[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අව අටවක පෝ දා 2026-07-07

යුතුකම්

පවුලක, ගමක, රටක දියුණුව, සාර්ථකත්වය, පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකයක් වන්නේ එහි ජීවත්වන මිනිසුන් ඔවුනොවුන් කෙරෙහි පවත්වන යුතුකම් හා වගකීම් ය. යම් තැනෙක එය වග වීමෙන් ඉටුවනවා නම් ජීවත්වීමෙහිලා ගැටලු, ප්‍රශ්න බොහෝදුරට අවම කර ගත හැකි ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සාමයෙන් යුතු, සහනශීලි, පී‍්‍රතිමත් ජීවිතයක් ගත කිරීමට නම් සමාජයේ වෙසෙන සියලු පිරිස් අතර සුහද සම්බන්ධතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි. එවැනි ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගත හැකි සදූපදේශ සහිත විශිෂ්ට දේශනාවක් වන්නේ සිඟාලෝවාද සූත්‍රයයි. මූලික සමාජ කණ්ඩායම් හයක් හඳුන්වා දෙමින්, ඔවුනොවුන් අතර ඉටුවිය යුතු යුතුකම් පෙන්වා දෙන අපගේ ශාස්තෘන් වහන්සේ එම යුතුකම් තුළ පෙන්වා දෙන්නේ අන්‍යොන්‍ය වශයෙන් පැවතිය යුතු සාරධර්ම ය.

ඒ සාරධර්ම මෙලොව ජීවිතයට පමණක් නොව පරලොව ජීවිතය ද දිනන පිළිවෙතකි.

පුද්ගලයකුගේ අනාගතය තීරණය කරන්නේ ඔහුගේ කුඩා කාලයයි. නිසි මවුපිය රැකවරණය ඔස්සේ නිවැරැදි ලෙස සමාජානුයෝජනය නොවුණේ නම් හෙතෙම තමන්ට ද අනර්ථ ව, අනුන්නට ද අනර්ථ කරන පුද්ගලයෙක් බවට පත්වීම වැළැක්විය නොහැකි ය. එවැන්නෝ සමාජයට පිළිලයකි. විනාශය ළඟා කරන්නෙකි.

දරුවෙක් මෙලොවට බිහිකළ පමණින් මවකට හෝ පියෙකුට හෝ සැබෑ මාතෘත්වය හෝ සැබෑ පීතෘත්වය හෝ හිමි නොවේ. දරුවා වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන්නට ඔවුන් දෙදෙනා සමත් විය යුතු ය. මෙම යුතුකම් අතර දරුවන් වරදින් මුදවා ගැනීම පළමු තැනට පැමිණේ.

මෙලෙව එළිය දකින දරුවා පළමුව ග්‍රහණය කර ගන්නේ, අනුකරණය කරන්නේ තමන්ගේ අම්මා සහ තාත්තා ය.

දරුවාගේ ලෝකයේ වීරයින් බවට පත්වන්නේ ඔවුන් දෙදෙනා ය. එහෙයින් යහපත් ආදර්ශය, ගුණගරුක පැවැත්ම, නිවැරැදි දිවි පෙවෙත තුළ අපූර්ව ආදර්ශයක් තමන්ගේ දරුවාට ලබා දෙන්නට මවුපිය දෙපළ සමත් විය යුතු ය.

යම් හෙයකින් දරුවා වරදක් කරන්නේ නම් ඔහු හෝ ඇය හෝ ඉන් මුදවා යහපතෙහි යෙදවීමට එවිට වෙහෙස දැරිය යුතු නැත.

අද බොහෝ තැනෙක සිදුවන්නේ තමන් වැරැදි මඟ යමින් දරුවන් හොඳ මඟ යනවා දකින්නට දරන උත්සාහයන් ය. සරලම උදාහරණයක් ලෙස සමහර පවුල්වල ගෘහමූලිකයා ලෙස පියා ඉතාම දරදඬු පිළිවෙතක් ගෙන යන්නෙකි. ඔහුගේ පැවතුම්වලට කිසිවෙක් විරුද්ධ වනවා දකින්නට ඔහු නොකැමැති. දුම්වැටිය, මත්වතුර ඔහුට කැප ය. එහෙත් දරුවන්ට අකැප ය. ඔහු එසේ සිතුවත් ඔහුගේ ක්‍රියා පිළිවෙත ඇස ගැටෙන දරුවකුට එහි වරදක් නොදැනේ. ඔවුන්ට ද ඒ අයහපත් පුරුදු නිතැතින් ම හුරු වේ. එහෙයින් දරුවන් හදාවඩා ගැනීමේ දී ඔවුන් යහපතෙහි යෙදවීම පිණිස මවුපියන් ආදර්ශවත් වීම ඉතා අත්‍යවශ්‍යය.

අද සමාජයේ ළමයින් අතර වැඩි පිරිසකට හික්මීමක් නැත. ගෙදර දොර ජීවිතය තුළ සේ ම මහ මඟ ද එය අත්දකින්නට තිබේ. කනබොන මොහොතේ පවා ඒ අසංවරකම ප්‍රදර්ශනය කෙරේ. නොහික්මුණු ජාතියකට ඇරඹුම දුන්නේ නම් එහි අනාගතය ගැන කවර කතාවෙක් ද? මේ හික්මීම ඇති කරවීමෙහිලා පූර්වාචාර්යවරු වන්නේ මව්පිය දෙදෙනා ය. දෙවැනි තැන ගන්නේ ගුරුවරු ය. අයහපත් පුරවැසියන් සිටින සමාජයක අකටයුතු වැළැක්විය නොහැකි ය. ප්‍රශ්න ගැටලු බොහෝ ය. නොසතුට, නොදියුණුව මිස අනෙකක් නොවේ. සමාජයේ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීමට ගුණධර්ම හා චරිත ශක්තිය තම ශිෂ්‍යයා තුළ වර්ධනය කිරීමෙහි ලා ගුරුවරයාගේ කාර්යභාරය වෙසෙස් ය. මව්පියන් ගුරුවරුන් මේ යුතුකම් තුළ දරුවන් රැකබලා ගන්නේ නම් අනාගත සමාජය ගැන බියක් නොවනු ඇත.

පොසොන් අව අටවක

ජූලි 07 අඟහරුවාදා අ.භා. 01.22න් අව අටවක ලබා 08 බදාදා
අ.භා. 12.19න් ගෙවේ.
 07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]