පින්බර ඇසළ
පුන් පෝ දිනෙක...
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි
ලෝකවාසී පොදු ජනතාව ආගමික වතාවත්වල නිරත වන දිනයක් පමණක් නොව, සම්බුද්ධ ශාසනයේ
අභිවෘද්ධිය උදෙසා ඉවහල් වූ ඓතිහාසික සිදුවීම් සමුදායක් සිහිපත් කරන අති උත්තරීතර
දිනයකි, ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය.
බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම
පස් මහ බැලුම් බලා මහාමායා දේවියගේ කුසෙහි සිදුහත් බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තේ
ඇසළ පුර පසළොස්වක පොහොය දිනක ය. තව්තිසා දෙව්ලොව සන්තුසිත නම් දිව්‍යරාජයා ව ඉපදී
සිටිය දී මනුස්ස ලෝකයට වැඩම කරන ලෙස දිව්‍ය බ්‍රාහ්මණයන් විසින් කරන ලද ආරාධනය
පිළිගෙන වැඩම කොට වදාළේ අද වැනි දිනක ය.
මහාභිනිෂ්ක්‍රමණය
ලෝක සත්ත්වයා දුකින් මුදා ගැනීමේ පරම අභිලාෂයෙන්, රාජ්‍ය සැපත සහ සසර බැ¼දීම්
සියල්ල අතහැර උන්වහන්සේ ගිහිගෙයින් නික්ම ගියේ ද ඇසළ පෝ දා ක ය. එය මහා
පරිත්‍යාගයකි. සතර පෙර නිමිති දැක ජීවිතය පිළිබඳ සත්‍ය සෙවීමේ අභිලාෂය ඇති ව සියලු
රජ සැප හැර දා ගිය ගමන මහාභිනිෂ්ක්‍රමණය ලෙස හැඳීන් වේ.
රාහුල උපත
යශෝධරා දේවියට දරුවකු ලැබුණු බව රාජ පුරුෂයකු පවසන්නේ සිදුහත් කුමරු උයන් කෙළියට
ගොස් සිටිය දී ය. මෙම පණිවිඩය ඇසූ විගස ම සිදුහත් කුමරුගේ මුවින් පිට වූයේ “රාහුලෝ
ජාතෝ බන්ධනං ජාතං’’ යනුවෙනි. රාහුලයෙක් ඉපදුණා බැම්මක් ඇතිවුණා යනුවෙන් ඒ කළ
ප්‍රකාශය නිසා අලුත උපන් කුමරාට රාහුල යන නම තැබීය.
නිබ්බුත පද කීම
“නිබ්බුතා නූන සා මාතා -
නිබ්බුතා නූන සෝ පිතා,
නිබ්බුතා නූන සා නාරී
යස්සායං ඊදිසො පතී” යනුවෙන් කිසාගෝතමිය විසින් නිබ්බුත පද කීවේ ද අද වැනි දිනක ය.
ප්‍රථම ධර්ම දේශනය
බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් උදෙසා ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රය’ දේශනා
කිරීමෙන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ලොවට හෙළි කළහ. මෙම සිදුවීමත් සමඟ
අවිද්‍යාවෙන් අන්ධ ව සිටි සත්ත්වයාට නිර්වාණ මාර්ගය විවර වූ අතර, සම්බුද්ධ ශාසනය
ලොව පහළ විය.
පළමු වස්සූපගමනය
බුදු සසුනේ ප්‍රථම වස් සමාදන් වීම හෙවත් ප්‍රථම වස්සූපගමනය සිදුවූයේ ද අද වැනි ඇසළ
පුන් පොහෝ දිනක ය. එදා මිගදායට වැඩම කළ බුදුන්
වහන්සේ පස්වග තවුසන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කොට පැවිදි උපසම්පදා කළහ. ලෝකයේ
ප්‍රථම වතාවට වස්සූපගමනය සිදුවූයේ ද අද වැනි උතුම් පොහොය දිනක ය.
යමාමහ පෙළහර පෑම
බුදුන් වහන්සේ විසින් භික්‍ෂුන් වහන්සේට ලාබ සත්කාර අපේක්ෂාවෙන් ප්‍රාතිහාර්ය පෑම
තහනම් කරන ලදහ. මෙය දැන ගත් තීර්ථකයන් ඉතා උද්දාමයට පත්ව, ඔවුන් මානයෙන් යුතු ව
සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් කාලය ගෙවූහ. එසේ ම බුද්ධ ශ්‍රාවකයන්ට හැකි නම්
ප්‍රාතිහාර්ය පාන ලෙසට අභියෝග කිරීම ද කළහ.
මෙම අවස්ථාවේ දී තීර්ථකයන්ගේ මානය බිඳ දැමීමට සිතූ බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක්
මුල දී යමක මහා ප්‍රාතිහාර්ය පාමින් තීර්ථකයන්ගේ මානය බිඳ දැමූහ. එහි දී උන්වහන්සේ
තමන් වහන්සේගේ සිරුරින් ජලය හා ගිනිජාලා පිට කරමින් පෙන් වූ මෙම යමක මහා
ප්‍රාතිහාර්ය නිසා බොහෝ දෙනෙක් බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණහ. එසේම ධර්මය අසා
ධර්මාවබෝධ කර ගත්හ. ඒ අසිරිමත් සිදුවීම වුයේ ද අද වැනි ඇසළ පොහෝ දිනක දී ය.
අභිධර්මය දේශනා කිරීම
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත් වැනි වස වස් විසීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩම
කළහ. එහි දී තමන් වහන්සේගේ මෑණියන් වූ මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන කොට ඇති
දෙවියන්ට විජම් පිටකය හෙවත් අභිධර්ම පිටකය දේශනා කළහ. ඒ අනුව ඉතා ගැඹුරු දහමක් වූ
විජම් බණ දේශනා කරන ලද්දේ ද අද වැනි ඇසළ පොහෝ දිනක ය.
ප්‍රථම ධර්ම සංගායනාව
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තුන්මසක් ගත වූ පසු ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ
විය. එහි දී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මූලික වූහ. ආනන්ද හාමුදුරුවන් වහන්සේ
ධර්මය පිළිබඳ නායකත්වය දැරූ අතර, විනය පිළිබඳ උපාලි මහ රහතන් වහන්සේ විසින්
නායකත්වය දරමින් කටයුතු කළහ. එහි දී රාජ අනුග්‍රහය ලබා දෙන ලද්දේ අජාසත්ත රජතුමා
විසිනි.
මෙය විශේෂයෙන් වැදගත් වන්නේ තැන තැන විසිරී තිබූ ධර්ම විනය එක්තැන් කිරීම සිදු
කිරීම නිසයි. ඒ අනුව ධර්ම විනයේ චිරස්ථිතිය උදෙසා පවත්වන ලද ධර්ම සංගායනාව
පැවැත්වීම ආරම්භ කරන ලද්දේ ද ඇසළ පුන් පොහෝ දිනක ය.
ඛණ්ඩ සීමාව සම්මත කිරීම
බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර 236 ගත වූ තැන මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට
සම්බුදු දහම හඳුන්වා දුන්හ. එහි දී මහා සංඝයා වහන්සේ විසින් සම්මත කළ සීමාව තුළ
ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් ඇසළ පුන් පොහෝ දිනක දී ය.
පැවිදි වීම හා උපසම්පදාව
එදා අනුබුදු මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව ලක්දිව භික්ෂු ශාසනය
ආරම්භ කිරීමට කටයුතු කළහ. එහි දී අරිට්ඨ කුමරු ඇතුළු පනස් දෙනකු තුම්බුරු සීමාවේ දී
පැවිදි උපසම්පදා කළහ. ඒ අනුව ලක්දිව භික්ෂු ශාසනයේ ආරම්භක දිනය ලෙසින් ද මෙම ඇසළ
පුන් පොහොය වැදගත් වේ.
ලක්දිව වස් විසීම
ලක්දිවට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේ ප්‍රථම වරට වස්
සමාදන් වීම සිදු කළහ. එසේ වස් සමාදන් වීම අපට වැදගත් වේ. මන්ද ලක්දිව ප්‍රථම වස්
විසීම ද මෙයයි. මෙම පිරිසට මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේ 62ක් ඇතුළත්
වීම ද වැදගත් වේ.
අටසැට ලෙන් පූජාව
බුද්ධ වර්ෂ 236 වැන්නෙහි දී දේවානම් පියතිස්ස රජතුමා විසින් කණ්ඨක චෛත්‍ය වටා අට
සැට ලෙන් පූජාවක් කරවන ලද්දේ ද මෙවන් උතුම් ඇසළ පුන් පොහෝ දිනක දී ය.
ප්‍රථම වස්සූපගමනය
එදා මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන වැඩම කළ පිරිසත්, ලක්දිව පැවිදි වූ අරිට්ඨ
හාමුදුරුවන් ප්‍රධාන පිරිසත් සියලු දෙනා හැට දෙනමක් වූහ. උන්වහන්සේ සියලු දෙනා ම
ප්‍රථම වරට ලක්දිව වස් එළැඹියේ ද ඇසළ පුන් පොහොය දිනෙක ය.
ස්වර්ණමාලි මහ සෑ රදුන්ට
මුල්ගල තැබීම
අති පූජනීය රුවන්මැලි මහා සෑය කරවන ලද්දේ බුද්ධ වර්ෂ 382දී රජකම් කළ දුටුගැමුණු
රජතුමා විසිනි. මෙම වටිනා චෛත්‍ය රාජයා සෑදීම සඳහා මුල්ගල් තබන ලද්දේ අද වැනි ඇසළ
පුර පොහෝ දිනක ය.
ධාතු නිධානෝත්සවය
දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද රුවන්මැලි මහා සෑ රදුන්ගේ ධාතු නිධානය සිදු කිරීම
ද වැදගත් සිද්ධියකි. එදා උතුරු සල නැකතින් මෙම චෛත්‍යයේ ධාතු නිධානය සිදු කරන ලදී.
එහි දී නොයෙකුත් ප්‍රාතිහාර්ය ඇති වූ බව ද ථූප වංශයෙහි සඳහන් වේ. ඇසළ පොහොය දින
සිදු වූ තවත් වැදගත් සිදුවීමක් හැටියට මෙය හඳුන්වාදිය හැකි ය.
වස් ආරාධනය
එසේම ඇසළ පොහෝ දිනය ලංකාවේ ඇති සෑම විහාරස්ථානයක ම පාහේ වස් සමාදන්වන දිනයයි.
උපසම්පදා භික්ෂූන් වහන්සේ නොයෙකුත් විහාරස්ථානවල අද වස් සමාදන් වෙති.
සියම් මහා නිකායේ උපසම්පදාව
ලක්දිව නැතිවී ගිය උපසම්පදාව ආරම්භ කිරීම සඳහා මහනුවර යුගයේ දී සියමෙන්
(තායිලන්තයෙන්) උපාලි හිමියන් ප්‍රධාන පිරිස උපසම්පදාව රැගෙන විත් එය ලක්දිව
පිහිටුවීම කරන ලද්දේ අද වැනි පොහොය දිනක ය. පිණ්ඩපාතික අසරණ සරණ වැලිවිට සරණංකර
සංඝරාජ නාහිමියන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා ලංකාවේ නැවත උපසම්පදාව ඇති කළ
දිනය ලෙස අගය කළ හැකි ය. |