[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුදුරදුන් වදාළ ප්‍රතිපදාව අවංක ව සපුරනවා නම්සෝතාපන්න බව දුර නොවේ

බුදුරදුන් වදාළ ප්‍රතිපදාව අවංක ව සපුරනවා නම් සෝතාපන්න බව දුර නොවේ

බුදුරජාණන් වහන්සේ වදාළ විමුක්ති ප්‍රතිපදාවට අයත් ආධ්‍යාත්මික දියුණුවේ අටවැදෑරුම් සන්ධිස්ථාන (මාර්ග-ඵල) අතුරෙන් පළමු අවස්ථාව සෝවාන් හෙවත් සෝතාපන්න යනුවෙන් හැඳීන්වේ.

වරක් භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ අමතා වදාළ පරිදි සෝත යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි.

බුදුරදුන් වදාළ පරිදි සෝත හා සෝතාපන්න යනුවෙන් අදහස් වන්නේ විමුක්ති මාර්ගය හා එයට අවතීරණය වීමයි. සැඩ පහර හැඳීන්වීමට සෝත යන්න යෙදේ. එයට හසුවන පුද්ගලයා මුහුදට ගසාගෙන යන්නාක් මෙන් ආර්ය මාර්ගයේ ආරම්භක පියවර තැබූ සෝතාපන්න පුද්ගලයා නියත වශයෙන් එම ගමන නිමා කොට විමුක්තිය සාක්‍ෂාත් කරයි.

ඒ හෙයින් එම තැනැත්තා ආර්ය මාර්ගයෙන් නොගිලිහෙන ස්වභාවය ඇත්තේ නියත වශයෙන් ම විමුක්තිය සාක්‍ෂාත් කරන්නකු වේ.

එහෙත් නියත සම්බෝධිපරායන වීම කෙනකු හිතන තරම් පහසු කාර්යයක් නොවේ. ඇතැම් පුද්ගලයන් සෝත හා සෝතාපන්න යන්නෙහි ධර්මානුකූල අරුත් නො සලකා තම සිතැගි පරිදි විවරණය කිරීමට යෑමෙන් ඒ සම්බන්ධයෙන් වැරැදි අදහස් රැසක් සමාජ ගතකර තිබෙන අතර ම පෙළ දහම ගැන අවබෝධයක් නොමැති අය එම විවරණ අදානග්‍රාහීව ගැනීමෙන් වැරැදි ආකල්ප හා නිගමනවල පිහිටා කටයුතු කරනු දක්නට ලැබේ.

නිතර සජ්ඣායනා කරනු ලබන රතන සූත්‍රයෙහි දැක්වෙන පරිදි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ ලක්‍ෂණ තුනකි.

එනම් දස සංයෝජන ධර්ම අතුරින් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා හා සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම බැහැර කොට තිබීම පළමු ලක්‍ෂණය යි .

දෙවැන්න නම් ස්ථිර වශයෙන් ම සතර අපායෙන් මිදුණේ, නැවත එවැනි දුගතියක උපත නො ලැබීම යි.

එසේම දෙවන භවයේ දී අනිවාර්යයෙන් ම විපාක විඳීමට සිදුවන පංච ආනන්තරිය පාප කර්ම සෝතාපන්න පුද්ගලයාගෙන් සිදු නොවීම තෙවන ලක්‍ෂණය යි.

අංගුත්තර නිකායේ පළමු කාණ්ඩයේ එන සමණ වග්ගයේ දැක්වෙන පරිදි කෙනකු සෝතාපන්න භාවයට පත්වීමත් සමඟ දස සංයෝජන ධර්ම අතුරින් පළමු සක්කාය දිට්ඨිය, හෙවත් ආත්ම දෘෂ්ටිය නැතහොත් සියලු ස්කන්ධ ධර්ම තුළ නිත්‍යවූත්, සාරවූත්, සදාතනිකවූත් නොවෙනස් වන ආත්මයක් පවතී ය යන විශ්වාසය හා දෘෂ්ටිය බැහැර වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අවබෝධයක් හා පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම පිළිබඳ නිරවුල් දැක්මක් ඇති කර ගැනීමෙනි.

දෙවන සංයෝජනය වන විචිකිච්ඡාව හෙවත් විමුක්ති මාර්ගය හා එහි නිෂ්ඨාව පිළිබඳ පවතින අවිශ්වාසය හා සැකය බැහැර වන හෙයින් බුදුරදුන් වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාවට නැංවීමෙහි ලා තිර අධිෂ්ඨානයක පිහිටා කටයුතු කරයි.

මාර්ගය හා ප්‍රතිපදාව නිසැක හෙයින් විමුක්තිය පිණිස අදාළ නොවන ආගමික වත්පිළිවෙත් හා චර්යාවලින් බැහැරවීම සීලබ්බතපරාමාස සංයෝජන ධර්මය ඉවත්වීමෙන් සිදුවේ. තථාගතයන් වහන්සේ ප්‍රථම වරට පංච වර්ගීය භික්‍ෂූන් වහන්සේ අමතා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ කල්හි කොණ්ඩඤ්ඤ හිමියන්ට දහම් ඇස පහළ වූ අයුරු (ධම්මචක්ඛුං උදපාදි) සඳහන් වේ. උන්වහන්සේ සෝතාපන්න තත්වයට පත් වූ බව තහවුරු වන්නේ සියලු ධර්මයන්හි සමුදය හා නිරෝධය දුටු හෙයිනි ( යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං).

සෝතාපන්න වීමත් සමඟ ඉවත් වන්නේ සංයෝජන ධර්ම තුනක් පමණි. තවත් බලවත් සංයෝජන ධර්ම පහක් ඉතිරි ව තිබේ. එබැවින් සෝතාපන්න පුද්ගලයාගෙන් පංච ආනන්තරිය පාප කර්ම සිදු නොවන මුත් වෙනත් පාප කර්ම හෝ වැරැදි සිදුවීමට ඉඩකඩ තිබේ. එයට හේතුව පාපයට හා අකුසල ක්‍රියාවලට තුඩු දෙන ලෝභ, දෝස, මෝහ තවදුරටත් පවතින හෙයිනි. එසේ පාපයක් සිදුවුව ද එය වරදක් බව වටහා ගෙන වහා එයින් වැළකීමට සෝතාපන්නයාට හැකි හෙයින් එම තැනැත්තා කුසල ප්‍රතිපදාවෙන් පහතට නො වැටෙන බව (අවිනිපාත ධම්මො) රතන සූත්‍රයෙන් පැහැදිලි වේ. එසේ වුව ද මේ දේශනා පාඨ ඉතා පරිස්සමෙන් වටහා ගත යුතු අතර, හිතු මනාපය පරිදි අර්ථ විවරණය නො කිරීමට ද වගබලා ගත යුතු වේ.

සංයුත්ත නිකායේ ගිජ්ඣකාවසත සූත්‍රයෙහි දැක්වෙන පරිදි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත පංචශීල ප්‍රතිපත්තියේ තිර වශයෙන් පිහිටි අයකු වේ. තෙරුවන් කෙරෙහි පවතින ඔහුගේ හෝ ඇයගේ හෝ ශ්‍රද්ධාව නොසෙල්වන ස්වභාවයෙන් (අවෙච්චප්පසාද) යුක්ත ය.

බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු දැන තම ශ්‍රද්ධාව හෙවත් විශ්වාසය තහවුරු කරගෙන ඇති හෙයින් එයින් පරිබාහිර වෙනත් ආගමික ප්‍රතිපදාවක පිහිටා කටයුතු නොකරයි. බුදුරදුන් හැර වෙනත් ආගමික ශාස්තෘවරයකු සරණ යෑමක් කිසි කලෙකත් සිදු නොවේ.

තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය, උන්වහන්සේ වදාළ විමුක්ති මාර්ගය (ධර්මය), එය අනුගමනය කළ ආර්යන් වහන්සේ පිළිබඳ විශ්වාසය නිෂ්ඨාවට පත්ව ඇති හෙයින් ආර්ය ප්‍රතිපදාවෙහි ස්ථාවර ව පිහිටා සිටී. එසේ ම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ ශීලය හෙවත් ශික්‍ෂණය ආර්යයන්ගේ සිත් (අරියකන්ත) ගත් ආර්යයන් විසින් අනුගමනය කරනු ලබන පංච ශීලයෙන් පරිපූර්ණත්වයට පත්ව තිබේ.

ඒ අනුව දිවි හිමියෙන් ම පංච ශීලයෙහි පිහිටා කටයුතු කිරීම සෝතාපන්න තැනැත්තාගේ ස්වභාවය යි. කිසිදු හේතුවක් නිසාවත් එම ප්‍රතිපත්තිය කඩ නොකර අනුගමනය කිරීම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ ලක්‍ෂණය යි. ඉහතින් දැක්වූ පරිදි සෝතාපන්න භාවයට පත් පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීරණය වී එහි හික්මෙන පුද්ගලයෙකි. සංයෝජන ධර්ම තුනක් බැහැර කොට ත්‍රිලක්‍ෂණය හා ප්‍රතීත්‍ය සමුත්පාදය පිළිබඳ අවබෝධයකින් යුක්ත තිසරණයෙහි ස්ථාවරත්වයට පත් වූ අයකු වේ.

සෝතාපන්න භාවයට පත්වීම සඳහා සැපිරිය යුතු ප්‍රතිපත්ති හතරක් සංයුත්ත නිකායේ දුතිය සාරිපුත්ත සුත්‍රයේ දැක්වේ. එනම් සත්පුරුෂ ආශ්‍රය ලැබීම, ධර්ම ශ්‍රවණය, ඇසූ ධර්මය මුල සිට අගට කල්පනා කර බැලීම හා දහමෙහි හැසිරීම යන ප්‍රතිපත්ති හතරයි.

බුදු දහමට අනුව සත්පුරුෂ හෝ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍ය වන්නේ ධර්මය ඉගෙනීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම හා සහයෝගය ලබා ගැනීම උදෙසා ය. ලෝකයේ යථා ස්වභාවය දැක දැන අවබෝධ කොට කල්‍යාණ මනසින් යුතුව අන්‍යයන්ට පැහැදිලි කරදීම සත්පුරුෂයකුගේ කාර්ය වේ. දහම පිළිබඳ යථාවබෝධය ලැබූ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්ගේ ධර්ම විවරණවලට සවන් දෙන පුද්ගලයාට ඒ සනාතන දහම පිළිබඳ මනා අවබෝධයක් ලැබිය හැකි වේ. ධර්ම ශ්‍රවණයෙන් සිදුවන්නේ එයයි.

ඇසූ ධර්මය මුල මැද හා අග යනුවෙන් නුවණින් මෙනෙහි කළ යුතු වේ. ධර්මයෙහි අරුත් සැකෙවින් විමසා බැලිය යුතු වේ. ඉක්බිති ඇසූ ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවීමත්, ධර්මය ස්වකීය අත්දැකීමක් බවට පත්කර ගැනීමත් අත්‍යවශ්‍ය වේ. දුතිය සාරිපුත්ත සූත්‍රය යටතේ එන ප්‍රතිපත්ති හතර වර්තමානය හා ගැලපීමේ දී කෙනකුට තනිව වුව ක්‍රියාත්මක විය හැකි ය. බුද්ධ වචනය ලියැ වී තිබෙන ධර්ම ග්‍රන්ථ සංයමයකින් යුතුව කියවීමෙන් හා ඒවායේ අරුත් විමසීමෙන් කෙනකුට ධර්මය පිළිබඳ මනා අවබෝධයක් ලැබිය හැකි ය. එනිසා බුදුරදුන් වදාළ ප්‍රතිපදාව අවංකව සපුරන්නකුට සෝතාපන්න භාවය එතරම් දුර නොවන බව වටහා ගැනීම අවශ්‍ය වේ.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]