[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මැදින් පෝ දා අසිරිමත් සම්බුදු සිරි‍ෙතන්...

මැදින් පෝ දා අසිරිමත් සම්බුදු සිරි‍තෙන්...

සම්බුදු සිරිතේ බුද්ධත්වයෙන් මුල් වසර ගෙවෙමින් පවතිද්දී උදා වූ මැදින් පුර පසළොස්වක දිනය තරම් පුහුදුන් ලෝකයාට අතිශයින් සංවේදී වන අසිරිමත් සිදුවීම් රැසකට මුල පිරුණු තවත් දවසක් තිබේද?

ගිහි සුව අපරිමිත ව විඳීමින් එහි නිසරු බව දැන හැඳීන ගත්තේ විසිනව වෙනි වියට පා තබමින් සිටි සිදුහත් රජු ය. හදිසියේ අතුරුදහන් වූ තම ප්‍රිය පුතු සිද්ධාර්ථයන් පිළිබඳ මහත් සොවකින් පෙළුණු සුද්ධෝදන මහරජතුමා මොනතරම් කම්පනයකට පත් වෙන්න ඇතැයි ද අපට සිතා ගන්නට පුළුවන්.

දඹදිව පුරා බුද්ධත්වයෙන් වසරක් ගත වෙන්නටත් පෙර බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැතිරුණු යශෝරාවය අතිමහත් වූවක්. ගම් දනව් සිසාරා වේගයෙන් පැතිරෙන මේ කීර්ති ඝෝෂාව වසර හතක් පසුවෙමින් සිටිය දී තම පුතණුවන් පිළිබඳ මහත් ළතැවිල්ලෙන් කල්ගත කළ සුද්ධෝධන රජතුමාට ආරංචි වූයේ මේ වනවිට රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වසන බව යි. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීමේ ආශාවෙන් තෙරපෙමින් තම ඇමතිවරයකු රාජදූතයකු ලෙස දහසක් පිරිවර හා බුදුරජාණන් වහන්සේ වෙත පිටත් කර යවන්නේ මේ වකවානුවේ දි යි. එසමය කහ පැහැයෙන් මේරුණු කොළ බිමට පතිත වෙද්දී තද කොළ පැහැති වර්ණයෙන් රුක්ගොමුවල පල පත්‍ර දිලිසෙමින් තිබිය දී රත් පැහැති මල්වලින් ගහණ ගහකොළ සිරිය මෝදු වෙමින් තිබෙන මෙ සමයෙහි මේ ආකාරයෙන් නවවතාවත් පිරිවර සමඟ පිටත්ව යන ඇමතිවරයකු සහිත පිරිස බුද්ධ ශ්‍රාවකයන් ලෙස මේ සසුනට ඇතුළත් වී රහත් බව ලබා ගත්තා විනා තමන් පැමිණි කාරණය බුදුරදුන්ට දන්වා කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සිදු වූයේ නැහැ.ඒ අවස්ථාවේ සිදුහත් ගොයුම් බෝසතුන් උපන් දින ම උපත ලද කාලුදායි නම්, රජුට අතීශයින් හිතැති ඇමතිවරයා අමතා බුදුරදුන් වඩමවා ගෙන ඒවට කීවිට එක්වර ම කියා සිටියේ තමන්ට පැවිදි වීමට අවසර දෙනවා නම් ඒ කාර්යය ඉටු කර දෙන්නම් කියායි. එයට රජතුමා එකඟ වූ පසු එම වගකීම භාරගත් ඇමතිවරයා රජගහනුවරට පැමිණ බුදුරදුන් වෙත දහසක් පිරිවර සහිත ව පැවිදි වී රහත් බව ලබා සතියක් ඉක්ම වූ පසු සුදොවුන් රජුගේ ඇරයුම සැල කළා. කාලුදායි මහරහතන් වහන්සේ සැට යොදුන් වූ රජගහනුවර සිට කිඹුල්වත් නුවර දක්වා අසිරිමත් මහමඟ වර්ණනාවට ලක් කරමින් සිටි විට මෙම මැදින් පුර පසළෝසවක දින බුද්ධත්වයෙන් මාස දහයක් ඉකුත් වෙද්දී සැට යොදුන් මග දවසකට යොදුන බැගින් ගෙවමින් පා ගමනින්ම දුටුවන් සිත් සැදැහැ සිතින් සනසාලමින් අමා දම් වතුරෙන් සිසිල් කරවමින් කිඹුල්වත් නුවරට ළඟා වූයේ වෙසක් පුර පසළොස්වක දිනයකයි.

එදා භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි දින බාල ශාක්‍ය කුමරකුමරියන් පමණක් බුදුරදුන් නමදිද්දී වැඩිහිටි ශාක්‍යයන්ගේ රාජමානය ද දුරුකරවාලමින් යමාමහපෙළහර දක්වා බුදු බලයේ අසිරිමත් බව මොනවට පෙන්වා වදාළා. මේ පෙළහර දුටු පියරජතුමා බුදුසිරිපා නමදිමින් මෙය සිය පුතුට තෙවන වැඳීම යැයි ප්‍රකාශ කරමින් බුදුසිරිපා නැමද සිටියා.

දෙවන දවසේ බුදුරජාණන් වහන්සේ විසිදහසක් වූ රහතන් වහන්සේ පිරිවරා ගෙපිළිවෙළින් කිඹුල්වත් නුවර පිඩුසිඟා වඩින විට එය දුටු යශෝධරාව මෙය රාජ වංශයට අපහාසයකැයි පියරජුන් දැනුවත් කළ විට එයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ ඒ ඔබේ රාජවංශය වුණත් මේ බුද්ධවංශයේ සිරිත බව පෙන්වා දෙමිනුයි. මෙය බුදු සිරිතේ අසිරිත්මත් බව පෙන්වා දීමක්..

මෙසේ අතරමඟදී හමු වූ පියරජුට උත්තිට්ඨෙ න පමජ්ජෙය්‍ය යන ගාථා පාඨයෙන් දම් දෙසූ අවසන රජතුමා සොවාන් වුණා. රජමාළිගාවට වැඩමවා දන් වළඳා අවසන ධම්මං චරෙ සුචරිතං ආදී ගාථාවෙන් දම් දෙසූ විට සකෘදාගාමි වීමට තරම් රජතුමා ශක්තිමත් වුවා. බුදුරජාණන් වහන්සේ සසර දිගේ පෙළ ගැසුණු පිය ණය ගෙවා අවසන් කළා.

මේ අවස්ථාවේ රාජමාලිගාව ඇසුරේ සිටි සියලු ශාක්‍ය කුලකුමාරිකාවෝ බුදු සිරිපා නමදින්නට මාලිගාවට එක් වුවත් යශෝධරාව පැමිණියේ නැහැ. තමන්ගේ යම් ගුණයක් “එදා බෝසත් සිරිතේ සිට හඳුනා ගත්තා නම් බුදුරදුන් තමන් දැකීමට තම මාලිගාවට වඩිනවා ඇත” යන අදහසින් යශෝධරාව කල් ගත කළා.මෙය ද අසිරිමත් සිතිවිල්ලක් නොවේ ද? බුදුරජාණන් වහන්සේ සමඟ පියරජු යශෝධරාවන්ගේ ගුණ වනමින් සිටි විට ජාති ජාතිත් පැවැති උතුම් පතිව්‍රතාවට බුහුමනක් ලෙසින් දෝ ඇය විසූ මාලිගාවට පියමන් කළ විට පැන වූ අසුන්හි වැඩසිටි විට මේ අසිරිමත් රාහුල මාතාවෝ බුදු සිරිපා දෙ අතින් අල්ලා සිහිමඳ ව වැඳ වැටුණු අවස්ථාව කෙ තරම් නම් සංවේදී වූවක් ද?

බුදුරජාණන් වහන්සේ හඬා වැළපෙන යශෝධරාවන්ගේ බුදු සිරිපා වන්දනාවට තවදුරටත් ඉඩ තබමින් මහාකරුණාව පතුරුවමින් වැඩ සිටිවිට තවත් මොහොතකින් සිහිය ලද යශෝධරාවන් ඈත් මෑත් වූ විට සුදොවුන් රජතුමා සැබෑ පතිනියක වූ ඇයගේ ගුණ කියන්නට වූවා. මේ අවස්ථාවේ සඳකිඳුරු ජාතක කථා පුවත බුදුමුවින් ප්‍රකාශ වන්නට ද වූවා. එයින් ප්‍රකාශ වුණේ ජාති ජාතිත් ඇය තුළ පැවැති කාන්තාවකට සැබෑ ශක්තියක් වූ පතිව්‍රතා ගුණ දහමයි. පතිකුල සිරිත යි. මේ අවස්ථාවේ තමන්ට ද උතුම් ප්‍රව්‍රජ්‍යාව ඇවැසි බව ඇය ඉල්ලා සිටියත් ඒ ඉල්ලීම බුදුරදුන් ඉවත දැමුවේ සසර පෙරුම් පුරා මෙහෙණි සස්න ඇතිකිරීමට තිර අදිටනින් පෙළගැසී සිටි මහා ප්‍රජාපතී ගෝතමියගේ උතුම් පැතුම යශෝධරාවන් නිසා ඉවත දැමිය නො හැකි උතුම් බුදු ගුණය නිස යි.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩි දෙවෙනි දින මෙවැනි සිදුවීමකින් ඉකුත් වෙද්දී තෙවන දින රජමළිගාවට වැඩියේ තමන් වහන්සේගේ ගිහි කල සොයුරු නන්ද කුමරුගේ රාජාභිෂේකය, නවමාළිගා ප්‍රවේශය හා විවාහ මංගල්‍යය සිදු වන උත්සව දිනයේ යි. නන්ද කුමරුගේ රාජමාළිගාවේ දී දන් වළඳා අවසන නන්ද කුමරු අතට පාත්‍රය දුන් බුදුරජාණන් වහන්සේ කුමරු සමඟ ම විහාරයට වැඩිනු දුටු විවාහ ගිවිස ගත් ජනපද කල්‍යාණිය ‘ගියත් හිමියනි වහා එන්න’ යන ආදරබර වදන් කන වැකෙත්දීත් පාත්‍රය තවදුරටත් අත රඳවා සිටි නන්ද කුමරු වෙහෙරට ගිය කල සම්බුදුරදුන් වෙත උතුම් පැවිදි බව ලබා පසුව රහත් බවට පත් වුණා. රජුගේත් නන්දකුමරු හද දිනූ ජනපද කල්‍යාණියගේත් සියලු පැතුම් සුණු විසුණු වුණා. මෙයත් බුදුඇසින් නම් අසිරිමත් වූවක් ම යි.

බුදුරදුන් කිඹුල්වතට වැඩි සත්වන දිනයේ නැවතත් විසි දහසක් රහතන් වහන්සේ පිරිවරා රාජමාළිගාවට වැඩම කළ දින සිදු වූයේ තවත් අසිරිමත් සිදුවීමක්. එදා මහමඟ සනසමින්, දුටුවන් සිත් පිනවමින් මේ අසිරිමත් පා ගමන දකින යශෝධරාවෝ සිය පුතු සත්වස් වියැති රාහුලයන් ලවා නරසිහ ගාථා කියවා සම්බුදු අසිරිය කියා පා තම පියාණන් වූ බුදුරදුන්ගෙන් දයාද ඉල්ලා ගෙන එන්නයි මහමඟ වඩින බුදුරදුන් වෙත පිටත් කර හැරියේ කෙ තරම් පැතුම්බරව ද? එය ද අසිරිමත් සිදුවීමකි.

සුදොවන් පිය රජතුමා රාජමාළිගාවේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවක මහා සංඝරත්නය දන් වළඳවා අවසන් වූ විට තමන් වහන්සේගේ පිටුපස බුදුරුව සෙවණැල්ල අත්නොහැර සිටි රාහුලයන් “පියාණනි, ඔබ සෙවණෙහි වාසය කිරිම මට අති මහත් සැපක්” කියා සුරතල් වදන් කියමින් විහාරයට ම පියමන් කළ විට කිසිවිටෙකත් නො පැතූ නො සිතු සිදුවීම වුණේ බුදුරදුන් විසින් සැරියුත් තෙරුන් වෙත භාර කළ සත්හැවිරිදි රාහුලයන්ට උතුම් පැවිද්ද නම් ආර්ය දායාදය ලබා දීමෙනුයි.

මහත් කම්පනයක් රජතුමා තුළත්, දරාගත නොහැකි වේදනාවක් යශෝධරාවන් තුළත් ඇති කරමින් මෙසේ මෙම අනුවේදනීය සිතිවිලි පෙළගැසෙනවිට ක්ෂණයකින් පියරජතුමා විහාරයට දිව ගොස් බුදුරදුන් හමුවට පැමිණ දරු සෙනෙහස සම්, මස්, නහර, ඇට. ඇට මිදුලු පසාරු කර ගෙන ගොස් හැපී නවතින බව ප්‍රකාශ කරමින් මහත් දුක් අඳෝනා මුවඟට නඟමින් මින් ඉදිරියටවත් ස්වාමීනි, මවුපියන් අවසර නො ලද කුලදරුවන් පැවිදි නො කරන ලෙස රජතුමා කළ ඉල්ලීමට බුදු සිත මෙහෙය වූ ගොයුම් ගොත් බුදුරජාණන් වහන්සේ එය මුළු සිතින් ම පිළිගෙන මෙයින් පසු එවැනි දෙමාපිය අවසර නො ලත් දරුවන් පැවිදි නො කිරීමට සිය ශ්‍රාවකයන්ටත් නියම කළා.

පසුදින රාජමාළිගාවට වැඩි බුදුරජාණන් වහන්සේ පියරජතුමාගේ සසර දිගේ ආ දැහැමි ගුණ පවසමින් මහා ධර්මපාල ජාතකය දේශනා කළා. එය ඇසූ රජතුමා අනාගාමි ඵලයට පත් වුණා.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]