු වූ පොඩි හාමුදුරුවෝ විල ළඟ බැම්මේ වාඩි වී සදහම් දෙසුම ඇරඹුවේ මෙලෙස ය.

“සියලු දෙනාට ම තෙරුවන් සරණයි. අද දවසේ අපි සියලු ම දෙනා විසින් කිරි වෙහෙර පුදබිම වන්දනා කරමින් යන කොට මම මේ විල දැක්කා. එහිදී මට මතක් වුණා, උක්කත්තා නුවර සිට සේතව්‍ය නුවර දක්වා වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ පා සටහන් දුටු ද්‍රෝණ නම් බ්‍රාහ්මණයෙක් බුදුරදුන්ගෙන් අහපු ප්‍රශ්න කිහිපයක්. මේ බ්‍රාහ්මණයා පා සලකුණු පිළිබඳ පරතෙරට පත් අයෙක්. බමුණා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ඔබ දෙවියෙක් ද? නැත්නම් ගාන්ධර්වයෙක් ද? එසේත් නැතිනම් යක්ෂයෙක් ද? කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ පවසනවා, “නැත. බමුණ මම දෙවියෙක්වත්, ගාන්ධර්වයෙක්වත්, යක්ෂයෙක්වත් නොවෙමි.” පසුව බමුණා අහනවා, “එසේ නම් ඔබ මනුෂ්‍යයෙක් ද?” කියලා. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ පවසනවා, “මම මනුෂ්‍යයෙක් ද නොවෙමි. මම දෙවියෙක් නම්, මනුෂ්‍යයෙක් නම් කාමාදී ආශාවන් මා තුළ තිබ්ය යුතුයි. නමුත් මම ඒ සියල්ලෙන් ම තොරව වාසය කරනවා. උදාහරණයක් ලෙස හෙළ පියුමක් මඩෙන් එළියට පැමිණ දියෙහි නොගෑවී පිපෙන්නාක් මෙන් මමත් මිනිසුන් අතර උපන්නෙමි. කාමාශාවන් ප්‍රහීන කළ මම මිනිසුන්ගෙන් තොරව ජීවත් වෙමි. බමුණ මම බුදුරජාණන් වහන්සේ වෙමි කියා දේශනා කළා.”

පුංචි හාමුදුරුවන්ගේ මේ ලස්සන දහම් කතාව නායක හාමුදුරුවන් ඒ මොහොතෙක් ම වීඩියෝ කළා. සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරියා. ඒ වන විට සුමන ධම්ම පොඩි හාමුදුරුවන්ගේ වයස අවුරුදු හයකි.

පුංචි සාමණේර හිමියන් දෙසූ මේ සදහම් එදා සමාජය වැළඳ ගත්තේ අපූර්වත්වයකින්. ඒ ඇරඹුමෙන් පසු අද වන විට උන්වහන්සේ කවි බණ, ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනා පවත්වමින් සම්බුද්ධ ශාසනයේ පැවැත්මට සිදු කරන මෙහෙය අපමණයි.

අපේ සුමන ධම්ම පොඩි හාමුදුරුවෝ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නේ වයස අවුරුදු දොළහේ දී යි. එයින් ඉහළින් ම සමත් වන උන්වහන්සේ උසස් පෙළ පාලි, සංස්කෘත සහ බුද්ධ ධර්මය යන කලා විෂයයන්ට ඒ සාමාර්ථ හිමිකර ගනිමින් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ වයස අවුරුදු දාහතරේ දී යි. වයස අවුරුදු දහතුනේ දී ප්‍ර‍්‍රාචීන, ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම විභාගවලට පෙනී සිටි උන්වහන්සේ එයින් ද ඉහළින් ම සමත් වුණා. අපේ පුංචි හාමුදුරුවෝ එයින් නැවතුණේ නෑ. ත්‍රිපිටකාචාර්ය විභාගයෙන් ද ඉහළින් ම සමත් වුණා. මේ වන විට උන්වහන්සේ ත්‍රිපිටක විශාරද හදාරමින් සිටිනවා. පහළොස් වැනි වියෙහි පසුවන උන්වහන්සේගේ අපේක්ෂාව වන්නේ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් මිනිසුන්ට සසර දුක පෙන්වා දී, ඔවුන් සසරින් මුදාගෙන තමන් වහන්සේත් සසරින් එතෙර වීමයි. ඒ තැනට යන්නට නම්, උගත්කමත් ඉතා වැදගත් බව පෙන්වා දෙන උන්වහන්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට ම ගොස් මහාචාර්යවරයකු වීමට බලාපොරොත්තු වන බව පවසන්නේ දැඩි අධිෂ්ඨානයකින් යුතුවයි.

තරුණ තරුණියන්ගේ අදහස්වලට නිරන්තරයෙන් ගරු කරන සුමන ධම්ම පොඩි හාමුදුරුවෝ ඔවුන්ට මෙවැනි අවවාදයක් දෙනවා.

“බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයේ පිහිටන්න, ධර්මය අවබෝධ කර ගන්න, ධර්මයේ හැසිරෙන්න, ධර්මධර විනයධර වෙන්න, බහුශ්‍රැත වෙන්න හොඳම කාලය තරුණ කාලය බවයි. වයසින් මුහුකුරා ගියා ම තරුණ කාලයේ වගේ නෙවෙයි. ශාරීරික ව වගේ ම මානසිකවත් දුර්වල වෙනවා. ඒ නිසා තරුණ ජවය, තරුණ ශක්තිය යොමු කරන්න ඕනෙ පව් කරන්න නෙවෙයි. පින් කරන්න. තරුණ කාලයේ දී පින් දහම් කිරීමෙන් සමාජයට විශාල සේවයක් සිදු වෙනවා. උදාහරණයක් ලෙස තරුණ පිරිස එකතු වෙලා සංවිධාන කරන ධර්ම දේශනා ඉතා ඉහළ මට්ටමක පවතිනවා. පැමිණෙන භික්ෂූන් වහන්සේට ආසනයක් පනවා දැහැත් වට්ටියක් පිළිගැන්වීමට එහා ගිය යමක් කිරීමට අවශ්‍ය දැනුම සහ අදහස් මේ තරුණ පිරිස සතු ව පවතිනවා. ඒ හරහා මේ පිරිස ධර්මය වෙනුවෙන් යමක් කරනවා. මම හිතන්නේ කොහොම හරි තරුණ කාලයේ දී ම ධර්මය එක්ක එකතු වී ජීවිතය හදා ගත්තොත් මේ සසරින් මිදෙන්න පුළුවන් කියලා.”

සසර පුරුද්දට ම ඇලුම් කරමින් මවුපිය තුරුලේ ගෙවූ කාලයට සමු දී බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇසුරු කරන්නට මඟ විවර කර ගත් තිස්සමහාරාමයේ සුමන ධම්ම පොඩි හාමුදුරුවෝ සම්බුද්ධ ශාසනයේ පැවැත්මටත්, සැදැහැති ජනයාගේ දහම් පිපාසය නිවීමටත් උපන් යතිවරයෙකි.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]