[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

තල්පත්වල ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ මාතලේ අලුවිහාරය

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගම්පහසිය පත්තුවේ පිහිටි මාතලේ අලුවිහාරය ආගමික, සංස්කෘතික, ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් සිද්ධස්ථානයකි. ඉතිහාසයේ මුල් යුගවල ආලෝක ලෙන නමින් මෙම විහාරස්ථානය හඳුන්වා ඇති අතර, පසුව අලුලෙන, අලුවිහාරය බවට පත්ව තිබේ.‍ ක්‍රි:පූ: 1 වැනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්‍රන්ථාරූඪ කිරීම මෙම ස්ථානයේ දී සිදුව තිබේ. දීර්ඝ කාලයක් බුදු දහම මුඛ පරම්පරාගතව පවත්වා ගෙන ආ අතර, වළගම්බා රජතුමාගේ පාලන සමයේ දී පැවති අර්බුදකාරී තත්ත්වයන් නිසාත්, වසර 12ක කාලයක් පැවති බැමිණිතියාසාය නම් වූ දුර්භික්ෂය නිසාත් භික්ෂූන් වහන්සේ සිය ගණනින් ජීවිතක්ෂයට පත්වූහ. මේ නිසා ධර්මය රැක ගැනීම මහත් අභියෝගයක් වූ බව අට්ඨ කතාවල සඳහන් ව තිබේ. ඒ හේතුවෙන් මෙතෙක් කාලයක් කටවහරින් පවත්වාගෙන ආ බුදු දහම විනාශ වී යෑමට ඉඩ නොදී පවත්වාගෙන යෑම සඳහා ධර්ම සංගායනාවක් පැවැත්වීමටත්, ධර්ම විනය ග්‍රන්ථාරූඪ කිරීමටත් මහා සංඝා වහන්සේ තීරණය කළහ. ඒ අනුව වළගම්බා රජ දවසේ ථූපාරාමයේ වැඩ සිටි කුත්තගත්ත නම් හිමි නමක් මහා විහාරීය භික්ෂූන් වහන්සේ සමඟ ලෝවාමහාපායට රැස්ව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කීරීමට තීරණය කළ බව අස්ගිරි තල්පතේ දැක්වේ. ක්‍රි.ව. 1266 දී ලියැවුණු බවට සැලකෙන පූජාවලියේ සඳහන් වන්නේ පළමුවරට වළගම්බා රජු දවස පන්සියයක් රහතන් වහන්සේ අලුලෙනේ වැඩ හිඳ පොත් සංගායනා කළ බවයි. ක්‍රි. ව. 1390 දී ලියැවණුු ශාසනාවතාරය හෙවත් නිකාය සංග්‍රහය උපාලි තෙරණුවන්ගේ පටන් ශිව නම් ස්ථවිර නමක් දක්වා වූ තෙරණුන් වහන්සේ තිස් අට නමකගේ සංඝ පරම්පරාව ඔවුන්ගේ නම් ද සමඟ ඉදිරිපත් කරමින්, ඔවුන් කට පාඩමින් රැගෙන ආ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනපද අධිපතියකුගේ ආරක්ෂාව ඇතිව, පන්සියයක් රහතුන් වහන්සේ මාතුල දනව්වේ අලුලෙන වැඩ හිඳ පොත්වල ලියූ බව පවසයි. සියම්, බුරුම ආදි ථෙරවාදි රටවලට පාලි ත්‍රිපිටකය හා අටුවා ගෙන ගියේ ලංකාද්වීපයෙන් නිසා මෙහි දී සිදු වූ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම බුද්ධ ධර්මයේ චිරස්ථිතියට මහත් රුකුලක් විය. ලක්දිව පැරණි සිද්ධස්ථානයක් වන අලුවිහාරය මහින්දාගමනයෙන් පසුව දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ කරවූ විහාරයක් ලෙස ඉතිහාසයේ සඳහන් වේ.

වෙසක් අව අටවක

ජුනි 08 සඳුදා පූ.භා. 03.25න් අව අටවක ලබා 09 අඟහරුවාදා පූ.භා. 03.23න් ගෙවේ.
08 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]