ගුණ දකින්නට සිත හුරු කරන්න

ගුණ දකින්නට සිත හුරු කරන්න

"සමහර විට අප ජීවත්වන සමාජයේ නිතර ඇසුරු කරන පැවිදි උතුමන් වහන්සේගේ විවිධ හැසිරීම් අපේ සිත් විපිළිසර කරවන්නට ඉඩ ඇත. එහෙත් අප එවැන්නකට සිතට ඉඩ නොදී සඟරුවන සතු මහානීය ගුණ සිහිපත් කළ යුතු ම ය."

පරිසරයක පවා අසිරිය විඳින්නට යමකුට අවකාශ ලැබෙත් ද, ඒ තුන් ලොවක් සනසාලමින් අමා දම් රස වගුරුවන උතුම් සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම සිදු වූ අතිශයින් ම දුර්ලභ වූ කාල වකවානුවක දී පමණ ම ය.

ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, මාන්නාදී නොයෙක් අකුසල ධර්මයන්ගේ ආදිනවයන් ද මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බඹ විහරණ ධර්මයන්ගේ ආනිසංස ද දෙව් මිනිස් ලෝකයා වෙත අවබෝධයෙන් ම මනා කොට දැනගෙන, දැකගෙන දේශනා කොට ලෝකයා යහමඟට පමුණුවන අන් කිසිවකු කිසි කලෙක ලොව පහළ නො වන්නේ ම ය.

එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දී නොයෙක් ආකාර අදහස් ඇති අය අප හා ඇසුරට පත්වෙති. උසස් වූ මනසක් ඇති සත්ත්ව කොට්ඨාසයක් වශයෙන් අප ඒ සැවොම සමඟින් සුහද ව විසිය යුතු ය. විශේෂයෙන් ම පවුල් පරිසරය තුළ ජීවත්වන විට අපේ සාමාජිකයන් වෙතින් සමහරවිට දෝෂාරෝපණ ලැබෙන්නට පුළුවන. එවන් සෑම අවස්ථාවක ම අපේ සිත නො මනා ලෙස ගැටෙන්නට ඉඩ නො තබා සිත සන්සුන් ව තබා ගන්නට වෑයම් කළ යුතු වේ. අපට යම් ආකාරයක නින්දා අපහාස ලැබෙන විට මේ සිත සන්සුන් කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් අප ආවේගශීලි ලෙස කතා කරන්නට, ක්‍රියා කරන්නට ගියොත් අපටත්, අන් අයටත් පීඩාවක් වනු ඒකාන්ත ය.

එවිට මුළු පවුල් පරිසරය තුළ ම අසහනකාරී බවක් ඇතිවනු ඇත. එවැනි අවස්ථාවක අපට චිත්ත පීඩා ඇති කළ තැනැත්තාගේ යහපත් ගති සිහිපත් කළ යුතු වෙයි. කෙනකුගේ හොඳ ගුණයක් සිහි කරන විට ක්‍රෝධ සිතක්, වෛර සිතක් ඇති නොවේ. ක්‍රෝධ සිතක්, වෛර සිතක් නැති විට උපදින්නේ මෛත්‍රී සහගත සිතිවිලි ය. මෛත්‍රී සහගත සිතක කිසිදු පීඩාවක් නැත. ඒ සිත සැබැවින් ම සැනසිලිදායක ය. ආවේගශීලි බවක් කොහෙත් ම නැත. අනිවාර්යයෙන් ම ඒ සිත පිබිදුණු සතුටු සිතකි.

අපි මෙහෙම හිතමු. නිවෙසක අම්මා කෙනෙක් ස්වභාවයෙන් ම සැර පරුෂ ය. බොහෝ විට කරුණූ නො විමසා ආක්‍රෝෂ පරිභව කරන්නී ය. නිරතුරු ආරවුල් ඇති කර ගන්නී ය. මෙවැනි පවුලක දරුවකු තුළ නිතර ගැටුණු සිතක් ඇති විය හැකි ය. එවැනි අවස්ථාවක මේ විදියට හිතුවොත්, මේ අම්මා පුංචි කාලෙ ඉඳල ලේ ටික කිරි කර බොන්න දී ලොකු මහත් කළා. අමාරුවෙන් නමුත් විය පැහැදම් කර ශිල්ප ශාස්ත්‍ර ලබා දුන්නා. රෝග පීඩා හැදුණූ වෙලාවේ දී වෙහෙස මහන්සි වුණා. අද මම මේ වගේ තත්ත්වයක ඉන්නේ. ඒ පින්වත් අම්මාගේ නොපසුබට උත්සාහය නිසා නේද? මෙහෙම හිතුවොත් හිත කලබල වෙන්නෙ නෑ නේද?

එහෙමත් නැත්නම් මේ ඉපදි ඉපදි මැරි මැරී යන දුක්ඛිත සංසාර ගමන කෙළවර කරන, උතුම් දහමක් කතා කරන මේ වගේ කාලෙක මේ අම්මාගේ කුස පිළිසිඳ ගත් වෙලාවෙ කරදරයි කියලා හිතලා ගැබ විනාශ නො කර මේ උතුම් මනුලොවට පය තියන්න ඉඩ දුන්නු එක ම කොයි තරම් ලාභයක් ද? කියා සිතන්නට පුළුවනි. මේ විදියට අගුණයක් ගැන නො සිතා ගුණ ගැන ම සිහි කළොත් අපේ හිත කොච්චර සන්සුන් වෙනවා ද? මොනතරම් සතුටක් හිතෙනවා ද?

එමෙන්ම අනෙක් අය අප වෙනුවෙන් කැපවුූ ආකාරය, උදව් උපකාර කළ ආකාරය සිහි කරන විට කෙසේ නම් අමනාප සිතක් ඇතිවන්න ද? සැනසුණූ සිතක්, සංවර සිතක්, පිබිදුණු සිතක් ඇතිවනු ඒකාන්ත ය. එකල්හි නිරන්තරයෙන් ම අපේ සිතින් ද්වේෂය දුරු වේ, වෛරය දුරු වේ. එකටෙක කරන සිතක් ඇති නොවේ. පළිගැනීමේ සිතක් කොහෙත්ම ඇති නොවේ. මේ ජීවිතයේදීත්, පරලොව ජීවිතයේදීත් සතුටින්, සොම්නසින් පිබිදුණු සිතින් වාසය කළ හැකි වෙයි.

ගෞතම සසුනේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කොට වදාළ ආඝාත පටිවිනය සූත්‍ර දේශනය තුළ අගුණ දැක දැකත් සතුටු සිතක් ඇති කර ගැනීම පිණිස ගුණ සිහි කරන ආකාරය සවිස්තර ව, උපමා සහිත ව මැනවින් දේශනා කර තිබේ.

අප අධ්‍යාපනය හදාරන කාලවකවානුව තුළදීත් නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණපෑමට සිදු වේ. විශේෂයෙන් ම ගුරුවරුන් සමඟ කටයුතු කරන කල්හි ද සිත සන්සුන් කර ගැනීමට සිදු වේ. ඒ ඒ විෂයයන්ට අදාළ යමක් ඒත්තු ගැන්වීම සඳහා දවසේ බොහෝ වේලාවක් වචන හසුරුවමින් වෙහෙසට පත්වන ආකාරය, කරුණාවෙන් තේරුම් කරන ආකාරය, නැවත, නැවත අවධානය යොමු කරවන ආකාරය සිහිකරන විට ගුරුවරයා කෙරෙහි ගෞරවනීය හැඟීමක් ම ඇතිවෙයි.

ඇසුරු කරන මිතුර මිතුරියන් පිළිබඳ ද යහපත් ගුණයක් ඇත්නම් එය ම සිහි කරන්නේ නම් කිසිවකු කෙරෙහි අප්‍රසාද සිතක් ඇති නොවේ. ප්‍රසාදජනක සිතක් ම ඇති වේ.

සමහර විට අප ජීවත්වන සමාජයේ නිතර ඇසුරු කරන පැවිදි උතුමන් වහන්සේගේ විවිධ හැසිරීම් අපේ සිත් විපිළිසර කරවන්නට ඉඩ ඇත. එහෙත් අප එවැන්නකට සිතට ඉඩ නොදී සඟරුවන සතු මහානීය ගුණ සිහිපත් කළ යුතු ම ය.

අපගේ ස්වාමින් වහන්සේ මෙවැනි සංකීර්ණ සමාජ රටාවක් තුළදී ගිහි ගෙවල් අතහැර පැවිදි ජීවිතයක් ගත කරනවා නොවේ ද?

විවිධාකාර ඇඳුම් විලාසිතාවන්ගෙන් පිරිපුන් සමාජයක සසුන් කෙතේ අස්වනු අපේක්ෂාවෙන් කාෂාය වස්ත්‍ර දරනවා නොවේ ද? ගිහි භවතුන්ට පින් රැස් කර ගැනීම පිණිස වෙහෙර විහාර, දාගැබ්, පිළිම වහන්සේ, බෝ සමිඳුන් වහන්සේ මනා කොට සුරකිනවා නොවේ ද? මේ ආකාරයට අපේ සිතිවිලි ගොනු කළොත් අභාග්‍ය සම්පන්න පීඩාවන්ගෙන් අපේ සිත පෙළෙන්නේ නැහැ නේද? ඇත්තෙන් ම සතුටු සිතක් උපදිනවා ම යි.

ඒ වගේ ම රැකියා කටයුතුවල දී ද සේව්‍ය, සේවක දෙපක්ෂය අතර මනා කොට බැඳුණූ අන්‍යෝන්‍ය සුහදතාවකින් කටයුතු කිරීමට හැකි වනු ඇත. පොදුවේ මුළුමහත් ලෝකය හා සමඟ වුව ද ගැටුමකින් තොරව ඔවුනොවුන්ට උපකාර කර ගනිමින් මහත් සොම්නසකින් යුතුව ම ඇසුරු කරන්නට අවකාශ ලැබෙනු ඇත.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ චූලගෝසිංහ සූත්‍ර දේශනාවේ අනුරුද්ධ, නන්දිය, කිම්බිල යන උතුම් රහතන් වහන්සේ සමඟියෙන්, සතුටින් වාද විවාද රහිත ව, කිරියි වතුරයි එකතු වූ සෙයින් එකිනෙකා කෙරෙහි පි‍්‍රය ඇසින් බලමින් වැඩ විසූ අයුරු පැහැදිලි ව පෙනේ. ඒ උතුමන් වහන්සේගේ යහපත් පැවැත්ම පිළිබඳ කීර්ති ඝෝෂාව පොළොවවාසී දෙවියන්ගේ පටන් බඹලොව දක්වා පැතිර ගිය ආකාරය ද උන්වහන්සේ පමණ කළ නොහැකි සතුටකින් වැඩ විසූ ආකාරය ද මැනැවින් පිළිබිඹු වේ.

එවන් උතුමන් පිළිබඳ සිහිපත් කිරීම පවා සියලු ලෝ සතුන්ට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින බව ද සම්බුදු රජාණන් වහන්සේ වදාරා ඇත.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]