[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඓතිහාසික කැලණිය රාජමහා විහාරයීය දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවය

ඓතිහාසික කැලණිය රාජමහා විහාරයීය දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවය

ඓතිහාසික වශයෙන් මෙන් ම පූජනීයත්වය අතින් ද කැලණි පුරවරයට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. ලක්දිව පුරාතනම නගරයක් වන කැලණියෙහි ඉතිහාසය බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයෙනුත් ඔබ්බට දිව යයි.

ජිවිත කාලයෙන් එක්වරක් හෝ සැදැහැ සිතින් කැලණි පුදබිම වන්දනා කිරීම එතෙක් ජීවිතය පුරා සිදුකළ සියලු පව් දුරලන උසස් ම පින්කමක් ලෙස සිරිලක ජනයා අතර ඉතිහාසය පුරාම පිළිගත් සැදැහැය වඩන අදහසක් බවට පත් වූයේ ඒ නිසාම විය යුතු ය.

පසක් ගවුතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවතුයේ
එ සම්පත් ඇති අයත් මරුවා කැටුව යනවා උරුදියේ
වසන් ඇති දා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ

සරුත් පින්කෙත් වපුල බිජු සේ කුසල් මතු වෙයි ඉදිරියේ
බොලුත් බොල් රොඩු නැතුව සදන් රන් කරල් සේ පෑසියේ
මරුත් සතුරන් සොරුත් දෑහැස් නොදැක අපි මතු ඉපදියේ
දුරුත්තේ පසළොස්වකින් ගොස් වඳින් හුගොප් කැලණියේ

(කැලණි හෑල්ල)

බුදුරජාණන් වහන්සේ තෙවන ලංකාගමනේ දී කැලණියට වැඩම කළහ. එහිදී උන්වහන්සේ වැඩ සිටි ධර්මාසනය වූ “මැණික් පුටුව“ නිධන් කොට තැනූ සෑය “කැලණි චෛත්‍යය” යි.

කැලණි දුරුතු මහා පෙරහර ලංකාවේ පැවැත්වෙන පෙරහර අතුරෙන් දෙවැනි වන්නේ සෙංකඩගලපුර ඓතිහාසික දළදා පෙරහරට පමණෙකි. මෙම කැලණි දුරුතු මහා පෙරහර ආරම්භ වූයේ වර්ෂ 1925 දුරුතු මස පුර පසළොස්වක පොහෝදා ය. එය “ධාතු පෙරහර” නමින් හැඳින්විණ. එය සධාතුක කරඬුව හා අලි ඇතුන් දස දෙනෙකුගෙන් පමණ සමන්විත නැටුම් කණ්ඩායම් පහකින් හෝ හයකින් සැරසුන පෙරහරකි.

එලෙස ආරම්භයේ දී ධාතු පෙරහර වශයෙන් ගමන්ගත් පෙරහරට දෙවනුව විභීෂණ දේවාල පෙරහර ද එකතු වුණි. මේ නිසා කැලණි පෙරහර මුල් පෙරහරට වඩා තරමක් විශාල විය. පසුව අනුක්‍රමයෙන් විෂ්ණු දේවාල පෙරහර ද කතරගම දේවාල පෙරහර ද එකතු වීමෙන් කැලණි පෙරහර විශාලත්වයට පත්විය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයත්, කැලණි විහාරයේ නව බුදු මැදුරේ නවකම් ඇරඹීමත් මුල්කොට ගෙන එදා ආරම්භ කළ පෙරහර මේ දක්වා ම අඛණ්ඩ ව පවත්වා ගෙන එයි. එවකට ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති ව වැඩ සිටි මාපිටිගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඇරඹි කැලණි දුරුතු මහා පෙරහර එදා ඉතා දිගු ගමන් මගක සංචාරය කෙරිණි. රාත්‍රී 9.00 ට පමණ ඇරඹි පෙරහර බියගම පාර ඔස්සේ පට්ටිය හන්දිය දක්වා ගමන් කර එතැනින් දුම්රිය හරස් පාරෙන් ගොස් නුවර පාරට පිවිස තොරණ හන්දියෙන් වරාගොඩ පාරට අවුත් වරාගොඩ පාර ඔස්සේ සැතපුම් 6ක් පමණ මඟ ගෙවා නැවත විහාරස්ථානයට ගෙවදින. පසුව මෙම විශාල දුර ප්‍රමාණය ගැන සලකා බලා කැලණිය විහාරය වටා ප්‍රධාන මාර්ගයක් පමණක් ගමන් කරන ආකාරයට පෙරහර සංවිධානය කෙරිණ.


 

ඓතිහාසික කැලණිය රාජමහා විහාරයේ දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවය හා ඓතිහාසික දුරුතු මහා පෙරහර මෙම වර්ෂයෙහි ද අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. වසර සියයකට ආසන්න අඛණ්ඩ ඉතිහාසයක් ඇති මෙම පෙරහර මංගල්‍යය සමඟ සෑම වසරක ම ලක්දිව පුරා පෞරාණික විහාර දේවාලවල පෙරහර මංගල්‍යයන් ආරම්භ වෙයි.

පුරාණ ඉතිහාසයේ අලංකාරවත් ව හා බෞද්ධ චාරිත්‍රවිධීන් සපිරිපූර්ණ ව කැලණිය මහා පෙරහර පැවති ආකාරයට 1927 දී නැවත එවක ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති ගෞරවාර්හ මාපිටිගම ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා කැලණිය රාජමහා විහාරයේ අභිනව විහාර මන්දිරය කරවා සසුනට පූජා කළ හෙළේනා විජයවර්ධන මැතිණිය ප්‍රධාන දායක පින්වතුන්ගේ ශාසනික අනුග්‍රහයෙන් ආරම්භ විය.

එතැන් පටන් අඛණ්ඩ ව පැවත එන මෙම පෙරහර මහෝත්සවය මෙවර ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, අග්ග මහා පණ්ඩිත, උපාධ්‍යාය ධුරන්ධර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගෞරවාර්හ කොල්ලුපිටියේ මහන්ද සංඝරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ දායක සභාව හා සංවර්ධන සභාව, ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය හා කල්‍යාණි තරුණ සංවිධානය ආදී සංවිධාන සමූහයේ සහභාගිත්වයෙන් මෙන් ම ගම්පහ මහදිසාපතිතුමන් ඇතුළු රාජ්‍ය ආයතනයන්ගේ සහයෝගයෙන් රටපුරා හා ලෝකය පුරා දායක පින්වතුන්ගේ ශාසන මාමක දායකත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට යෙදුනි.

වසර කිහිපයක් රටේ පැවැති අයහපත් වාතාවරණය හේතුවෙන් මෙම පින්කම් මහෝත්සවය ඓතිහාසික චාරිත්‍ර උඩමළුවේ පෙරහරට සීමා වුව ද මෙම වසරේ අංග සම්පූර්ණ ව පැවැත්වීමට අවස්ථාව සැලසීම සියලු දෙනාට මහා ආශීර්වාදයක් ලෙස සැලකේ. පුරා තෙමසකට ආසන්න කාලයක් පැවති ධර්ම දේශනා පින්කම් හා පරිවාර පෙරහර පින්කම් අවසානයේ ජනවාරි 18 දින ආරම්භ වූ සත්වරුවේ පිරිත් දේශනය නව වසරට ආශීර්වාද පතමින් 2024 ජනවාරි 21 දින නිමාවට පත් විය.

ඉන් අනතුරුව 2024 ජනවාරි 22 දින උඩමළුවේ පෙරහර ද, 23 දින දෙවන මළුවේ පෙරහර හා ජනවාරි 24 දින දුරුතු මහ පෙරහර පැවැත්විණි. එහිදී සධාතුක පෙරහර, විෂ්ණු දේවාල පෙරහර, කතරගම දේවාල පෙරහර හා කැලණියට සුවිශේෂ වූ විභීෂණ දේවාල පෙරහර අතිඋත්කර්ෂයෙන් පැවැත්විණි. දුරුතු පුරපසළොස්වක පෝය දින පැවැත්වෙන ආශීර්වාදාත්මක පින්කම් මාලාවෙන් සමාප්තියට පත් වන මහා පින්කම් මාලාවේ, ආශීර්වාද බලයෙන් රටවාසී සැමට සියලු යහපත, අභිවෘද්ධිය, වාසනාව, දියුණුව හා සෞභාග්‍යය උදාවේවා යි යනු කැලණිය රාජ මහා විහාරයේ, කැලණියේ හා රටවාසී ජනතාවගේ පරම පැතුම යි.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]