වංචාවේ පාපය මෙලොව දී ම විපාක දෙන හැටි

වංචාවේ පාපය මෙලොව දී ම විපාක දෙන හැටි

මුගලන් මහරහතන් වහන්සේ දිනක් “ගිජ්ඣකූට” පර්වතයෙන් බැස වඩින විට, අහසේ පා වෙමින් අතිශය දුක් විඳීන භයානක ප්‍රේතයකු දැක, පසුව ඒ පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කරුණු විමසා සිටියහ. එහිදී බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රේතයාගේ අතීත කතාව දේශනා කළ සේක.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජතුමාගේ අධිකරණයේ නඩු විසඳීමට එක්තරා ඇමතිවරයකු පත් කර සිටියේ ය. මෙම ඇමතිවරයා තමන්ට ලැබුණු රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කළේ ය. දෙපාර්ශ්වයෙන් ම හොර රහසේ අල්ලස් සහ විවිධ තෑගිබෝග ලබා ගැනීමට පුරුදු විය. ඔහු අල්ලස් දෙන ධනවත් වැරැදිකරුවන් නිවැරැදිකරුවන් කළ අතර, අල්ලස් දීමට වත්කමක් නැති අහිංසක දුප්පත් මිනිසුන් වැරැදිකරුවන් කරමින් ඔවුන්ගේ දේපළ රාජසන්තක කළේ ය.

මේ අයුරින් මහජනතාව හඬවමින්, වංචාවෙන් මඩි තර කරගත් ඔහු කිසිදු පිනක් දහමක් නොකර කලුරිය කළේ ය. මරණින් මතු ලැබූ බිහිසුණු විපාකය වූයේ තමන් කළ ඒ මහා සාපරාධී අකුසල කර්මය හේතුවෙන් අතිශය පිළිකුල් සහගත, බියකරු පෙනුමකින් යුත් ප්‍රේතයකු ව උපත ලැබීම යි. මෙම ප්‍රේතයාට තිබූ ලොකු ම දුක්ඛිත විපාකය වූයේ දැඩි බඩගින්න යි. නමුත් ඔහුට කෑමට කිසිදු ආහාරයක් ලැබුණේ නැත. අවසානයේ ඔහු කරන්නේ කුමක් ද? තමන්ගේ ම තියුණු නියවලින් තමාගේ ම ශරීරයේ මස් හූරාගෙන, ලේ වැගිරෙමින් තිබිය දී ම අනුභව කිරීම යි. ඔහු තමන්ගේ ම මස් කන සෑම වාරයක් පාසා ම මුළු ශරීරය ම මහා ගින්නකින් දැවී යන්නට විය. මහා මුගලන් රහතන් වහන්සේ මෙම ප්‍රේතයාගෙන් “නුඹ තමන්ගේ ම මස් හූරා කන්නට තරම් සිදු කර ගත් අකුසලය කුමක් ද?” කියා විමසූ විට, ප්‍රේතයා තමා මිනිස් ලොව සිටිය දී අල්ලස් ගනිමින්, අනුන්ගේ ධනය වංචා කරමින් කළ දූෂිත ක්‍රියා සියල්ල ප්‍රකාශ කළේ ය.

ලංචක ප්‍රේත වස්තුවෙන් සමාජයට දෙන ප්‍රබල ම පණිවිඩය නම්, “අනුන් සතු දේ හෝ මහජනතාව සතු පොදු ධනය හෝ අල්ලස් සහ වංචනික ක්‍රම මඟින් තමන් සතු කර ගන්නා පුද්ගලයා පරලොව දී තමන්ගේ ම විනාශය තමන් විසින් ම ළඟා කර ගන්නා” බවයි.

කූටවිනිච්ඡයික ප්‍රේත වස්තුව (වංචනික තීන්දු දුන් ඇමතිවරයා) මේ සඳහා තවත් කදිම නිදසුනකි. මෙය ද බලය අවභාවිත කළ ඇමතිවරයකු වටා ගෙතුණු කතාවකි. රජුගේ සමීපතම ඇමතිවරයකු වූ මොහු, විවිධ රාජ්‍ය ව්‍යාපෘති සහ ඉඩම් ආරවුල් විසඳීමේ දී සාධාරණය ඉටු නොකර, ධනවත් පාර්ශ්වයන්ගෙන් වංචනික ලෙස ලාභ ප්‍රයෝජන ලබා ගත්තේ ය.

ඔහු මරණින් මතු “වේමානික ප්‍රේතයකු” (දිවා කාලයේ සැප විඳ රාත්‍රියේ දුක් විඳීන) බවට පත්විය. ඔහුට රාත්‍රී කාලයේ දී තමාගේ ම ශරීරයෙන් වැගිරෙන ලේ සහ සැරව පානය කිරීමට සිදු විය. බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ ආදීනව මෙයින් සංකේතවත් කෙරේ.

අම්බසක්ඛර ප්‍රේත වස්තුවෙහි දැක්වෙන්නේ මහජනතාව පීඩාවට පත් කළ නගර පරිපාලන නිලධාරියෙක් පිළිබඳව යි. ඔහු තමන්ගේ බලය පාවිච්චි කර අහිංසක මිනිසුන් සිරගත කර, ඔවුන්ගේ ව්‍යාපාර අත්පත් කර ගත්තේ ය. මරණින් මතු ඔහු අතිශය නින්දිත, නිරුවත් ප්‍රේතයකු ව ඉපිද වසර දහස් ගණනක් දුක් වින්දේ ය.

රජවරු, මැති ඇමතිවරු, රාජ්‍ය සේවකයෝ තමන්ට පැවරෙන යම් යම් දේ තුළින් අල්ලස් ගනිති. පාරිභෝගිකයා තලාපෙළා කටයුතු කරති. එසේ ගන්නා මුදලින් සැප විඳිති.

බුදු දහම මේ ක්‍රියා අනුමත නොකරයි. මේ වැරැදි නිසා පුද්ගල, සමාජ, රාජ්‍ය විනාශය, රට අරාජික වීම සිදුවන බව දක්වයි. ඇතැම් පිරිස් තමන්ට ලැබෙන බලය අයුතු ලෙස භාවිත කරමින් මහජන ධනය වංචා කිරීම සහ අල්ලස් ගැනීම පිළිබඳ බුදු දහම තුළ ගැඹුරින් සාකච්ඡා කරයි. ධර්මයේ මේවා හඳුන්වන්නේ “අදත්තාදානය” (නොදුන් දේ ගැනීම), “ලංචක” (අල්ලස්) සහ “රාජ්‍ය දූෂණ” ලෙසයි.

ධනංජය රජුගේ රාජ්‍ය නිලධාරීන් බදු එකතු කිරීමේ දී සහ විවිධ රාජ්‍ය කටයුතුවල දී අල්ලස් ගන්නා ආකාරයත්, පසුව “කුරු ධර්මය” (පංචශීලය) රැකීමෙන් රට නැවත සශ්‍රීක වන ආකාරයත් කුරු ධර්ම ජාතකයෙහි විස්තර වේ.

”සුදුස්සන්ගේ තැන උදුරාගෙන අන් අයට තනතුරු දෙති.” යැයි මහා සුපින ජාතකයෙහි සඳහන් ව ඇත.

කූට වානිජ ජාතකය තුළ වංචා කරන්නන් පරලොව දී නොව මෙලොව දී ම විනාශයට ලක්වන බව පෙන්වා දෙයි. පණ්ඩිතයා හා අතිපණ්ඩිතයා යන දෙපළ හවුල් වෙළෙඳාමක් කොට මසුරන් දහසක් ලබයි. අතිපණ්ඩිතයා හිතන්නේ ඉන් වැඩි මුදලක් තමා ගත යුතු බවයි. මසුරන් සියය සියය දෙදෙනා බෙදාගෙන ඉතිරිය ගසක් මුල වළ දමා පසුව බෙදා ගන්නට සිතයි. පණ්ඩිතයාට මුදල් අවශ්‍ය වී ඒ මුදල බෙදා ගන්නට කතිකා කොට මුදල නැති බව දකියි. අතිපණ්ඩිතයා ඒ මුදල තමන් ම ගොඩ දාගෙන එසේ නොකළ බව කියයි. අනතුරුව එය විසඳීමට නඩුවක් දමයි. තමා නොව පණ්ඩිතයා මෙම මසුරන් අටසියය ගත් බව තමන්ට එම වළ දැමූ තැන රුකෙහි වන රුක් දෙවියා සාක්ෂි බව දක්වයි.

අතිපණ්ඩිතයා තම පියා එම ගසෙහි බෙනයක රඳවා විනිශ්චයකරුවන් ඇසූ විට පණ්ඩිතයා සොරකම් කළ බව කියන්නට කියයි. එවිට පණ්ඩිතයා එම බෙනයට කොළ රොඩු දමා ගිනි තියයි. දුම් වැදී පිළිස්සීම නිසා ඒ තුළ සිටින්නට නොහැකි වූ අතිපණ්ඩිතයාගේ පියතුමා එළියට එයි.

ඔහු පිළිස්සී ඇත. මෙවන් වංචා කරන විට මෙලොව දී ම විපාක ලැබෙන බව මෙයින් කියයි.

“ පායසි“ නම් ප්‍රාදේශීය පාලකයා මුල් කාලයේ දී පරලොව විශ්වාස නොකළත්, පසුව කුමාර කාශ්‍යප රහතන් වහන්සේගේ ධර්ම දේශනාව අසා දැඩි සේ පැහැදුණේ ය. ඔහු තමන්ට අයත් ප්‍රදේශයේ විශාල සුබසාධන ව්‍යාපෘති ආරම්භ කළේ ය. දුප්පතුන් වෙනුවෙන් දන්සල් පැවැත්වීය. රාජ්‍ය ධනය කිසිදු වංචාවකින් තොර ව පොදුජන යහපත සඳහා ම යෙදවීය. එහි ප්‍රතිඵලය වූයේ ඔහු මරණින් මතු ඉතා අලංකාර “සේරිස්සක” නම් දිව්‍ය විමානයක ප්‍රබල “සේරිස්සක දිව්‍ය පුත්‍රයා” ලෙස උපත ලැබීම බව සේරිස්සක නම් විමාන වත්තුවෙහි සඳහන් වේ. රාජ්‍ය ව්‍යාපෘති අවංක ව, ජනතා සේවයක් ලෙස කළොත් මරණින් මතු දෙව්ලොව සැප ලැබිය හැකි බව මෙයින් පැහැදිලි වේ. රජකම, මැති ඇමතිකම, රාජ්‍ය සේවය මහජන සුබසාධනය සඳහා කරන්නේ නම් සැප සම්පත් විඳිය හැකි ය. නැතිනම් භව සංසාරය ම මහා දුකක් උරුම කර ගනියි.

වෙසක් අව අටවක

ජුනි 08 සඳුදා පූ.භා. 03.25න් අව අටවක ලබා 09 අඟහරුවාදා පූ.භා. 03.23න් ගෙවේ.
08 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]