[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සියලු දුක් අවසන් කරන්නට අවිද්‍යාව පරදවා විද්‍යාව උපදවා ගමු

සියලු දුක් අවසන් කරන්නට අවිද්‍යාව පරදවා විද්‍යාව උපදවා ගමු

බුද්ධ වචනයට අනුව අද අදම නිවැරැදි දෙය නොපමාව කර ගන්න. ඊළඟ බුද්ධ ශාසනයට නිවන කල් දමන්න එපා. අප්‍රමාදි වන්න. එළඹී සිටින ඉරියව්වට සිහිය උපදවා ගෙන සතර සතිපට්ඨානය වඩන්න.

මාර්ග ඵලයකට පැමිණිය නොහැක යන මිථ්‍යා ආකල්පයකට බැස ගෙන සිටින බොහෝ බෞද්ධ ශ්‍රාවක පිරිසක් අද සිටිති. එදා ගෞතම බුදුපියාණන් වහන්සේ ජීවමාන ව සිටි අවධියේ බොහෝ පින්වත් පිරිස් නිවන් අවබෝධ කළා. ඒ නිසා අද බුදුරජාණන් වහන්සේ ජීවමාන නැත. ඉතිරිව සිටින්නේ දුප්ප්‍රඥයින් බවත්, ඒ පිරිසට මේ බුද්ධ ශාසනය තුළ මාර්ගඵලයකට පැමිණිය නොහැකි බවටත් බොහෝ දෙනා තුළ වැරැදි ආකල්පයක් නිර්මාණය වී ඇත.

මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණු දවසක එම බුද්ධ ශාසනය තුළ ඉපිද, උන්වහන්සේගෙන් බණ අසා, මාර්ග ඵලයකට පත් විය හැකි බවට විශ්වාස කර ගෙන ඒ සඳහා සූදානම් වන අය ද සිටිති.

මෙලෙසට මිථ්‍යා මත දැරූ බොහෝ පිරිසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ ද ජීවත් වූහ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ද පිරිහීමට බඳුන් වෙමින් පැවතිණි. මේ නිසා බොහෝ පිරිසක් මාර්ග ඵලයකට පත්විය නොහැකි යැයි සිතමින් පින්දහම් කරමින් පමණක් ජීවිතය ගෙවා දමමින් සිටියහ.

මෙවැනි ආකල්පයන්ට අභියෝග කරමින් එදා ජීවත් වූ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේ හත් නමක් විශාල පර්වතයක නැඟ සමථ විදර්ශනා වැඩූ බවට සඳහන් කතා පුවතක් බොහෝ දෙනා දනිති. එම කතා පුවත ආදර්ශයට ගෙන අද සිටින බෞද්ධ ශ්‍රාවක පිරිස් වීරිය, නුවණ, සිහිය උපදවා ගෙන එම ප්‍රතිපදාවේ යෙදෙන්නේ නම් බුදුරජාණන් වහන්සේ අපේක්ෂිත ධර්මාවබෝධයට පැමිණිය හැකි ය. නොඑසේ නම් ලෙහෙසියෙන් පහසුවෙන් නිවන් දැකිය හැකි වෙනත් පහසු මාර්ගයක් ඊළඟ බුද්ධ ශාසනයක් තුළින් බලාපොරොත්තුවීම මෝඩ ආකල්පයකි.

ඒ බුද්ධ ශාසනය තුළ ද ඔබ ඉපදුණා යැයි මොහොතකට සිතමු. හේතු සම්පත් සහිත ව ඉපදුණ ඔබට මෙවැනි ම සිතිවිල්ලක් පහළ වී ඊළඟ බුද්ධ ශාසනයකට නිවන කල් දැමීමට සිදු විය හැකි ය. එසේ වුවහොත් ඔබ විශාල අවුලක පැටලීමට සිදු වේ.

කාශ්‍යප බුද්ධ ශාසනය තුළ පහළ වූ ඉහත හත් දෙනා වහන්සේට එවැනි දුෂ්පාඥ‍්‍ර සිතිවිල්ලක් පහළ වූයේ නැත. කෙසේ හෝ මාර්ග ඵලයක් ලබා ගන්නවා යැයි සිතමින් ප්‍රාර්ථනා කරමින් නිවෙස්වලට වෙලා කාම සම්පත්තිය වින්දේ ද නැත. එම පින්වත් ස්වාමින් වහන්සේ වෙර වීර්ය ගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දහම් මාර්ගයේ ගමන් කිරීමට අධිෂ්ඨාන කළහ.

‘අපි ආහාර නොගෙන, නිදිවරමින්, කතා නොකර අර පේන විශාල කන්දට නැඟලා කන්දෙන් නොබැස ජීවිතය පරදුවට තබා සමථ විදර්ශනා භාවනාව පුරුදු කරමුයි” කියා කථිකා කර ගත්හ.

එසේ වෙර වීරිය ගෙන භාවනා කරමින් සිටි ඒ පින්වත් හිමිවරුන් අතරින් එක් නමක් සියලු කෙලෙසුන් නසා සිව්පිළි සිඹියාපත් මහරහත් බවට පත්වූහ. තවත් නමක් අනාගාමි තත්ත්වයට පත්වූහ. රහත් භාවයට පත්වු රහතන් වහන්සේ ආහාර ජලය නොමැති ව භාවනා කරන හිමිවරුන්ට ඍද්ධියෙන් ගොස් ආහාරපාන රැගෙන එන්න ද කියා විමසා සිටියහ. එහෙත් එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ හිමිවරුන් කියා සිටියේ ජීවිතය පරදුවට තබා භාවනා කරන බවයි.

ඉන් අපට ගෙන එන ආදර්ශය සුළුපටු නම් නොවේ. ඒ හිමිවරුන් තවමත් පෘථග්ජන වේ. එහෙත් සසර දුක දැක දැක අපාය දුක දැක දැක ඉන් මිදීම සියල්ලට ම වඩා උතුම් යැයි කියන ප්‍රඥාවන්ත සිතිවිල්ල මතම පිහිටා හිමිවරුන් ලෞකික සැපය අතහැර භාවනා කළහ.

මින් අපට විශාල ආදර්ශයක් ගෙන දෙයි. පංචකාම සැප සම්පත්වලට ම ගිජුව, ඒ ඔස්සේ හඹායන බොහෝ දෙනා ලෝකෝත්තර සැපයට ගරහමින් ලෞකික සැපයට ම ඇලෙති. ඒ ඇලීම ගැටීම තුළ ඇති වෙහෙස, පීඩාව, දුක ඔව්හු නොදකිති.

ඒ බව දත් භාවනා කරමින් සිටි ඉතිරි පස්දෙනා ලෞකික සැපයට ඇලුනේ නැත. ගැටුනේ නැත. සියල්ල විදර්ශනා කළහ. දින කීපයකින් ඔව්හු පස්දෙනා ම කිසිදු මාර්ග ඵලයක් නොලබා ම මරණයට පත්වූහ.

නුවණින් මෙනෙහි නොකර පෙනෙන මට්ටමින් පමණක් ඒ මරණ පිළිබඳ සිතන බොහෝ දෙනා ම ඒ මරණ ගැන සිතන්නේ අපරාදේ මහන්සිය විතරයි. මැරිලා ගියා කියන සිතිවිල්ල පමණි. එහෙත් එහි හේතුඵල දහමක් ඇත.

තමන් පුරුදු කරන හොඳ හෝ නරක හෝ තමා පසු පස එන බව ධම්මපද පාලියේ එන මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනොමයා’ ආදි ගාථා රත්නයෙන් ඒ බව පැහැදිලි වේ.

තමා කළ යහපත් හෝ අයහපත් හෝ යම් ක්‍රියාවක් වේ ද එය තමා පසු පස එන බවයි.

මේ ධර්මතාව මේ පස් දෙනාට ද සාධාරණ විය. ඒ හිමිවරුන් උඩට නැඟ වෙර වීරිය ගත්තේ දුකින් මිදීම සඳහා ය. ඒ සඳහා අදාළ ප්‍රතිපදාවේ යෙදුනහ. නමුත් ජීවිතයෙන් සමු ගැනීමට පෙර මාර්ග ඵලයක් ලබා ගැනීමට නොහැකි විය. එහෙත් හේතුඵල දහමට අනුව මරණයෙන් පසුව ඒ උත්සාහයට අනුකූල ව අදාළ උප්පත්තිය සුදුසු තැනක සකස් විය. සතර අපායෙන් තොරව ඉපදෙමින් මැරෙමින් අපේ ගෞතම බුද්ධ රාජ්‍ය තුළ උප්පත්තිය සකස් විය. එදා ගත්ත උත්සාහයේ මල්ඵල ගැන්වීම ගෞතම බුද්ධ රාජ්‍ය තුළ සිදු විය. එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පිළිවෙත් පුරා රහත් භාවයට පත්වූහ.

මෙනිසා බුද්ධ ශාසනය නොපිරිහෙන බවත්, පිරිහීම ඇත්තේ පුද්ගලයා තුළ බවත්, වෙර වීර්ය ගෙන එම ප්‍රතිපදාවේ යෙදෙන කවරකුට හෝ ඉන් ලාභයක් මිස අලාභයක් නොවන බවත් කියැවේ.

එබැවින් ඔබ අද ආරම්භ කර ඇති වැඩපිළිවෙළ කුමක්ද? ඔබ කරන කියන හිතන දේට අනුකූල ව ඔබගේ සැපය හෝ දුක ඔබ කරා ළඟාවීම ස්වභාවයකි. ලෞකික සැපය හා දුක තාවකාලික ය. ඒ කිසිවක නො ඇලී නොගැටී පටිසෝතගාමී වැඩපිළිවෙළකට ඔබගේ ගමන් මාර්ගය නිවැරැදි කර ගන්න. මේ ලැබූ මිනිසත් බව අවභාවිත නොකර දුකින් මිදීමේ ප්‍රතිපදාවක යෙදෙන්න. නැවත මිනිසත් බවක් ලැබේ ය යන ආකල්පය පුස්සක් විය හැකි ය.

අෂ්ට දුෂ්ඨස්සනවලින් මිදුණ දුර්ලභ මනුෂ්‍ය පටිලාභය ගැන ඔබ දැනටමත් එහි අගය වටහා ගෙන ඇත.

බුද්ධ වචනයට අනුව අද අද ම නිවැරැදි දෙය නොපමා ව කර ගන්න. ඊළඟ බුද්ධ ශාසනයට නිවන කල් දමන්න එපා. අප්‍රමාදි වන්න. එළඹි සිටින ඉරියව්වට සිහිය උපදවා ගෙන සතර සතිපට්ඨානය වඩන්න. ඒ සඳහා මේ බුද්ධ ශාසනය ප්‍රමාණවත් ය. කල්‍යාණ මිත්‍රයා හඳුනා ශ්‍රී සද්ධර්මය සිහියෙන් යුතුව ශ්‍රවණය කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් යුතුව අසාගත් ධර්මය මෙනෙහි කරන්න. ඒ අනුව ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදී ඇත්ත ඇති සැටියෙන් දකින්න. අවිද්‍යාව අතික්‍රමණය කර විද්‍යාව උපදවා ගන්න. එවිට සියලු දුක් අවසන් ය.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]