|
සත්‍ය යනු කුමක්ද?
05:
සත්‍යයෙහි ප්‍රභේද
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
මනස දියුණු කරලීමේ ප්‍රතිඵල වශයෙන් දාර්ශනිකයන් ලොව විවිධ කාලවල දී පහළ වී තිබේ.
ඔවුන් විවිධ සංකල්ප පිළිබඳ නොයෙක් අදහස් සහ මතවාද ඉදිරිපත් කර තිබේ. මෙම දාර්ශනික
සංකල්ප විමසා බැලීමේ දී ඒවා ප්‍රධාන වශයෙන් පෙරදිග සහ අපරදිග වශයෙන් කොටස් දෙකකට
බෙදා බැලීමට ද, ආගමික සහ සාමාජීය වශයෙන් ද දැකීමට පුළුවන. සත්‍ය යන සංකල්පය පිළිබඳ
පෙරපර දෙදිග ම දාර්ශනික චින්තාවට ලක් වූ වදනකි. මීට පෙර කලාපවල දී පෙන්වා දෙනු
ලැබුවේ බුදු සමය තුළ සත්‍ය සංකල්පය විග්‍රහ කර ඇති ආකාරය පිළිබඳ විවරණයකි. මෙම
ලිපිය තුළ දී බලාපොරොත්තු වනුයේ බටහිර සංකල්ප තුළ සත්‍ය සංකල්පය පිළිබඳ ඉදිරිපත් කර
ඇති අදහස් සහ ඒ පිළිබඳ බෞද්ධ මතවාදය තුලනාත්මක ලෙස විමසා බැලීමකි.
සත්‍යය යන සංකල්පය විග්‍රහ කිරීමේ දී බටහිර දර්ශනයට අනුව සංකල්ප තුනක් පෙන්වා දිය
හැකි ය.
එනම් අනුරූප්‍යතාවාදය, අනුසන්තානවාදය සහ උපයෝගිතාවාදය යනුවෙනි.
බුද්ධ දේශනාව තුළ බොරුවෙන් වැළකීම පිළිබඳ විග්‍රහ කර ඇති ආකාරය බොහෝ සූත්‍ර දේශනා
තුළ මෙසේ දැක්වේ.
“සච්චවාදී සච්චසන්‍ධො ථෙතො
පච්චයිකො අවිසංවාදකො ලෝකස්ස”
මෙම දේශනා පාඨයෙහි අර්ථය විග්‍රහ කර බැලීමේ දී පූර්වෝක්ත සංකල්ප තුනෙන් පෙන්වා දෙන
අර්ථකථන ගැබ් වී ඇත. “සච්ච සන්‍ධො” යනු භාෂානුසාරයෙන් ප්‍රකාශ වන සෑම දෙයකට ම මූල,
මැද, අග ගැළපීමක් තිබිය යුතු බවයි. පළමුවෙන් ප්‍රකාශ කළ දෙයට පටහැනි යමක් මැද දී හෝ
අග දී හෝ ප්‍රකාශ විය නොහැකි ය. මුල, මැද, අග යන තුන් තැන දී ම සත්‍ය වචනය වෙනසක්
නොවිය යුතු ය.
බටහිර දර්ශනය තුළ “අනුසන්‍ධානවාදය” ලෙස පෙන්වා දෙන්නේ මෙයයි. බුද්ධ දේශනාව තුළ
වචනයට හා භාෂාවට එපිටින් ගොස් අනුසන්‍ධානයේ තවත් ප්‍රමිතියක් ඉදිරිපත් කරනු ලැබේ.
එනම් ප්‍රකාශය හා භාවිතය අතර පරස්පර විරෝධයක් නො තිබිය යුතු බවයි. බුදුරජාණන්
වහන්සේ “යථාවාදී තථාකාරී - යථාකාරී තථාවාදී” යන ගුණයෙන් එය ප්‍රකට කර තිබීමෙන්
පැහැදිලි වේ.
කිසියම් ප්‍රකාශනයක් තුළ මතවාද දෙකක් අන්තර්ගත වේ නම්, එය අනුසන්‍ධානවාදයට පටහැනි
ය. මෙයට කදිම නිදසුනක් වනුයේ චංකී සූත්‍රය යි. බුදුරදුන් කාපටික බමුණාට වදාරන්නේ්
“ඔබ මුලින් කී දේ ශ්‍රද්ධාව පදනම් කොටගෙන ප්‍රකාශ කළත්, දැන් ඔබ පැමිණ සිටින්නේ
අනුස්සවයටයි.“ යනුවෙනි. එයින් බුදුරදුන් පෙන්වා දෙන්නේ අපගේ ප්‍රකාශය තුළ මතවාද
ගැටුමක් නොතිබිය යුතු බවයි.
ඉහත සූත්‍ර පාඨය තුළ සඳහන් වූ “තෙථො පච්චයිකො” යන පද දෙකෙන් අදහස් කෙරෙන්නේ අප කරන
ප්‍රකාශනය ස්ථිර වූවක් ම විය යුතු බවත්, ප්‍රත්‍ය සහිත වූවක් ම විය යුතු බවත් ය.
සූත්‍ර දේශනා තුළ සත්‍ය භූත යන පදයෙන් අදහස් කර ඇත්තේ එයයි. බටහිර දර්ශනය තුළ
“අනුරූප්‍යතාවාද” යන්නෙන් අදහස් කරන්නේ යම්කිසි කරුණක් සාධක සහිත ව මනාව දැන ගැනීම
යන්නයි. “යථාභූතං පජානානි” යනුවෙන් සඳහන් වන්නේ ඒ බවයි. සත්‍ය අත්දැකීමක් මත
ප්‍රකාශයට පැමිණෙන්නකි. සත්‍යයේ ස්වරූප තුනකි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප සහ
සම්මා වාචා යනුවෙනි.
මේ අතරින් සම්මා දිට්ඨි යනු අපගේ මතවාදය සත්‍ය විය යුතු බවයි. එසේ ම සම්මා සංකප්ප
යනු අපගේ සංකල්පය සත්‍ය විය යුතු බවයි. සම්මා වාචා යනු අපගේ ප්‍රකාශනය සත්‍ය විය
යුතු බවයි. මෙහි විරුද්ධ පැතිකඩ වන්නේ් මතවාදය අසත්‍යයෙන් යුක්ත වන බවත්, සංකල්ප
අසත්‍යයෙන් පිරී පවතින බවත් ය. එසේම වචනය තුළ අසත්‍ය හෙවත් බොරුව පවතී. මිථ්‍යා
දෘෂ්ටි, මිථ්‍යා සංකල්ප සහ මිථ්‍යාවාචා යනු එය යි. මෙයට කදිම නිදර්ශනයක් වත්මන්
සමාජයෙන් දැකිය හැකි ය. එනම් පරලොවක් නැත, අපායක් නැත යනාදී මිථ්‍යා අදහස්වලින්
යුක්ත ව ඒවා සමාජ ගත කිරීමට උත්සුක වන ආකාරය යි.
බුදුරදුන් අපණ්ණක සූත්‍රය තුළ දී දේශනා කරන්නේ් “පරලොවක් ඇත, පරලොවක් නැත යන
මතවාදයට, සංකල්පයට සහ ප්‍රකාශනයට අතහිත දීම සත්‍යයේ සීමාව ඉක්මවන බවයි. එසේ ම සත්‍ය
වූ මතවාදයට, සංකල්පවලට සහ ප්‍රකාශයන්ට එළැඹීමට කැමැති තැනැත්තා පරලොවක් ඇත යන
ස්ථාවරයේ පිහිටා සිටිය යුතු බව බුද්ධ දේශනාව යි. බුදුදහම පරලොවක් ඇත යන ස්ථාවරයේ
පිහිටා සිටින්නේ් හේතු සාධක සහිතව යි. ඒ අනුව අනුරූප්‍යතාවාදී ලක්‍ෂණ මනාව බුදුදහම
තුළ ගැබ් වී ඇති බව පැහැදිලි ය.
“අවිසංවාදකො ලෝකස්ස” යනුවෙන් ඉහත සූත්‍ර පාඨය තුළ සඳහන් වූයේ ලොවට විසංවාදය නො
පමුණුවන යන අර්ථය යි. ඒ අනුව සත්‍ය තුළින් ලොවට යහපතක් ම විය යුතු ය.
බටහිර දර්ශනය තුළ සඳහන් වන “උපයෝගිතාවාදයෙන්” පෙන්වා දෙන්නේ මෙබඳු අදහසකි.
උපයෝගිතාවාදය තුළ ප්‍රතිඵලයට පමණක් අවධානය යොමු කොට තිබෙන අතර, බුදුදහම එයට ඒ
ආකාරයෙන් එකඟ නොවේ. චේතනාව, ක්‍රියාව සහ උපක්‍රමය යන කවරක් වුවත් එහි ප්‍රතිඵලය හොඳ
නම්, එය සත්‍ය වශයෙන් තෝරාගත යුතු බව උපයෝගිතාවාදයෙන් පෙන්වා දේ. එහෙත් බුදුදහම
පෙන්වා දෙන්නේ නරක චේතනාවක හෝ ක්‍රියාවක හෝ උපක්‍රමයක හෝ හොඳ ප්‍රතිඵලයක් නො තිබිය
හැකි බවයි.
අභයරාජ කුමාර සූත්‍රයේ දී බුදුරදුන් විසින් සත්‍ය නිර්වචනය කිරීම සඳහා ‘අත්ථ
සංහිතං’ යන වචනය යොදා ගනු ලැබේ. එය සත්‍යයේ එක්තරා ගුණයක් ලෙස පෙන්වා දී තිබේ.
එහෙත් අසත්‍ය ද ඇතැම් විට අර්ථ සහිත වන බව එම සූත්‍රයේ දී පෙන්වා තිබේ. ඒ අනුව අර්ථ
සහිත වූ කිසිදු ආකාරයක අසත්‍යයක් බුදුසමය තුළ අනුමත කරන්නේ නැත.
බුදුසමය සත්‍ය පිළිබඳ විග්‍රහයේ දී මෙම සංකල්පය කොටස් දෙකකට බෙදා විග්‍රහ කර තිබේ.
එකම කොටස් දෙක නම් පච්චේක සත්‍ය සහ ද්වි සත්‍ය යනුවෙනි.
මෙම පච්චේක සත්‍ය යන වදනින් අර්ථ දෙකක් ගම්‍ය වේ. එනම් එක් එක් පුද්ගලයාට සත්‍ය සේ
හැඟෙන දෙයයි. එසේ ම ප්‍රකාශනයේ අංශු මාත්‍රයක් හෝ සත්‍ය වන බවයි. ප්‍රත්‍යෙක සත්‍ය
කුමක් ද? යන්න බුද්ධ දේශනාවෙන් පැහැදිලි කර ඇත්තේ අලියා සහ අන්‍ධයන්ගේ කතා පුවතෙනි.
අන්ධයෝ අලියාගේ අඟ පසඟ අතගා තම තමාට හැඟෙන පරිදි අලියා පිළිබඳ විස්තර ප්‍රකාශ කළ
ආකාරය යි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ් ප්‍රත්‍යෙක සත්‍ය යනු සම්පූර්ණයෙන් ම අසත්‍ය
වූ එහෙත්, කිසියම් පුද්ගලයකුට සත්‍ය සේ හැඟෙන මතවාදයක් සඳහා ය. එහි අල්ප වූ
සත්‍යයක් ද පවතී. නිදසුනක් වශයෙන් අලියාගේ කන කුල්ලක් වැනි යැයි කීම සියලු දෙනාට එක
සේ ඒත්තු ගැන්වෙන ප්‍රකාශයක් නොවේ. වෙනත් අන්ධයෙක් කන අල්ලා තම මතය ප්‍රකාශ කළේ
නම්, ඊට වඩා වෙනත් පිළිතුරක් ලබා දීමට තිබුණි. ඒ නිසා එම ප්‍රකාශය අදාළ අන්ධයාට
පමණක් වලංගු වේ. ඒ අනුව මෙම ප්‍රත්‍යෙක සත්‍ය තුළ සැබෑ සත්‍යයක් ගම්‍ය නො වන බැවින්
බුදුරදුන් විසින් ප්‍රතික්‍ෂේප කොට තිබේ.
ද්වි සත්‍ය යනු සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය යි. එහෙත් පාලි ත්‍රිපිටකය තුළ මෙම
‘පරමත්‍ථ’ යන වචනය සඳහන් නොවන අතර, සම්මුති යන වදන අවස්ථා දෙකක දී පමණ සඳහන් වී ඇති
අයුරු දීඝ නිකායාගත සංගීති සූත්‍රයේ හා සංයුක්ත නිකායේ වජිරා සූත්‍රය තුළ දැකිය
හැකි ය. පාලි අට්ඨකතාවල සඳහන් වන අතර, නාගාර්ජුනපාදයන්ගේ මූලමධ්‍යමික කාරිකාවේ මෙසේ
සඳහන් වේ. නාගාර්ජුනපාදයන් විසින් රචිත මූලමධ්‍යමික කාරිකාවෙහි මෙම ද්විසත්‍ය
සංකල්පය පිළිබඳව දාර්ශනික විග්‍රහයක් සඳහන් වන බව මහාචාර්ය අසංග තිලකරත්නයන් විසින්
පෙන්වා දේ. සස මූලමධ්‍යමික කාරිකාවෙහි 24 වැනි පරිච්ඡේදය තුළ ආර්ය සත්‍ය පරික්‍ෂාව
යනුවෙන් සඳහන් වන පරිච්ඡේදය තුළ චතුරාර්ය සත්‍ය පිළිබඳ විග්‍රහ කරන අතර, පළමු වරට
මෙම උභය සත්‍ය පිළිබඳ ඉගැන්වීම ඉදිරිපත් කෙරේ.
මුල් බුදුසමයට අනුව එකම සත්‍ය පමණක් ලොව පවතින බව බුද්ධ දේශනාව තුළ සඳහන් වේ.
එහෙත් නාගාර්ජුනපාදයන්ගේ මෙම විග්‍රහයට අනුව සම්මුති (සංවෘති) පරමත්ථ (පරමාර්ථ)
වශයෙන් ද්විත්ව ලෙස බෙදා දක්වා තිබේ. සම්මුති යන පාලි පදයෙහි අර්ථය වන්නේ්
පිළිගැනීම, සම්මුතිය ආදී වශයෙන් සඳහන් වන බැවින්, බොහෝ දෙන විසින් පිළිගත්, අනුමත
කළ යනාදී අර්ථයෙන් භාවිත වේ. ‘සංවෘති’ යන සංස්කෘත වචනයෙන් අදහස් කෙරෙන්නේ් ‘ආවරණය
වූ’ යනුවෙනි. ඒ අනුව මෙම සත්‍යයෙන් ලෝකයට වැසී පවතින සත්‍ය සඳහන් කළ බව ද,
බුදුරදුන් ව්‍යවහාරය ආශ්‍රය කරගෙන පරමාර්ථ සත්‍ය වදාළ බවත් ය. නාගාර්ජුනපාදයන්ගේ
මෙම මතවාදය ථේරවාද සම්ප්‍රදාය තුළ සඳහන් නොවේ.
පූර්වෝක්ත විග්‍රහයට අනුව බුදුසමය තුළ පෙන්වා දෙන සත්‍ය සංකල්පය වනාහි බෞද්ධයාගේ
අවසානික පරමාර්ථය වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කළ යුතු නිර්වාණාවබෝධය යි. එය කාය සහ වාග්
සංවරය තුළින් සදාචාර සම්පන්න දිවිපැවැත්ම වෙත පුද්ගලයා ගෙන යන අතර, ඒ ඔස්සේ මානසික
දියුණුව ද, දියුණු කරන ලද මනසින් ලොව යථාර්‍ථය ද නුවණින් අවබෝධ කර ගනී.
මෙලෙස ප්‍රත්‍යක්‍ෂ වශයෙන් සත්‍ය අවබෝධ කළ තැනැත්තා අසත්‍ය තුළ ගැලී සිටින ලෝකයා
වෙත නො බැඳේ. මෙම සංකල්පය තුළින් පුද්ගලයා සමාජගතව විඳීන අසීමාන්තික දුක දුරු කරලීම
ද, සන්තානගත දුක දුරලමින් සාංසාරික දුක ද කෙළවර කිරීමට මඟ පෙන්වන්නේ අන් හැම
දර්ශනවාද අබිබවමිනි. |