[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අනුන් රැවටීම ජාතියෙන් ජාතියට බරපතළ විපාක ගෙන එන පාපයකි

අනුන් රැවටීම ජාතියෙන් ජාතියට බරපතළ විපාක ගෙන එන පාපයකි

නමො තස්ස භගවතො - අරහතො සම්මා සම්බුද්ධස්ස
අත්තාන මෙව පඨමං - පතිරූපෙ නිවෙසයෙ
අථඤ්ඤ මනුසාසෙය්‍ය - න කිලිස්සෙය්‍ය පණ්ඩිතො

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි උපනන්ද තෙරුන් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.

සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැසි උපනන්ද තෙරුන් වහන්සේ මනාකොට දම් දෙසුමෙහි ඉතා සමත් ය. වචන මාලාව සිත් ඇදගන්නා සුළු ය. මේ නිසා ගම් නියම් ගම්වල ජනතාව මෙම උපනන්ද තෙරුන්ට ධර්ම දේශනා සඳහා ආරාධනා කරති. එමෙන්ම එම දහම් අසා ඉතා ශ්‍රද්ධාවෙන් මහණ දම් පුරා තම තමන්ගේ පැවිදි පරමාර්ථ ඉෂ්ඨ සිද්ධ කර ගත්හ.

මෙසේ වියත් බණ දේශනාවට පැහැදෙන ශ්‍රද්ධාවන්තයෝ නොයෙක් පිරිකර පූජා කරති. දම් දෙසුමෙහි වියත් බව නිසා වස්වසන සමයක සතර පොලකින් ආරාධනා ලැබිණ. ඒ සතරම බාර ගෙන පළමු තැන පාවහන් සඟළ ද, දෙවැනි තැන සැරයටිය ද, තෙවැනි තැන ඩඹරාව හෙවත් පැන් පෙරන බඳුනද, තබා බොහෝ පිරිකර ලැබෙන තැනෙක වස් විසූහ. වරින් වර එම සතර පොලේම දම් දෙසා ලැබෙන පිරිකර කරත්තයක පටවා ගෙන යති.

අතරමඟ විහාරයක භික්ෂු දෙනමකට ලැබුණ පිළි දෙකක් හා පලසක් බෙදාගත නොහැකි ව සිටින අතර උපනන්ද තෙරුන් එම පිළිදෙක දෙනමට දී මේ පලස දම් දෙසන අපට සුදුසු යැයි කියා ඒ පලස ගෙන ගියහ. එම පලස පූජා ලැබූ දෙනම අප බුදුරදුන්ට මේ සිද්ධිය සැළ කර සිටියහ.

අප බුදුරජාණන් වහන්සේ එම භික්ෂුවට ගැරහුම් කොට පළමු කොට තමා ම සුදුසු ගුණයෙහි පිහිටුවා ඉන්පසුව අනුන්ට අනුශාසනා කළ යුතු බවත්, එසේ කරන නැණවතා නොකෙලෙසෙන බවත් දේශනා කොට වදාළ සේක.

පස් පවින් වැළකී, දස අකුසල් නොකිරීමෙන් හා දාන සීල භාවනාවේ යෙදෙන්නේ නම් කෙනෙක් පතිරූප හෙවත් උසස් සමාජගත අවශ්‍යතාවයට යෝග්‍ය වන්නේ ය. පුද්ගලයාගේ පාරිශුද්ධත්වය පුද්ගලාන්තරව ව්‍යාප්ත වන විට සමාජයක් යහපත් වන්නේ ය.

පුද්ගලයාගේ මනස දූෂණය වීමට ප්‍රධාන වන්නේ වංචාවයි. මෙය ගිහි පැවිදි සෑම දෙනාගේ ම අවංක පැවැත්මට බාධා වන්නේ ය. බොරුව, හොරකම වේ නම් සමාජයේ පොඩි මිනිසාගේ පටන් රාජ්‍ය තාන්ත්‍රිකයා දක්වා අගතිගාමී ක්‍රියාවන් සිදුවන්නේ ය. කෙනකු කුඩා කල පටන් වංචාවට පුරුදු වුවොත් ඔහු ජීවිතය පුරාවට අපරාධ කාරයෙක් වන්නේ ය.

ආගම දහම මෙයට වඩා ශාස්ත්‍රීය ලෙස හඳුන්වාදීම, අවංක ආගමික නායකයන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගැනීම, ගිහි පැවිදි අවංක නායකයන්ගේ පරමාදර්ශය, යම් විෂයක් කියා දෙන විට එය ශාස්ත්‍රීය ලෙස දැන ගැනීම, පරාර්ථකාමී වීම යුගයේ අවශ්‍යතායකි. වංචාවෙන් කෙතරම් භෞතික සම්පත් ලබා ගන්නේ ද ඒවා සියල්ල ම විනාශ වනවා පමණක් නොව ඒ නිසා සිදුවන අකුසල් නිසා භවයක් පාසා දුක් වේදනා විඳින්නේ ය.

මන හෙවත් මනස උසස් මෙම විශ්වයේ සුවිශේෂ සත්වයා වංචාවෙන් රවටන්නේ තවත් මිනිසෙකි. ඒ නිසාම එහි ප්‍රතිවිපාක ජාතියෙන් ජාතියට විපාක දෙන්නේ ය.

ප්‍රථමයෙන් තමාට තමා අවංක වීමෙන් යළි සමාජය සමඟ අවංක සුහදතාව ඇති කර ගන්නේ නම්, එය උදාර මනුෂ්‍ය ගතියකි. මෙම උතුම් ධර්ම දේශනාව කියවීමෙන් දෙලොව යහපත හා අවසානයේ නිවන සම්පත් ලබා ගැනීමට උත්සාහ ගන්න.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]