මණ්ඩාවෙල
ශ්‍රී ධම්මාරාම
ලොකු හාමුදුරුවෝ
අනූහතර වැනි විය සපුරති
කෑගලු මහ දිසාවේ
ප්‍රධාන සංඝනායක
දෙමළහීරියේ අනෝමදස්සි හිමි
දශක අටකටත් වැඩි කාලයක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවෙමින්, තවත් ශතවර්ෂාධික කාලයක්
පළාතේ බොදුනුවනට අනුස්මරණීය, වන්දනීය සිහිවටන දායාද කරමින් අමිල මෙහෙවරක නිරත
කැප්පෙටිපොල ශ්‍රී අභයරාජ මහා විහාරය, උඩුමහන ශ්‍රී අනුරුද්ධාරාමය යන උභය
විහාරාධිපති අප ලොකු හාමුදුරුවන් වහන්සේ අනූහතර වැනි වියට පත් වෙති. ඒ නිමිති කර
ගෙන 2024 සිට අඛණ්ඩව පවත්වනු ලබන සත්දින මහා සද්ධර්ම මංගල්‍ය සහ සාංඝික මහා දානමය
පින්කම මෙවරත් අගෝස්තු මස 01 වැනි දින සිට 08 වැනි දින දක්වා ශ්‍රී අභයරාජ මහාවිහාර
පරිශ්‍රයේ දී සිදු කිරීමට කටයුතු කර ඇත.
1933 වර්ෂයේ වයඹ පළාතේ සත්කෝරළයට අයත් කුරුණෑගල, පොතුහැර, මන්ඩාවෙල ගම් පියසේ දී
මුදියන්සේ නිළමේ සහ පුංචිමහත්මයා යන පින්වත් දම්පතීන්ට දාව උපත ලැබූ මන්ඩාවෙල
ධම්මාරාම ලොකු හාමුදුරුවන් වහන්සේ වයස අවුරුදු පහළොවේ දී පමණ පැවිදි බිමට පත්ව 1955
වර්ෂයේ දී වාහලනාග නාමයෙන් මහනුවර අස්ගිරි මහා විහාරයේ දී උපසම්පදා ශීලයට පත්වූහ.
ධම්මාරාම ලොකු හාමුදුරුවන් වහන්සේ දහම් දැනුමෙන් ශක්තිමත් ය. සම්බුද්ධ ශාසනයේ
දියුණුව, පැවැත්ම උදෙසා මහා අධිෂ්ඨානයෙන් යුතු ව කටයුතු කිරීම නිසා උඩුමහන ශ්‍රී
අනුරුද්ධාරාමය හා කැප්පෙටිපොල විහාරස්ථානයේ ද අද පවත්නා දියුණුවට මහත් ආලෝකයක් ඇති
විය.
ධම්මාරාම ලොකු හාමුදුරුවන් වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් හා උත්සාහයෙන් කටයුතු කළ
නිසා බුදු දහම ගැන කරුණු සොයන, අධ්‍යාපනය ලබන අයට කැප්පෙටිපොල විහාර බිම
තොරතුරුවලින් පිරුණු පුස්තකාලයක් හා සමාන ය. කළගුණ සැලකීම, වැඩිහිටි ගුරු
මව්පියන්ගේ ගුණ නිතර සිහිපත් කිරීම ධම්මාරාම ලොකු හාමුදුරුවන් වහන්සේගේ දිවිය තුළ
දැකිය හැකි මහඟු ආදර්ශයක් වන්නේ ය.
වර්ෂයක් පාසා තම ගුරු දේවයන් වහන්සේගේ සහ මව්පියන්ගේ ගුණ සිහිපත් කොට පින් ලබා දීමේ
මහා පින්කම් සිදු කරති. එපමණක් නොව විහාරයේ දියුණුවට ඉඩකඩම් පූජා කළ ටිකිරි
කුමාරිහාමි මැතිණිය සහ හෙළයේ මහා විරුවකු වූ වීර කැප්පෙටිපොළ නිලමේතුමා ඇතුළු බොහෝ
දෙනාට පින් ලබා දෙන්නේ කළගුණ සැලකීමේ මහා ආදර්ශය සැමට සිහිපත් කර දෙමිනි.
ධම්මාරාම ලොකු හාමුදුරුවන් වහන්සේගේ භික්ෂු ජීවිතය තුළ අල්පේච්ඡතාව හොඳින් දැකිය
හැකි ය. ධනවත් පන්සලක විහාරාධිපති ධුරය දැරුව ද උන්වහන්සේගේ දිවිය සරල ය. එසේම
නිරහංකාර ය. අහිංසක, දුප්පත් දායක පින්වතුන්ගේ නිවෙස්වලට වැඩම කිරීම, ඔවුන්ගේ
දානමානාදිය සතුටු සිතින් පිළිගැනීම ධම්මාරාම ලොකු හාමුදුරුවෝ ඉමහත් කරුණාවෙන් ඉටු
කරති. වයෝවෘද්ධ, ගුණවෘද්ධ, ලොකු හාමුදුරුවන් වහන්සේ පදවි තනතුරුවලට දක්වන්නේ මහත්
අකැමැත්තකි. 94 වැනි වියට එළඹුණ ද ධම්මාරාම ලොකු හාමුදුරුවන් වහන්සේ කායික හා
මානසිකව නීරෝගීය එඩිතරකම අද දවසේ ද උන්වහන්සේ සතුව පවතී. බොදුනු ලෝකයාගේ ගෞරවාදරයට
පත් මහා සංඝපීතෘන් වහන්සේගේ වැඩම වීමෙන් සත්දිනක් පුරා පැවැත්වෙන සදහම් දේශනා
ශ්‍රවණය කරන්නටත්, අනතුරුව අටවැනි දින අර්ධ ශතාධික මහා සාංඝික දානමය පුණ්‍ය කර්මයට
දායකත්වය හා සහභාගිත්වය ලබා දී පින්සිදු කර ගැනීමට මෙන්ම ලොකු හාමුදුරුවන් වහන්සේට
ආයුරාරෝග්‍ය සම්පත්තිය පිණිස ආශිර්වාද කරන්නටත්, විහාරස්ථාන දෙකෙහි ම දායක දායිකා
පින්වතුන් මෙම පින්කම් සිදු කරනු ලබයි. |